Main Logo

Wednesday 15 January 2020

රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න


             සිංහල ලිත් ඉලක්කම්



රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න

රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන් සරණයි නිහොන් සැප ලැබේවා වැනි නාට්‍යවලින් බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වූ බවත් සමහරුන් කියනවා. කෙසේ වුණත් මනෝරත්න ජාතිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.


මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්.  චින්තනය මෙහෙයවෙන්නේ බටහිරින්. පාසලේ ද විශ්වවිද්‍යාලයේ ද ජනමාධ්‍යයේ ද ඇත්තේ ඒ ආධිපත්‍යය. අප සිංහල බෞද්ධයන් ලෙස පන්සිල් ගන්නවා. එහෙත් සිංහල බෞද්ධ චින්තනයට එරෙහිව පන්සිල් කඩනවා. පන්සිල් රැකීම බයාදු පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවට සමාජ සම්මුතියක් ප්‍රසිද්ධියේ නැති වුවත් තියෙනවා. පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නෙ නැත්තන් ගැහැණියෙක් ද කියල අහපු කාලයක් තිබුණා. දැන් ඇතැම් ගැහැණුත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. කොහොමත් මෙහි ගැහැණිය පසුගාමි බවක් හා ඉදිරිගාමීන් ගැහැණුන් නොවන බවක් කියැවෙනවා. ඊනියා ස්ත්‍රී විමුක්තිකාමින්ටත් පොඩි ඩ්‍රින්ක් එකක් ගැනීම වරදක් වන එකක් නැහැ. පන්සිල් කඩන්න බය නැති පුද්ගලයන් ඇති කෙරිලා. සමාජය පින් පව් හඳුනන්නේ නැහැ. විවිධ ආශාවන් පසුපස හඹා යෑමක් පමණයි අද කෙරෙන්නේ. සසර ගැන විශ්වාසයක් නැති සමාජයක පින් පව් කියා දෙන්න අමාරුයි. 

මා මාටින් වික්‍රමසිංහ එදිරිවීර සරච්චන්ද්‍ර ගුණදාස අමරසේකර ගැන වැඩි යමක් කියන්නේ නැහැ. ඔවුන්ටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය බලපෑවා. සරච්චන්ද්‍ර පසුකාලීන ව සිංහල බෞද්ධ චින්තනය දෙසට ගමන් කිරීමට උත්සාහයක් දැරූ බවත් අනෙක් දෙදෙනා එවැනි උත්සාහයක් නොගත් බවත් පැවසීම බොහෝ දෙනා රුස්සන්නේ නැති බව මා දන්නවා. ජාතික චින්තනයේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් කැඩීමක් ගැන කියැවෙන්නේ නැහැ.

ජයලත් මනෝරත්නත් අනෙක් බොහෝ දෙනා මෙන් ම බටහිර සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයට යට වූවා. මා කියන්නේ ඔහු පොඩි ඩ්‍රින්ක් එකක් ගත්ත ද  යන්න ගැන නො වෙයි. ඔහු පන්සිල් රැක්කා ද නැද්ද යන්න ගැනත් නො වෙයි. ඔහුට පඬි ආධිපත්‍යයට විරුද්ධ වීමට බැරි වුණා. ඔහුට ඒ සඳහා වුවමනාවක් තිබුණා ද නැද්ද යන්න ගැන මා කිසිවක් දන්නේ නැහැ. එහෙත් වුවමනාවක් තිබුණත් ශක්තියක් නම් නොතිබූ බව පැහැදිලියි. සමහර විට වුවමනාවකුත් නැති වෙන්න ඇති. ඔහුට ජාතිකත්වයකට වඩා තිබුණේ වාම කේන්ද්‍රිය බවක්.

අද සිංහල සමාජය විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය පසුවන්නේ දෙගිඩියාවකින්. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වීමේ වුවමනාව තියෙනවා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට බයයි. ඔවුන් එයට යට වෙලා. නිදහස් අධ්‍යාපනය මධ්‍ය මහා විද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ මේ යටත්වීම පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක ක්‍රම ක්‍රමයෙන් සිදු වෙලා. පඬි යථාර්ථය තවත් එහාට ගොස් ඊනියා යථාව උගත්කම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණ බවට පත්වෙලා. ඊනියා යථාර්ථයක් ගැන කතා නොකරන්නේ මා වැනි නූගතුන් පමණයි. සිංහල බෞද්ධ උගතුන් ද යථාභූතයක් ගැන කියවනවා. නිවන යථාභූතයක් ද?

රන්ජන් රාමනායක යනු පන්සිල් රැගෙන හෝ නැතිව හෝ පන්සිල් කැඩීමට බිය නැති කර ඇති පාදඩ සමාජයක මුදුන් මල්කඩ ද? ප්‍රතිමූර්තිය ද? පාදඩ සමාජයක මුදුන් මල්කඩ කියන එක හිතට හරි නැද්ද? එහෙත් අද සමාජයේ ඊනියා මුදුන් මල්කඩ කවුරුන් ද? අපට කතා කිරීමට සිදු වී ඇත්තේ එවැනි නොගැලපෙන වචන මගින්. මේ කසිකබල් අධ්‍යාපනයේ, ඊනියා ආකෘතික හා අනාකෘතික (ජනමාධ්‍ය, කලා කෘති වැනි) අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්.

මේ පාදඩ සමාජය ජේ ආර් ජයවර්ධනගේ නිර්මාණයක් නොවෙයි. එය බටහිරයන්ගේ නිර්මාණයක්. පෘතුගීසීන්ගෙන් පටන් ගත් නිර්මාණයක්. ජේ ආර් එයට හොඳ තල්ලුවක් දුන්නා. කවුරු හරි අහන්න බැරි නැහැ සුරනිමල සුරාපානය කෙළේ නැද්ද කියා. නන්දිමිත්‍ර විරුද්ධවාදීන් ඝාතනය කෙළේ නැද්ද කියා. තවත් සමහරු කියන්න බැරි නැහැ එකල ගැහැණුන් පිරිමින් විවාහ වුණේ නැහැ කියලා. කසාදය කියන එක පෘතුගීසි වචනයක් වෙන්න පුළුවන්. විවාහ සහතික ඉංගිරිසින් අපට දුන් කොළ කෑලි වෙන්න පුළුවන්. එහෙත් පැරණි සෙල්ලිපිවල අහවලාගේ බිරිය යන අර්ථය දෙන වාක්‍ය තියෙනවා. බිරියක් වීමට සහතිකයක් අවශ්‍ය නැහැ. අද සහතික ඇති කාලයේ නියම බිරියන් හා අනියම් බිරියන් ඉන්නවා.

ඊනියා වික්ටෝරියා සුචරිතයකට පහර දීලා පැරණි සිංහල පිරිමින්ට ගිය ගිය තැන අනියම් බිරියන් සිටි සමාජයක් අපට තිබිණි යැයි කීමට බටහිරයන් වෙනුවෙන් සේවය කරන පඬියන් බලාපොරොත්තු වන්නේ ද? එකල සහතික නැතිව ජීවත් වීම ඊනියා ලිවින් ටුගෙදර් නො වෙයි. තම සල්ලාල ජීවිතය වෙනත් ම චින්තනයක් සහිත ව ජීවත් වූ පැරණි සිංහලයන්ට ආරෝපණය කරන්නන්ට ඇත්තේ බටහිර අධ්‍යාපනය මගින් විකෘත කෙරුණු මනසක්. පැරණි සමාජය තම පාදඩ සංස්කෘතියෙන් අර්ථකථනය කිරීම ද පාදඩ පඬි වැඩක් පමණයි.

රන්ජන් රාමනායක මෙන් ම ජයලත් මනෝරත්න ද බටහිරයන් ඇති කළ පාදඩ සංස්කෘතියක ප්‍රතිඵල පමණයි. දෙදෙනා අතර වෙනසක් නොතිබුණු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. එහෙත් එක් අයකු නැතිව අනෙක් අය බිහිවන්නේ නැහැ. අද කලාව පමණක් නොව ක්‍රීඩාව ද සිංහල බෞද්ධයනට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. පාදඩ සංස්කෘතියෙහි ම ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට රන්ජන් රාමනායකට කිසිවක් සිදුවන එකක් නැහැ. ඒ ඔහුගේ හඬපටවලින් මේ පාදඩ සංස්කෘතිය නිරූපණය වෙන නිසා. ඔහු ගැන මෙරට රන්ජන් කියන ආකාරයේ අධිකරණයෙන් (අධිකරණයට ගියොත්) ලැබෙන තීන්දුව කුමක් විය හැකි ද?

මේ කුමක් වුවත් සිිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට මේ සිංහල විරෝධී ආධිපත්‍යය ගැන යම් හැඟීමක් තියෙනවා. ඔවුන්ට එයට විරුද්ධ ව යමක් කරන්න ඕන. ඔවුන් අති විශාල බහුතරයක් (සියයට හැත්තෑවක් පමණ) ගෝඨාභයට ඡන්දය දුන්නේ එබැවිනුයි. ඔවුන්ට බටහිර ක්‍රමයේ දියුණුවක් මෙන් ම බුදුසසුනේ චිරස්ථිතිය ද අවශ්‍යයයි. මේ දෙක ඒ අයුරින් ම එකට යන්නේ නැහැ. අප කල්පනා කළ යුත්තේ පළමුව සසුන රැක ගනිමින් බටහිරින් ගත යුතු දේ රැගෙන අපේ දියුණුවක් ඇති කර ගැනීම ගැනයි. ගෝඨාභය ඒ සඳහා පළමු පියවර තැබුවොත් ඔහුට ඉතිහාසගත වෙන්න පුළුවන්. එහෙත් ඒ සඳහා අනෙක් අය ඔහුට ඉඩ දෙන්න ඕන. මෙය සුළු ජාතික ඡන්ද දිනාගැනීමේ සටනක් නොවන බවත් මද්‍රාසා පාසල් ලියා පදිංචි කිරීම යනාදිය කොපමණ කළත් ආගම්වාදීන් ගෝඨාභයට ඡන්දය නොදෙන බවත් අප මතක තබා ගත යුතුයි.