Main Logo

Wednesday 1 January 2020

තිස්ස අත්තනායකගේ තර්කය


     සිංහල ලිත් ඉලක්කම්



  • තිස්ස අත්තනායකගේ තර්කය

තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා.




ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල පොඩි දෙයක් කියන්න තියෙනවා. අද බටහිර විධියට අවුරුද්දක් පටන් ගන්නවා. ඒක රාත්‍රී දොළහට සිද්ධ වුණා. හැම දේකට ම ඊනියා භෞතික හේතු හොයන බටහිරයන් අවුරුද්ද පටන් ගන්න එකට කිසිම භෞතික හේතුවක් දක්වන්නෙ නැහැ. විශ්වය පටන් ගැනීමට හේතුවක් නොදෙන බටහිරයන්ට ඒක ප්‍රශ්නයක් නොවෙයි.



ජනවාරි පළමුවැනි දා සිදුවන වෙනස කුමක් ද? අපේ අවුරුද්ද දා (ථෙරවාද රටවල් සමරණ අවුරුද්ද –- සංක්‍රාන්තිය) හිරු මීනයෙන් මේෂයට යනවා. මා නම් හිතන්නෙ රේවති නැකතෙන් අස්විද නැකතට යනවා කියා. ඒ මොකක් වුණත් ඒක අහසෙ පේන්න තියෙන දෙයක්. සූර්යයා ගමන් කරන්නෙ නැහැ කියන පඬියන් හිතා ඉන්නෙ චලිතය නිරපේක්‍ෂ කියලයි. සෑම චලිතයක් ම සාපේක්‍ෂයි. හිරු යන්නෙ පොළොවට සාපේක්‍ෂ ව. දෙසැම්බර් විසිඑක්වැනි දා නම් සූර්යයා තම පථයේ උතුරට ගමන් අරඹනවා. එදාටවත් බටහිර අවුරුද්ද ගමු ද?



කෘතහස්ත අත්තනායකටත් අද අවුරුද්ද ලබන්න ඇති. ඔහුට ඕන ලැබූ නව අවුරුද්දෙ ගෝඨාභය ආණ්ඩුව පරදවන්න. ජනවාරි තුන්වැනි දා  ජනාධිපති දේශනයෙන් පස්සෙ වාදයක් ඉල්ලන්න අනුර දිසානායක දතකට මැදගෙන ඉන්නවා. ජ වි පෙ එ ජා පක්‍ෂයට කඩේ යන්නෙ අද ඊයේ නොවෙයි. විජේවීරගෙ නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවන්න එ ජා පක්‍ෂය ආධාර කරගන්න එක අපෝහක භෞතිකවාදයට එකඟ ඇති. ඒක ඉතිහාසයේ කාර්යභාරය වෙන්න ඇති.  අවශ්‍ය වාස්තවික නායකත්වය අනුර සපයනවා වෙන්න ඇති. කෝ මේ මාක්ස්?



කෘතහස්ත පාර්ලිමේන්තුවේ නැහැ. එත් ඔහු තර්ක ගේනවා. උපදෙස් දෙනවා. ඔහුට අවශ්‍ය වාදයෙන් පස්සෙ ඡන්ද විමසීමකින් ආණ්ඩුව පරාජය කරලා මහින්ද රාජපක්‍ෂ අගමැති කමෙන් ඉවත් කරලා සජිත් ප්‍රේමදාස අගමැති කරන්න. කෘතහස්තගෙ තර්කය වැදගත්. අදත් පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ එ ජා පෙරමුණ දෙමළ ජාතික සංධානය මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සිංහල විරෝධීන්ට. චම්පක (ඔහු චම්පික කෙරුවෙ කවුද කියල මා දන්නේ නැහැ) රණවකත් සිංහල විරෝධියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. නැත්නම් ඔහු භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වඩම්මවාවි යැයි. අද මහානායක හාමුදුරුවරු ප්‍රකාශ කරනවා භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වැඩම්මවීමට කටයුතු නොකරන ලෙස. එදා අප මැතිවරණය හා හාමුදුරුවො නමින් පොත් පිංචකුත් නිකුත් කරල චම්පකගෙ ක්‍රියාවට විරුද්ධ වෙද්දි අපට පක්‍ෂව හිටියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවන් ඕමාරේ කස්සප හාමුදුරුවන් ඇතුළු කිහිප නමක් පමණයි.



ව්‍යවස්ථාව අනුව අගමැති පත් කෙරෙන්නෙ ජනාධිපති විසින් මිස පාර්ලිමේන්තුව විසින් නො වෙයි. එය 42(4)  හි පැහැදිලි ව දැක්වෙනවා. “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” මා හැමදාමත් කියා ඇත්තේ මෙහි වැදගත් වචන ජනාධිපතිවරයාගේ මතය අනුව යන්න. 2015 ජනවාරි නවවැනි දාත් 2018 ඔක්තෝම්බර් විසිහයවැනි දාත් 2019 නොවැම්බර් දහනවවැනි දාත් අගමැතිවරුන් පත් කෙරුණේ ඒ අනුව මිස පාර්ලිමේන්තුවෙන් නො වෙයි. 



2015 දී බහුතරය තිබුණේ එ ජ නිදහස් සංධානයටයි ඒ 2010 ජනමතය අනුව. 2015 දී එය වෙනස් වුණා. 2018 වන විට එය නැවතත් වෙනස් වුණා.  2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රකාශ වුණේ එයයි. එය පොහොට්ටුව සහසුද්දයෙන් ජයගත්තේ නැහැ. ඔවුන්ට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රී ල නි ප, එ ජ නි සංධානය එකතු කළ විට පමණක් 56%ක් ලැබුණා. අප කල් ඇතිව ම ඒ බව කිවුවා. මහින්ද සිරිසේන ශක්තිමත් කළ යුතු බව කිවුවා. මා සිරිජාතිකවාදියකු ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් මහින්ද අගමැති කෙරුණේ සිරිසේන විසින් බව බොහෝ පොහොට්ටුවාදීන්ට අමතකයි. එහෙත් පාර්ලිමේන්තුවේ නියෝජනය වූයේ 2015 ජනමතයයි. ඒ අනුව අනුර දිසානායක, සුමන්තිරන් කරුණාරත්න ජයසූරිය දුසංයෝගයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් රනිල් නැවත් අගමැති කෙරුණා. ජ වි පෙරමුණට මහාබැංකු හොරකම වැහි කාලයට පමණක් දැනෙන දෙයක්.



කෘතහස්තගේ තර්කය එක් ජනවරමක් තවත් ජනවරමකින් වෙනස් කරන්න බැහැ කියන එකයි. 2010 ජනවරම 2015 දී වෙනස් කෙරුණා ජනාධිපතිවරණයක් මගින්. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ එ ජ නි සංධානයට. මහින්ද ඒ කියා බලයේ එල්ලී සිටීමට කටයුතු කෙළේ නැහැ. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ල රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න කටයුතු කෙළෙත් නැහැ. රනිල් ඉවත් කළ යුතු ය ඒ සඳහා මෛත්‍රිපාල ශක්තිමත් කළ යුතු ය යන්න අපේ අදහසක්. එය තමයි 2018 ඔක්තෝම්බරයේ සිදු වුණේ. එහෙත් අනුර රනිල් සුමන්තිරන් කල්ලිය ඒ 2015 ජනවරමේ ම එල්ලී සිටියා. විශ්වාසභංග යෝජනා ගෙනාවා.



අද 2015 ජනවරම තවත් වතාවක් වෙනස් කර තිබෙනවා. 2018 පෙබරවාරියේ මෙන් ම 2019 නොවැම්බරයේ ද 2015 ජනවරම වෙනස් කර තිබෙනවා. ඒ කර ඇත්තේ ඡන්දදායකයන්. එහෙත් කෘතහස්ත අත්තනායක කියන්නේ එක් ජනවරමකින් තවත් ජනවරමක් වෙනස් කළ නොහැකි බවත් 2015 ජනවරම තවමත් වලංගු බවත්. මේ තර්කය දිගට ම ගෙන ගියහොත් 1947 ජනවරම තවමත් වලංගුයි.



කෘතහස්ත කියන්න බැරි නැහැ 1947 ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් අද නැති බවත් එහෙත් 2015 ජනමතය අදත් පාර්ලිමේන්තුවේ නියෝජනය වන බවත්. එහෙත් ප්‍රශ්නයත් එයමයි. 2018 හා 2019 ජනමතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීම. එවැනි අවස්ථාවක දී කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනමතයට සරිලන පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමයි. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඒ කරන්න බැහැ. දහනවය එක් අතකින් ජනමතය වෙනස් වීම පාර්ලිමේන්තුවේ පිළිබිඹු වීම වළක්වනවා. පඬි වචනයක් යොදා ගත්තොත් ජනමතය ඝනීභවනය කරනවා.



කෘතහස්ත ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුත්තේ එක්කෝ තුන්වැනි දාට ඡන්දයක් නොඉල්ලීමට සජිත්ට උපදෙස් දීමයි. නැත්නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඉඩ සලසන ලෙස සජිත්ට කීමයි. ඒ දෙකෙන් එකක්වත් කරන්නේ නැත්නම් ජනාධිපතිට 48(1) අනුව ක්‍රියා කරන්න පුළුවන්.   



“48. (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, ධූරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග‍්‍රාමාත්‍යවරයා ධූරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක‍්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. එසේ වූ විට ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග‍්‍රාමාත්‍යවරයකු ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත් කළ යුත්තේ ය.”



තුන්වැනි දා ඡන්දය පැරදුණොත් ජනාධිපතිට මහින්ද හැර වෙනත් අයකු අගමැති කර පාර්ලිමේන්තු සැසිවාරය තව මාස දෙකකට කල් දාන්න පුළුවන්. එසේ කල් දමා මාර්තු තුන්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මේ ජනමතයක් ජනවරමක් නැති පාර්ලිමේන්තුව අපේ වියදමෙන් රැස්කරවන්නේ අහවල් දේකට ද?