Main Logo

Sunday 12 January 2020

අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද

    සිංහල ලිත් ඉලක්කම් 


අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද


යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස මෙන් ම ඊනියා අනාගමික විශ්වාසත් තියෙනවා. බටහිර විද්‍යාව  දැන් ආගමක් ලෙසයි කටයුතු කෙරෙන්නේ. මෙරට හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැහැ. නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩ නගන්න, එනම් නිර්මාණය කරන්න පුළුවන් ඊනියා ශාස්ත්‍රවන්තයන් ද නැහැ. මෙරට උගතුන් දන්නේ වනපොත් කිරීමට පමණයි. විශේෂයෙන් ම පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් දැන්නේ තේරුමක් නැතිව වචන වැමෑරීම පමණයි.


බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට එකී ආගම අදහන අයට කේන්ති යනවා. බටහිර විද්‍යාව පමණක් නොව සියලු දැනුම් බොරු. දර්ශනය තරම් බොරුවක් තවත් නැතිව ඇති. ඕනෑම දැනුම් පද්ධතියකට පටන් ගැනීමක් තියෙනවා. එය පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත පදනම් වෙනවා වෙන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවක ම මනසත් සම්බන්ධ වෙනවා. මනසින් තොර ව සත්වයන්ට දැනුම් පද්ධති නැහැ. සමහර අවස්ථාවල පංචෙන්ද්‍රිය නොමැතිව මනස පමණක් මැදිහත් ව දැනුම නිර්මාණය කරනවා. 

පටන් ගැනීමේ දී විශ්වාසයක් හරි විශ්වාස කිහිපයක් හරි තියෙනවා. විශ්වාසයක් නැති පටන් ගැනීමකට හැකිනම් උදාහරණයක් කියන්න. මෙය මනසින් තොර යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න කියනවා වගේ වැඩක්. මේ ඊනියා යථාර්ථය පංචෙන්ද්‍රිය ගෝචර වූවක් නොවන බව නම් යම් පිරිසකට හරි ඒත්තු යන්න ඕන. ඒත් ඒ සමහරුන් ඊනියා මානසික යථාර්ථයක් හොයනවා. ඒ අය ගණිතය මත පදනම් වෙනවා. එහෙත් ගණිතයත් මිනිසුන්ගේ නිර්මාණ. සියලු න්‍යායන් ද නිර්මාණ. න්‍යායන් මත පදනම් වී තර්ක කිරීම ද මිනිසුන්ගේ නිර්මාණයක්. මේ කිසිවක් මිනිසුන්ගෙන් තොරව පවතින දේ නො වෙයි. ගණිතය මත පදනම් ව ඊනියා යථාර්ථයක් ගොඩ නගන්නන් එසේ කරන්නේ කුලකවාදය මත පදනම් ව. එහෙත් කුලකවාදයෙහි ඇති දුර්වලකම් කලින් ලිපිවල සඳහන් කෙරී ඇති. ගණිතඥයන් දැන් කලක සිට ප්‍රවර්ගවාදයක් ගැන කතා කරනවා. බටහිර දාර්ශනිකයන්ට එතැනට එන්න තව කලක් ගත වේවි. ලංකාවේ ඉන්න අනුකාරකයන්ට අවුරුදු පනහකට වැඩිය යාවි.  

දෙවියන් වහන්සේ කාගේ නිර්මාණයක් ද? කාන්ට්ට අනුව දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක්. එය හොඳ පිළිතුරක්. එහෙත් ඉන් වැඩක් නැහැ. මාක්ස් ඊට වඩා හොඳ පිළිතුරක් දුන්නා. ඔහු කීවේ දෙවියන් වහන්සේත් මිනිසුන්ගේ නිර්මාණයක් කියා. එහෙත් මාක්ස් ඊනියා ද්‍රව්‍යවාදී යථාර්ථයක් ගැන විශ්වාස කළා. එය විශ්වාසයක් පමණයි. ද්‍රව්‍යවාදී යථාර්ථයක් තියෙන බව පෙන්වන්නේ කෙසේ ද? මනසින් තොරව එය කළ හැකි ද? බටහිර දර්ශනයට විශ්වාසයක් නැතිව පටන් ගැනීමක් තියෙනවා ද? දෙකාර්තේ හරි වෙනත් කිසිවකු හරි විශ්වාසයක් නැති පටන් ගැනීමක් ගැන කියා නැහැ.

යුදෙවුවන් දෙවියන් වහන්සේ විශ්වාස කරන නමුත් දෙවියන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ සංස්කෘතියේ ඇති ප්‍රධාන ම ලක්‍ෂණය එයයි. අයිස්ටයින් මාක්ස් ආදීන් බිහි වූයේ ඒ සංස්කෘතියෙහි. ඒ යුදෙවු චින්තනයෙන් ගලා එන්නක්. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට මේ ලක්‍ෂණය ඇතුළත් වී තිබෙනවා. කතෝලික චින්තනයෙහි දෙවියන් වහන්සේවත් මරියතුමියවත් ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. මුස්ලිම් චින්තනයෙහි එයටත් එහා ගොස් දෙවියන් වහන්සේ සමග ආධ්‍යාත්මික ව බැඳෙනවා. 

දෙවියන් වහන්සේ ඒ ආගම් තුනෙහි ම එක් අයකු කියා කියන්න බැහැ. සමහර විට ඇතැමකු කියන්න පුළුවන් එක ම දෙවියන් වහන්සේ කියා. ආබ්‍රහමික ආගම්වල ඉන්නේ එක ම දෙවියන් වහන්සේ බවයි බොහෝ දෙනකු කියන්නේ. එහෙත් එතැන දෙවියන් වහන්සේලා තුන්දෙනකු ඉන්නවා. ඒ ඒ චින්තනයෙහි දෙවියන් වහන්සේ සමග ඇති බැඳීමත් සමග නිර්මාණය වන්නේ දෙවියන් වහන්සේලා තුන්දෙනෙක්. 

බටහිරයන් මූලික වශයෙන් දෙවියන් වහන්සේට නිග්‍රහ කරන්නේ නැහැ. මරියතුමියට නිග්‍රහ කරන්නේ නැහැ. ඇතැමුන් දෙවියන් වහන්සේවත් මරියතුමියවත් විශ්වාස කරන්නේ නැහැ. ඇතැමුන් විශ්වාස කරමින් ප්‍රශ්න කරනවා. නීට්ෂේ දෙවියන් වහන්සේ මිය ගොස් ඇත යනුවෙන් කීවේ ඊනියා ආලෝකනය සමග දෙවියන් වහන්සේගේ පැවැත්ම අනවශ්‍ය වූවක් බව කීමට. මරියතුමියගේ රෙද්ද ගැන කතා කිරීමට බටහිර උගතුන් උනන්දු වූයේ නැහැ. කන්‍යාවකට බිළිඳකු ලැබිය හැකි ක්‍රම සෙවීමට ඔවුන් මහන්සි ගත්තා. 

දෙවියන් වහන්සේ හා පුතා එක ම තැනැත්තා විය හැකි බව උගතකු නොවූවත් මා ත්‍රිකෝටිකයට අනුව පෙන්වා දී ඇති. යටත්විජිතවාදය සමග ක්‍රිස්තියානිය අප වෙතට නොඑන්නට සිංහල බෞද්ධයන් ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු ලෙස සැලකීමට තිබූ බව මා කියා ඇති. 

එහෙත් මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කරන්නේ එය නො වෙයි. දෙදහස් පන්සීයේ රෙද්ද ගැන බුද්ධ රස්තියාදුව ගැන යශෝධරාව හා චන්න අතර වූ සම්බන්ධයක් ගැන කතා කිරීමයි. බටහිරයන් කර ඇත්තේ තමන් අයින් වී එවැනි ඊනියා උගතුන් පිරිසක් බිහි කිරීමයි. බටහිරයන් ඒ පිරිස ලවා බුදුදහමට බුදුසසුනට ගරහනවා. ඒ ඊනියා උගතුන් ද තම වඳ බව හිස් බව පුහු බව වසා ගැනීමට හීනමානයක් සහිත ව ඊනියා පොරවල් වීමේ අභිලාෂයෙන් රෙද්දක් ගැන කතා කරනවා. ඔවුන් බුදුදහම ප්‍රශ්න කරන්නේ නැහැ. පටන් ගන්නේ ම බුදුදහම අවිශ්වාස කිරීමෙන්. ඒ බටහිර චින්තනය පැත්තෙන්. බටහිරයන් තම ආගම ප්‍රශ්න කරන්නේ තමන්ගේ ම සංස්කෘතියෙහි. එහෙත් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් බුදුදහමට හා බුදුසසුනට ගරහන්නේ බටහිර චින්තන ආධිපත්‍යයට යට වීමෙන්. 

පඬියන්ට බුදුදහමට ගැරහීමට හැකි වී තිබෙන්නේ බුදුසසුනෙහි ඇති අන් මත ඉවසීමේ ගුණය නිසයි. කතෝලිකයන් හා ක්‍රිස්තියානින් අතර වූ ආගමික යුද්ධ ක්‍රිස්තියානින් හා මුස්ලිමුන් අතර වූ ආගමික යුද්ධ මෙරට ඇති වන්නේ නැහැ. පඬියන් මුස්ලිම් රටක ඉපදී ඉස්ලාම් ආගමට ගැරහුවා නම් කුමකින් කුමක් සිදු වීමට ඉඩ තිබුණි ද?