Main Logo

Saturday 13 April 2024

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු හා සේරිවාණිජ

 

කච්ඡතිවු දූපත ගැන කතාබහක් ඉන්දියාවෙ ඇතිවෙලා. ඉන්දියාව කච්ඡතිවූ ආපහු ඉල්ලනවා නො වෙයි. ඔවුන්ට එය කරන්න බැහැ. දුපත 1974 පමණ කාලෙක ලංකාවට අයත් බව ඉන්දියාව පිළිගෙන තියෙනවා. බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වෙලා හිටි කාලෙ. එතුමිය 1960 දි දේශපාලනයට ගෙන ආවෙ හේන්පිටගෙදර ඥානසීහ හිමිපාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ පිරිසක්. එතෙක් කිසිම දේශපාලනයක් කර නොතිබූ ඇය කිහිපවරක් අගමෑතිණිය ලෙස රටට විශාල සේවයක් කළා. හාල් පොලු පාන් පෝලිම් ගැන කතා කළ මෙරට ජනතාව 1977 දි බලයට පත් කළ ජේ ආර් ජයවර්ධන බණ්ඩාරනායක මැතිණියගෙ ප්‍රතිපත්ති ආපසු හරවල රටට මහා විපතක් කළා.  අදත් අපේ ප්‍රශ්නවලට මූලික හේතුව ජේ ආර්ගෙ විජාතික විවෘත ආර්ථික හා වෙනත් ප්‍රතිපත්ති. අද බැණා කරන කටයුතුවල අයහපත් ප්‍රතිඵල තව අවුරුද දෙක තුනකින් දැකගන්න පුළුවන් වේවි.

 

රනිල්ට කච්ඡතිවු ආපහු දෙන්න බැහැ. ඉන්දියාවට ඕනෙත් නැහැ. ඒත් මෝදි හා විදේශ ඇමති ජයශංකර් ගැන කතා කරනවා. ඔවුන් එය වැදගත් ප්‍රශ්නයක් කරගන්න හදනවා. ළඟ එන ඉන්දීය මැතිවරණය හින්දා. ඔවුන් කොංග්‍රස් පක්‍ෂයට හා එහි හිටපු නායකයන්ට ජවහර්ලාල් නේරු ඉන්දිරා ගාන්ධි ආදීන්ට චෝදනා කරනවා කච්ඡතිවු ලංකාවට දීම ගැන. ඔවුන්ට අවශ්‍ය දකුණු ඉන්දීය මසුන් මරන්නන් මුළා කර අයගෙ ඡන්දය දිනාගන්න.

 

දකුණු ඉන්දීය මසුන් මරන්නන් ලංකාවට මහා කරදරයක්. ඔවුන් නිතර පෝක් සමූද්‍ර සංධිය පසුකර ලංකාවෙ උතුරු මුහුදු තීරයට පැමිණෙනවා. එවිට මෙරට ආරක්‍ෂක සේවයට සිදුවෙනවා ඔවුන් අත්අඩංගුවට ගන්න. මසුන් මරන්නන් පිළිගන්නෙ නැහැ තමන් ලංකාවෙ මුහුදු තීරයට පැමිණි බවක්.

 

මෝදිලා කරන්නෙ ඉන්දීය මසුන් මරන්නන් සතුටු කිරීමට කච්ඡතිවු ලංකාවට දුන්න බවක් කියමින් කොංග්‍රස් පක්‍ෂය කෙරෙහි ඡන්දදායකයන් කළකිරවන්න. කච්ඡතිවු ඉන්දියාවට අයිතිවෙලා තිබුණෙ නැහැ. එහෙම අයිතිවෙලා තිබූණ නම් ගිවිසුමකින් එහි අයිතිය ලංකාවට බව පිළිගන්නත් බැහැ. තමන්ට අයිති දුපතක් හරි ප්‍රදේශයක හරි වෙනත් රටකට දෙන්න ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. ඉන්දියාව කචඡතිවු සම්බන්ධයෙන් එහෙම දෙයක් කරල නැහැ.

 

මේ ඡන්දදායකයන් රවටා ඔවුන්ගෙ ඡන්දය දිනා ගැනීමට කරන වෑයමක් පමණයි. අපට සිහිවෙන්නෙ සේරිවාණිජ අර මහළු ස්ත්‍රිය රැවටීමට කළ උත්සාහය. රන් තළිය කහවනුවක්වත් නොවටිනා තළියක් බව කියා රැවටිමට ගත් උත්සාහය. එහි දී එසේ රැවටීමක් නොකළ බෝසතාණන් වහන්සේගෙ නම කච්ඡපුට කච්ඡතිවූ වලට කිට්ටුයි.

 

මෝදිල මේ සෙල්ලම් කරන්න හදන්නෙ බරපතළ ප්‍රශ්නයක් සමග. ඔවුන් ඡන්දදායකයන් අතර මතයක් ඇති කරන්න හදනවා කච්ඡතිවූ ඉන්දියාවට අයත් තිබූ බවත් කොංග්‍රස් පක්‍ෂය රට ගැන කිසිම තැකීමක් නැතුව රටට අයත් දිවයිනක් වෙනත් රටකට පවරා දී ඇති බවත්.

 

ජාත්‍යන්තර නීති රීති ගිවිසුම් ආදිය ගැන නොදත් ජනතාවක් රැවටීමට කටයුතු කරල මෝදිලා කරන්නෙ ලංකාවෙ උතුරු මුහුදු තීරයේ මසුන් අල්ලන එක වැරදි දෙයක් නොවන බව ඉන්දීය මසුන් මරන්නන්ට කියන එක. මසුන් මරන්නන්ගෙ ඡන්දය ගන්න එක එකක්. ජාත්‍යන්තර අයිතීන් ගැන ඔවුන්ට වැරදි මතයක් ලබා දීම තවත් එකක්. ඉදිරියේ දී ඉන්දීය මසුන් මරන්නන් හා ලංකාවෙ මුහුදු තීරය ආරක්‍ෂා කරන භටයන් අතර ගැටුම් වැඩි වෙන්න හොඳට ඉඩ තියෙනවා.

 

ඉන්දීය මසුන් මරන්නන් යාපනයෙ මසුන් මරන්නන්ට කිසිම අනුකම්පාවක් සැලකිල්ලක් නෙදක්වන බව යාපන වැසියන්ට දැනගැනීමට සලස්වන බව කීම මෙහි තවත් පැත්තක්. වෙල්ලාලයන්ගෙ කීමට මෙරට දෙමළ කතාකරන ජනකොටස් හිතා ඉන්නෙ ඉන්දියාව තම ගැලවුම්කරු කියා. එහෙත් ඉන්දියාව මේ ප්‍රශ්නයෙ දි පෙන්නුම් කරනවා තමන් මෙරට දෙමළ ජනකොටස්වල ගැලවුම්කරුවකු නොවන බව. ඉන්දියාවට අවශ්‍ය  මෙරට දෙමළ ජනකොටස් යොදා ගනිමින් තම ආධිපත්‍යය අප මත පැටවීම පමණයි.

 

ඉන්දීය ඊනියා සාම සාධක හමුදා උතුරේ හා නැගෙනහිර වැසියන්ට කලකට ඉහත දී පෙන්නුම් කෙළෙත් අධිපතිවාදී හැඟීමම බව මෙරට දෙමළ ජනකොටස් වටහා ගන්නේ නම් එය රටට යහපතක් අත්කර දෙනු නොඅනුමානයි.