Main Logo

Tuesday 2 April 2024

බටහිර විද්‍යාව හා උගත්තු

 

බටහිර විද්‍යාව හා උගත්තු 

 

මා දැක්කා ඇතැමුන් සමහරුන් ගැන කියනවා එයා බටහිර පොත් පත් කියවල අදහස් සිංහලෙන් ලියල විශාරදයකු විද්‍යාඥයකු බවට ප්‍රසිද්ධියක් ලබලා තියෙනවා කියා. මා හිතන්නෙ මෙරට හැමෝම වගේ කරන්නෙ ඒක කියා. මෙය අද ඊයේ ඇති වෙච්ච දෙයක් නොවෙයි. දහනවවැනි සියවසේ අග ඉඳල දකින්න පුළුවන්. මා නම් ගම් කියන්නෙ නැහැ. එහෙත් ඕනෑ නමක් හිතාගන්න. අය කරල තියෙන්නෙ බටහිර අදහස් කියවල ඒවා සිංහලෙන් නැවත ප්‍රචාරය කිරීම.

 

අපට බටහිරයන් විධියට හිතන්න බැහැ. බටහිරයන්ට අප හිතන විධියට හිතන්නත් බැහැ. අමෙරිකාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය කැනඩාව වගේ රටවල මුළුමනින් මෙන් වඳ කරනු ලැබූ ආදිවාසිකයන් හිතුවෙ වෙනත් විධිවලට. මායාවරුන් තවත් විධියකට හිතුවා. ජාන පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්.

 

අප ඉපදුණු දවසෙ ඉඳලා සමහර විට කුසේ ඉන්න කාලෙ ඉඳල හැදෙන්නෙ වැඩෙන්නෙ යම් සංස්කෘතික පරිසරයක. අප අද පාසලින් බටහිර අධ්‍යාපනයක්, කියන්නෙ බටහිර සංස්කෘතියෙ සකස් කළ අධ්‍යාපනයක්, ලබන එක ඇත්ත. අපට දැනුම ලබා ගන්න පුළුවන්. සමහර විට ඉතා ඉහළ මට්ටමකට ලබා ගන්න පුළුවන්. එහෙත් අපට බටහිර දැනුමට අලුත් දෙයක් මධ්‍යයෙ එකතු කරන්න බැහැ. පරිධියෙ යමක් කියල තමයි අපට පශ්චාත් උපාධි ලැබෙන්නෙ. කතා උපුටා ගැනෙන්නත් පුළුවන්. අර උපුටා ගැනීම් (citations)  වැනි නිර්ණායක මත පදනම් වෙලා තෝර ගන්න ලෝකයේ ඉහළ විද්‍යාඥයන් 2% අතරට එන්නත් පුළුවන්. ඒත් මධ්‍යයේ අලුත් දැනුමක් ඉදිරිපත් කරන්න බැහැ.

 

මධ්‍යයේ දැනුම එකතු කරන්න පුළුවන් අදාළ සංස්කෘතියෙ අදාළ චින්තනයෙ නම් පමණයි. මාත් කලක් මෙටාවෙ ඉගෙන ගත්තා. විටින් විට ඉගැන්නුවා. බටහිර දැනුම මිස අපේ දැනුමක් නො වෙයි. අපි ඊනියා උගතුන් ශාස්ත්‍රඥයන් විද්‍යාඥයන් වෙන්නෙ බටහිර දැනුම ඉගෙන ගැනීමෙන්. මිස මධ්‍යයෙහි අලුත් දැනුමක් ඉදිරිපත් කිරීමෙන් නො වෙයි. අපේ දෙයක් කියන්න ගියාම ජාතික චින්තනය උගන්නනවා කියනවා.

 

මෙරට දක්‍ෂ වෛද්‍යවරුන් ඉන්නවා. සමහරු වකුගඩු රෝග විශේෂඥයන් (nephrologist)  පිළිකා රෝග විශේෂඥයන් (oncologist) ආදීන් ලෙස ප්‍රසිද්ධ වෙනවා.   බටහිර වෛද්‍ය විද්‍යාවට අලුත් දැනුමක් එකතු කරලා නොවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව හොඳින් හැදෑරීමෙන්. ඔවුන් ප්‍රසිද්ධියට පත්වෙන්නෙත් අර සමහරුන් අහවලා බටහිර පොත්පත් කියවල සිංහලෙන් පුනරුච්චාරණය කරල ඊනියා විද්‍යාඥයන් ලෙස ප්‍රසිද්ධ වෙනවා වගේමයි. මට නම් දෙකේ වෙනසක් පේන්නෙ නැහැ. තම විෂයයෙන් ඊනියා පර්යේෂණ මගින් පශ්චාත් උපාධියක් ලත් අයකු නම් සමහර විට පරිධියේ වැදගත්කමක් නැති මූලික නොවන දැනුමක් එකතු කර ඇති.

 

බටහිරයන් තම යුද්ධ ශක්තිය හා සැලසුම්කරණය නිසා පසළොස් වැනි සියවසේ අග පටන් ආසියාවට අප්‍රිකාවට ඇමරිකාවට ශාන්තිකර කලාපයට ගොස් රටවල් යටත් කළා. දහසය වැනි සියවසේ අග වන තෙක් බටහිර විද්‍යාවක් තිබුණෙ නැහැ. ගැලීලියේ උපන්නෙ 1564. නිවුටන් උපන්නෙ 1642. පෘතුගීසීන් මෙරටටත් පැමිණියේ ඊට කලින්. බටහිරයන්ගෙ දක්‍ෂකමක් තිබුණා. අපේ රටවල තිබූ දැනුම ඔවුන්ගෙ සංස්කෘතියට චින්තනයට අවශෝෂණය කරගෙන තම දැනුමක් බවට පත් කරන්නත් ඉන්පසු වර්ධනය කරන්නත්. ඔවුන්ගෙ දේශපාලන ආධිපත්‍යය නිසා එසේ වර්ධනය කරගත් දැනුම ඊනියා ලෝක දැනුමක් බවට පත්කරන්න ඔවුන්ට හැකි වුණා. දේශපාලන ආධිපත්‍යය නිසා ඇති කරගත් සංස්කෘතික ආධිපත්‍යයක්.

 

අපට අද කරන්න බැරි වෙලා තියෙන්නෙ එහි අනෙක් පැත්ත. අපට බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන අපේ දැනුමක් බවට පත්කර ගන්න බැරි වෙලා. මට පශ්චාත් උපාධියක් ලැබුනෙ තාරකා භෞතික විද්‍යාවෙ (Astrophysics) විශ්වවේදයෙන් (Cosmology). එහෙත් මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව මා තේරුම් ගත්තා. එකල එයට හේතුව කුමක් කියා දැනගෙන හිටියෙ නැහැ. පසුවයි මට වටහුණේ. මා ඔවුන්ගේ චින්තනයේ නැහැ. මෙරට ඉන්න දක්‍ෂ වෛද්‍යවරුනුත් චින්තනයේ නැහැ. ඔවුන්ටත් පුළුවන් බටහිර විශේෂඥයන් එකතු කරන දැනුම මෙරට අයට කියා දීම පමණයි.

 

මා කැලණිය මොටාවෙ ඉන්න කාලෙ විශ්වවේදයෙන් හා ක්වොන්ටම් භෞතිකයෙන් පශ්වාත් උපාධි ලබාගත් කිහිප දෙනකුගේ උපදේශක ලෙස කටයුතු කළා. ඇතැම් පත්‍රිකා රිසර්ච් ගේට්හි (Research Gate) කියවන්න පුළුවන්. අප කෙළේ බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීමක්. ප්‍රතිඵල සම්මත බටහිර දැනුමට වෙනස්. බටහිරයන් පිළිගන්නේ නැහැ. අප ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන්නෙහි ආකාශ අනෙක් ගොඩට දාලා ආකාශ ශක්තිය ද්‍රව්‍ය බවට පරිවර්තනය කරන්න පුළුවන් බවට අදහසක් ඉදිරිපත කළා. එවිට බටහිර විද්‍යාවෙ කියන ශක්ති සංස්ථිති නියමය වෙනස් වෙනවා. එමගින් අපට අග්ගඤ්ඤ සූත්‍රයෙ කියැවෙන සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වයට ආකෘතියක් ගොඩ නගා ගන්න පුළුවන් වුණා. අවුරුදු පහළොවක් තිස්සෙ අපට එය බටහිරයන්ට ඒත්තු ගන්නන්න බැරි වෙලා.

 

මා කළු කුහර නැහැ කියන්නෙත් අවකාශය යම් සීමාවකට පැමිණි විට ද්‍රව්‍ය දිගින් දිගට ද්‍රව්‍ය මගින් පරිමාව  අඩු කිරීමට (සංකෝචනය කිරීමට) විරුද්ධව ක්‍රියා කර ද්‍රව්‍ය ආපසු  තල්ලු (විකර්ෂණය) කරන්නේ යන පදනමින්. බටහිරයන් අවකාශයට (ආකාශ ධාතුව) එවැනි දෙයක් කිරීමට පුළුවන් කියා තවම හිතන්නෙ නැහැ. ඔවුන්ගෙ චින්තනයට පටහැණි නිසා. ඔවුන්ට විශ්වවේදී නියතය නියතයක්. අපට එය විචල්‍යයක්. අප එයට විශ්වවේදී නියතය කියන්නේ නැහැ. අපි අපේ උත්සාහය අත්හරින්නේ නැහැ.