Main Logo

Sunday 16 December 2018

අතුරු මිතුරු


අතුරු මිතුරු



මහින්ද රාජපක්‍ෂ ඊයේ අගමැති ධුරයෙන් අස්වීම නිසා බොහෝ දෙනකුට 2015 ජනවාරි 9 මතක් වුණා. බොහෝ දෙනකු මහින්ද අස්වීමේ ලිපිය අත්සන් කරනු බලා සිටියේ ජනවාරි 9 මතක් කරමින්. අස්වීමේ ලිපිය අත්සන් කිරීමට නැකතක් තිබුණා ද කියා මා දන්නේ නැහැ. නැකතක් තිබුණා නම් ඒ ආපසු ඒමේ ද නැකතක් වෙන්න ඕන. බටහිරයන්ට තම ඓතිහාසික ග්‍රීක  කතා අමතක වුවත් මහින්ද ගැන නොදන්නා දෙයක් කියන්න තියෙනවා. ඒ ඔහු ජනතාවගෙන් ශක්තිය ලබන්නකු බව. ඔහු ජනතාව වෙතට හෙළන්න. ඔහු හිටියාට වඩා ශක්තියකින් නැගී සිටිනවා. බටහිර හා ඉන්දීය විජාතික බලවේග 2015 ජනවාරියේ දී ඔහු මැදමූලනට දැමුවේ නැවත නොඒවිය කියා. එහෙත් මසක් ඇතුළත පෙබරවාරිය වන විට ඔහු හිටියාට වඩා ශක්තියකින් ආපසු ඇවිත්. මහින්දගේ ශක්තිය ඇත්තේ ජනතාව ළඟ. ඊයේ ඔහු ආපසු ජනතාව වෙත ගියා. ඔහුට අද ම ජනතාවගේ ශක්තිය හිටියාට වඩා ලැබෙනවා.




මහින්ද මහත්තයාට අපරාදෙ කියමින් කිඹුල් කඳුළු හෙළන පඬියන් හා අනෙක් අය දැන ගත යුතු කරුණ නම් මහින්ද නැවත නැවතත් ජනතාවගෙන් ජීවය ලබන්නකු බව. ඔහු අද ඔක්තෝම්බර් 26 වැනි දා සිටියාට වඩා ශක්තිමත්. රනිල් ජනතාවගෙන් ඈත්වත් ම මහින්ද තවත් ශක්තිමත් වෙනවා. රනිල්ට සුමන්තිරන් සමග එක් වී බටහිරයන්ගේ අනුග්‍රහයෙන් සෙල්ලන් කරන්න බැහැ.



මේ අතර කිවයුතු දෙයක් තියෙනවා. දෙරණේ සංඛ අද උදේ මහත් උජාරුවෙන් කියා සිටියේ මහින්ද ප්‍රකාශයක් කෙළේ හිටපු ජනාධිපති නිල නිවසේ සිට මිස අගමැති නිල නිවසේ සිට නොවන බවයි. ඔහු ඒ බව අවධාරණය කළා. ඔහුට අවශ්‍ය වුණේ මහින්ද හිටපු ජනාධිපති පමණක් බව අවධාරණය කිරීම ද? ඔහු හිතනවා ද දන්නෙ නැහැ රනිල් අරලියගහ මන්දිරයේ හිටි පමණින් අගමැති රනිල් කියා. පහුගිය දවස්වල දෙරණ ප්‍රතිපත්තිය වුණේ මහින්ද හිටපු ජනාධිපති මිස අගමැති ලෙස නොසැලකීමයි. ඒ කෙසේ වුවත් නීතිඥ සංඛට සිදු වුණා පුවත්පත් කියවද්දී මහින්ද අගමැති ව සිටි බව කියන්න. එහෙත් ඔහු දිගින් දිගට ම මහින්ද ගැන සඳහන් කෙළේ හිටපු ජනාධිපති ලෙස. මා මහින්දවාදියකු නොවෙයි. එහෙත් ඇතැම් මහින්දවාදීන් මට සිරිජාතිකවාදියා කීවත් මහින්දට දිය යුතු ගෞරවය දීමට මා පැකිළෙන්නේ නැහැ.



රනිල් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නිසා නො වෙයි. ඔහු තම පක්‍ෂයට නොදෙන ප්‍රජාතන්ත්‍රවාදයක් රටට ලබා දේවි ද? එක් පැත්තකින් ඔහුට ඡන්දයකින් කිසි දා ජනාධිපති වන්න බැහැ. අනෙක් පැත්තෙන් ඔහු දෙමළ ජාතික සංධානයට 2015 දීත් පොරොන්දු වී තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතලත් ඉන් එහාට යන බලතලත් ලබා දීමට. එය බටහිරයන්ගේත් ඉන්දියාවේත් අවශ්‍යතාවක්.



රනිල් දහනවවැනි සංශෝධනය ගෙනාවේ ඉන් කොටසක් ඉටු කර ගන්න. ඔහු එක් පැත්තකින් රාජපක්‍ෂලාට ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඇහිරුවා. අනෙක් පැත්තෙන් ඊනියා ස්වාධීන කොමිෂන් සභා මගින් ජනාධිපති බලතල කපා දැම්මා. එය ප්‍රජාතන්ත්‍රවාදයක් නමින් කළ ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. මැතිවරණ කොමිසමේ හූල් ක්‍රිය කළ ආකාරයෙන් ස්වාධීනත්වයේ හෙළුව දැක ගන්න පුළුවන් වුණා. රනිල් පළාත් සභා මැතිවරණ කල් දාන විට හූල් කටේ පිට්ටු ඔබා ගෙන හිටියා. එකල හූල්ට හූල්ලන්නවත් බැරි වුණා. 



තවත් පැත්තකින් දහනවයෙන් ජනාධිපතිට අගමැති අස් කිරීමට තිබූ බලතල නැති කළා. එහෙත් ඔහුට හරි ඔහුගේ නීතිඥයන්ට හරි කල්පනා වුණේ නැහැ 42(4), 43(3) හා 48(1) අනුව්‍යවස්ථා යටතේ ජනාධිපතිට අගමැති හා ඇමති මණ්ඩලය වෙනස් කළ හැකි බව.  48(1) හි වූ අන්‍යාකාරයෙන් යන්න ඔහුගේ නීතිඥයන්ට අමතක වන්න ඇති. ඒ අතර රනිල් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයක් ඉදිරිපත් කළා. එය ඉතා කූට සංකල්පයක්. ඒ අනුව රනිල්ට එක් මන්ත්‍රීවරයකු සිටින පක්‍ෂයක් සමග වුවත් ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්.



එහෙත් එයටත් වඩා ඔහු මෛත්‍රිපාල අවිශ්වාස කළා. එක් පැත්තකින් රාජපක්‍ෂලාට අවහිරකම් ඇති කරන අතර අනෙක් පැත්තෙන් මෛත්‍රිපාලට බාධක පැනවූවා. පහුගිය දා ඉමහත් කතා බහට ලක් වූ 70(1) අනුව්‍යවස්ථාව සලකන්න. අර අවුරුදු හතරහාමාරේ කතාව ඇතුල් කර ඇත්තේ මොකට ද? රනිල් එයින් බලාපොරොත්තු වූයේ මෛත්‍රිපාලට කිසි දවසක මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩක් නොදීමටයි. රනිල් දහනවය මගින් ජනාධිපති ධුර කාලය අවුරුදු පහකට සීමා කළා. ඒ අනුව උපරිම වශයෙන් මෛත්‍රිපාලට ජනාධිපති ධුරය දැරිය හැක්කේ 2020 ජනවාරි වන තුරු පමණයි. දහනවවැනි සංශෝධනය සම්මත වී නීතිගත වූයේ 2015 මැයි 15. යම් අයුරකින් මැයි 16 පැරණි පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් නව පාර්ලිමේන්තුවක්  ජූලි පමණ වන තුරු කැඳවන්න බැහැ. එවිට විශේෂ අවස්ථාවක දී හැර  නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  70(1) අනුව්‍යවස්ථාවට අනුව 2020 ජනවාරි වන තුරු මෛත්‍රිපාලට බැහැ. ඒ වන විට මෛත්‍රිපාලගේ ජනාධිපති ධුර කාලය අවසන් වී!



මේ පාර්ලිමේන්තුව මුලින් ම රැස්වූයේ 2015 සැප්තැම්බර් 01. එයට අවුරුදු හතරහමාරක් පිරෙන්නේ 2020 මාර්තු 01. ඒ වන විට මෛත්‍රිපාලගේ ධුර කාලය අවසන් වී. ඉතා පැහැදිලි ව  අවුරුදු හතරහාමරක් ගත වන තුරු කොන්දේසියෙන් රනිල් මෛත්‍රිපාල සමග  අතුරු මිතුරු දඹදිව (ඉන්දියාව) තුරු සෙල්ලමක් කර තිබෙනවා. රනිල්ට බැඳුම්කර මගඩියත් සමග මෛත්‍රිපාල ගැන අවිශ්වාසයක් හට ගන්න ඇති. පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට අවුරුදු හතරහාමාරක් ඉන්න වෙන වෙනත් රටවල් ලෝකයේ තියෙනවා ද? එය අවුරුදු හතරක් නැතිව හතරහාමාරක් ම කෙළේ ඇයි. ඒ මෛත්‍රිපාලට කිසිම ඉඩක් නොදීමට බව පැහැදිලියි.



එහෙත් ජනාධිපතිට 62(2) අනුව්‍යවස්ථාව යටතේ විශේෂ අවස්ථාවක දී රට අස්ථාවර වී ඇති විට ජනතා පරමාධිපත්‍යය රැකීම සඳහාා 3 හා 4 ව්‍යවස්ථා ද උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මෛත්‍රිපාලගෙ නීතිඥයන් එය ප්‍රයෝජනයට නොගැනීමට හේතුව කුමක් දැයි පැහැදිලි නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය රනිල් ශ්‍රෙෂ්ඨාධිකරණය රවටා සම්මත කර ගත්තක්. ඒ ජේ ආර් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කර ගත් පරිදිමයි. එහෙත් අද අධිකරණයට සිද්ධ වෙනවා නීතිය බවට පත් වී ඇති දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය රකින්න.



රනිල් එදත් අදත් ජනාධිපතිට/පතිනියට නොදන්වා රටට අහිත දේ කර තියෙනවා. ඒ නිසා ඔහුට අගමැතිකම භාර දිය යුත්තේ යම් කොන්දේසි යටතේ පමණයි. අප ඊයේ ඒ සම්බන්ධ වැදගත් කොන්දේසියක් සඳහන් කළා.