Main Logo

Sunday 30 December 2018

රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව


රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව



රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිවුරු පූජා කරලා. තම හිසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරලා. රනිල් දැන් වයසට ගිහින් ද? වයසට යන විටත් පරලොව මතක් වන විටත් මිනිසුන් ඔහොම හැසිරෙනවා. ඒත් රනිල්ගෙ සංස්කෘතිය මොකක් ද? රනිල්ට අවශ්‍ය තමන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ ආරක්‍ෂකයා කියල පෙන්නන්න ද?




ඒකීය රාජ්‍යය අකුරක්වත් වෙනස් කරන්නෙ නැත, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක කිසිසේත් වෙනස් කරන්නෙ නැත කියලා රනිල් කියලා. සිංහල බෞද්ධයන් රැවටෙන්න සූදානම් ද? දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙච්ච හානිය අද කාටත් පේනවා. ව්‍යවස්ථාවෙ වචනවලටත් වඩා වැදගත් වන්නෙ එය අර්ථනිරූපනය කරන විධිය. ඒකීය කියන වචනය යුනිටරි කියලා ඉංගිරිසියෙන් නොලියා දෙමළෙන් එක්සත් කිරීමක් ගැන කියල ඉදිරිපත් කරන්න යන නව ව්‍යවස්ථාව රට බෙදන ව්‍යවස්ථාවක් වන බවට සැකයක් නැහැ. අදත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නෙ වචනවලින් හා ඇන්දීම්වලින් පමණයි.  දාසනායකගෙ දාස පෙරමුණ මගින් විස්ස ගෙනාවෙ කාගෙ වුවමනාවට ද කියන එක සුමන්තිරන්ගෙ ඊයෙ මාධ්‍ය සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා.



දහනවයෙදි රනිල් වගන්ති ඇතුළත් කළෙ තම මාමා දහතුනේ දී ගිය මග අනුගමනය කරමින්. අධිකරණ  තීන්දුවලට පටහැණිව, එහෙමත් නැත්නම් අධිකරණ තීන්දු නිසි ලෙස ක්‍රියාත්මක නොකර කාරක සභා අවස්ථාවෙ වගන්ති ඇතුල් කරල ව්‍යවස්ථා සංශෝධන කර ගත්තෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය රජ කරවමින්. දැන් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ගැන සුමන්තිරන් තම මතය ප්‍රකාශ කරලා.



ඔහු ඊයේ ජනමාධ්‍ය සාකච්ඡාවක දි භයානක කතා කියල තිබුණා. ඔහු ස්වාමිනාදන්ට ඇමතිකමක් දීම ගැන අවුරුදු දෙකක් ම විරුද්ධ වුණාළු. ඒ ඇයි? ස්වාමිනාදන් දෙමළ ජාතික සංධානයෙ නොවීම නිසා ද? මෙවර ස්වාමිනාදන්ට ඇමතිකමක් නොලැබුණෙ  ඒ නිසා ද? උතුර සංවර්ධනය පූනරුත්ථාපනය කිරීම දෙමළ ජාතික සංධානයට උරුම කර ගැනීමට සුමන්තිරන්ට අවශ්‍ය ද? ස්වාමිනාදන්ගෙන් රැගෙන රනිල්ට ඒ ආයතන භාර දුන්නේ සුමන්තිරන්ට අවශ්‍ය අන්දමට ඒ කටයුතු මෙහෙයවීමට බව පැහැදිලියි.



අද රනිල් සුමන්තිරන්ගේ අණසක යටතේ ජීවත්වන බව තේරුම් ගැනීමට පසුගිය දා සිදු වූ දෙයින් පැහැදිලියි. සුමන්තිරන් කිරිඇල්ලට පාර්ලිමේන්තුවේ දී බැණ වැදුනේ රනිල් පසෙක තබා ගනිමින්. රනිල් නොවෙයි කටක් හෙල්ලුවෙ. කලින් තිබුණෙ මෛත්‍රිපාලගෙ ආණ්ඩුවක් හා රනිල්ගෙ ආණ්ඩුවක්. අද තියෙන්නෙ මෛත්‍රිපාලගෙ ආණ්ඩුවක් හා සුමන්තිරන්ගෙ ආණ්ඩුවක්. රනිල් සුමන්තිරන්ට නිල නොවන අගමැතිකම පවරලා දීලා. සුමන්තිරන්ගෙ ආණ්ඩුවට දාසනායකගෙ දාස පෙරමුණත්  චන්ද්‍රිකාගෙ ඇම්බැට්ටයන් ටික දෙනකුත් සහාය දෙනවා.



සුමන්තිරන් ඊයෙ තම සාකච්ඡාවෙන් සියල්ල හෙළි කළා. ඔහු කිව්වෙ එ ජා පෙ, දෙ ජා සංධානය හා දාස පෙරමුණ එකතුවෙලා ශ්‍රී ල නි පක්‍ෂයෙ කිහිප දෙනකුත් සමග තුනෙන් දෙක හදා ගෙන ව්‍යවස්ථාව සම්මත කර ගන්නවා කියලා. ඒ අතර ඔහු කියලා තියෙනවා ජනාධිපතිට නීතිය හා සාමය තමා යටතෙ තියාගන්න බැරිය කියලා. එහෙම තියෙන්නෙ මොන ව්‍යවස්ථාව යටතෙ ද? ජනාධිපති කළ යුත්තෙ ලේක්හවුස් හා රාජ්‍ය විද්‍යුත් මාධ්‍යත් තමන් යටතට ගැනීමයි. අද සුමන්තිරන් ආණ්ඩුවෙ බලවත් අය සුමන්තිරන් රනිල් හා මංගල.  සුවච කීකරු සේවක කිරිඇල්ලත් අද පැත්තකට විසි කරලා. රනිල් අද පන්සල් යන්නෙ නිළමෙළා එක්ක පින්තූර ගන්නෙ තමන් රාජ්‍ය නායකයා බව පෙන්වීමට ද?. එහෙත් ඔහුගෙ නායකයා සුමන්තිරන් ද?



සුමන්තිරන් ඒ අතරෙ කියලා ශ්‍රී ල නි පක්‍ෂයෙ කණ්ඩායමක් එක්ක ජාතික ආණ්ඩුවක් හදනව කියලා. සුමන්තිරන් දක්‍ෂ නීතිඥයකු බව ඇඟෙව්වට එහෙම නො වෙයි. අද ශ්‍රී ල නි පක්‍ෂයක් පාර්ලිමේන්තුවෙ නැහැ. පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානය. ශ්‍රී ල නි ප එක්ක ඊනියා ජාතික ආණ්ඩු හදන්න බැහැ. සුමන්තිරන් ඒ බව දන්නෙ නැද්ද? අනෙක් එක ඔහු දැනගන්න ඕනෙ ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති මෛත්‍රිපාල මිස චන්ද්‍රිකා නොවන බවත් එහි ලේකම් රෝහණ ලක්‍ෂමන් මිස අප්පච්චි මළෝ හරි වෙනත් මළො කෙනකු නොවන බවත්. අද අප්පච්චි මළෝලත් එක්ක ඊනියා ජාතික ආණ්ඩු හදන්න පුළුවන් ද? ඇමතිවරුන් පත් කරන්නෙ හරි නොකරන්නෙ හරි ජනාධිපති මිස සුමන්තිරන් නො වෙයි.





සුමන්තිරන් තමයි මහින්දගෙ ආණ්ඩුව පළවා හැරීමට දාස පෙරමුණත් එක්ක ඊනියා විශ්වාසභංග යෝජනා ගෙනා පුද්ගලයා. මතකද කරුණාරත්න කෝ සුමන්තිරන් කියා ඇසූ හැටි. අද මහින්ද විරුද්ධ පක්‍ෂ නායකකමින් නෙරපන්න හදන්නෙත් සුමන්තිරන්. ඒ ව්‍යවස්ථා සභාවෙ බලය රැකගන්න බව අප කලින් කියා ඇති. මෙතෝදිස්ත සුමන්තිරන්ට තියෙන එකම ශක්තිය බටහිරයන්ගෙ ශක්තියයි. ඔහුට තම ආගමික වෙම්බඩි බාලිකා පාසලේ පාලක මණ්ඩලයේවත් හයිය නැහැ. 



බටහිරයන් අද සුමන්තිරන් මගින් මෙරට ආණ්ඩු කිරීමට සූදානම්. බටහිරයන්ට කෙසේ නමුත් නව ව්‍යවස්ථාව ලබන වසර මුල සම්මත කරගන්න ඕන. මැතිවරණයකින් පසු ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට බැරි බව බටහිරයන් දන්නවා. රනිල් එ ජා පක්‍ෂයේ බලවතකු ලෙස පෙනී සිටියත් ඉන් පිටත බලවතා සුමන්තිරන්. අද අමාත්‍යාංශ වෙන් කරන්නෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවට සුමන්තිරන් මගින්. බටහිරයන් අද මේ සුමන්තිරන් ආණ්ඩුවේ විශ්වාස කරන්නෙ මංගල හා රනිල් පමණයි. මංගල තමයි සිංහල බෞද්ධයනට විරුද්ධ ව ජෙනීවාහි බටහිරයන් සමග එකතු වී යෝජනා සම්මත කර ගත්තෙ.



අද දෙමළ ජාතිවාදී වෙල්ලාල නායකයන් බටහිරයන්ගෙ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් සුමන්තිරන්ගෙ නායකත්වයෙන් විශේෂයෙන් සිංහල බෞද්ධයනට හා පොදුවේ  සිංහලයන්ට විරුද්ධව සටන ආරම්භ කරලා. අප තවමත් පොහොට්ටුවෙන් තරග කරනවා ද වගේ තුට්ටු දෙකේ ප්‍රශ්න ගැන කතා කරමින් භේද වපුරනවා. දෙමළ වෙල්ලාල නායකයන් කියනවා ඔවුන්ගේ ලිං ඉහින්න හමුදාව අවශ්‍ය නැහැ කියලා. හරි හමුදාව වෙල්ලාල නායකයන්ගෙ ලිං ඉහින්න ඕන නැහැ. එහෙත් වෙල්ලලායන්ගේ නොවන ඊනියා අඩුකුල ජනයාගෙ ලිං ලක්‍ෂ ගණනක් උතුරු පළාතේ තියෙනවා. වෙල්ලාලයන් මේ ලිංවලින් වතුර බොන්නෙ නැහැ. අප හමුදාවෙන් ඉල්ලා හිිටිනවා වෙල්ලාල නොවන්නන්ගේ ලිං ඉහල දෙන්න කියා. අප කෙලින් ම වෙල්ලාල නොවන ජනයාට කතා කරන්න ඕන. වෙල්ලාලයන් එක්ක කරන ඩීල් දේශපාලනය වහාම නවත්වන්න ඕන.



අද ඉතා පැහැදිලිව නව ව්‍යවස්ථා විරෝධී පෙරමුණක අවශ්‍යතාව පැන නැගිලා ඒ පෙරමුණට දැනට වෙනත් කොන්දේසි අවශ්‍ය නැහැ. මහා සංඝයා වහන්සේ කිහිප විටක් ම ප්‍රකාශ කර තිබෙනවා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව. උන්වහන්සේලා එ පෙරමුණට අනුශාසනා කරාවි. ඒ පෙරමුණට එ ජා පාක්‍ෂිකයන්ට වුණත් එකතු වෙන්න පුළුවන්. දාස පෙරමුණ නම් එකතු වෙන එකක් නැහැ. ඔවුන්ට ඕන සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක්. අද මූලික කාර්යය විය යුත්තේ සුමන්තිරන්ගෙ ආණ්ඩුව පරාජය කරන එක. රනිල් එ ජා පාක්‍ෂිකයනට චන්ඩියකු වුවත් බටහිරයන් හා සුමනතිරන් ඉදිරියේ මී පැටියෙක්.