Main Logo

Tuesday 4 December 2018

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම
                               
තවත් රැඳවීම් නියෝගයක් (stay order) දීල. ඒ ගමන අභියාචනාධිකරණයෙන්. මහින්දට හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට අගමැති ධුරයේ හා ඇමති ධුරවල කටයුතු කිරීම තාවකාලික ව ඇණහිටුවලා. ඔවුන්ට දැන් අමාත්‍ය මණ්ඩලය ලෙස රැස්වන්න බැහැ. ඇමතිවරුන් ලෙස වැඩ කරන්නත් බැහැ. එහෙත් ජනාධිපතිට ලේකම්වරුන් මගින් ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. රාජ්‍යයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව, රාජ්‍යය කියන්නේ එකක් නොව තුනක්. 



අභියාචනාධිකරණය නඩු විභාගය දොළොස්වැනි දා තෙක් කල් දාලා. තීන්දුව කවදා දෙයි ද දන්නෙ නැහැ. එතෙක් රැඳවීම් නියෝගය වලංගුයි. ඒ කියන්නෙ නඩු තීන්දුව දෙන තෙක් මෙරට අමාත්‍ය මණ්ඩලයක් රැස්වෙන්නේ නැහැ. රැඳවීීම් නියෝගයෙන් කියැවෙන්නේ නැහැ ආපසු ඔක්තෝම්බර් විසිපස්වැනි දාට ගොස් රනිල් අගමැති කරන්න කියා. එසේ කරන්න බැහැ. අද අමාත්‍යංශවලට ගොස් ඇමතිකම් කරන්න හිතන් ඉන්න අයට එහෙම කරන්න බැහැ.

තවමත් අගමැති මහින්ද රාජපක්‍ෂ. අමාත්‍ය මණ්ඩලයත් ඇමති තනතුරු දරනවා. එහි කිසිම ගැටළුවක් නැහැ. එක ම ප්‍රශ්නය ඔවුන්ට තම ඇමති ධුරවල කටයුතු කරන්න බැරි කම විතරයි. මේ තත්වය නඩු තීන්දුව දෙන තාක් පවතිනවා. එය ඉතා පැහැදිලියි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා අනෙක් රැඳවීීම් නියෝගය සම්බන්ධයෙන්. ඒ පිළිබඳ සරත් වීරසේකර දමා ඇති නඩුවක් අද විභාගයට ගැනෙනවා. එහි තීන්දුව නඩුව ගොනු කර ඇති ආකාරය මත පදනම් වේවි. එහෙත් එකක් පැහැදිලියි. ඒ රැඳවීම් නියෝගය අනුවත් ආපස්සට යන්න බැහැ.

මේ දිනවල පාර්ලිමේන්තුව රැස්වන්නෙ ජනාධිපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරමින් නව සැසි වාරයක් ආරම්භ කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම් ව. එහෙත් එය රැඳවීම් නියෝගයෙන් ආපස්සට යෑමක්. රැඳවීම් නියෝගය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තියෙනවා. එය අහෝසි වී නැහැ. එහෙත් එය ඉදිරියට ගෙන ගොස් ක්‍රියාත්මක වන්නේ නැහැ. එමෙන් ම ආපස්සට ගොස් පැරණි නියෝග ක්‍රියාත්මක වන්නේත් නැහැ. පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වීම අභියාචනාධිකරණ රැඳවීම් නියෝගය මත පදනම් ව ආපස්සට ගොස් රනිල් අගමැති කෙරෙනවා වගේ වැඩක්. රනිල්ට අගමැති වෙන්න බැහැ වගේ පාර්ලිමේන්තුවට මේ දිනවල රැස්වෙන්න බැහැ. පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වීම නීත්‍යානුකූල නො වේ නම් සම්මත වී යැයි කියන විශ්වාසභංග යෝජනා ගැන කතාකරන්නවත් දෙයක් නැහැ. ඒ සමග අභියාචනාධිකරණ රැඳවීම් නියෝගය ශූන්‍ය වෙනවා.

අභියාචනාධිකරණය ඉදිරියේ තියෙන්නෙ ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 122 දෙදෙනකු ඉදිරිපත් කර ඇති නඩුවක්. ඉන් කියන්නෙ අගමැතිට හා ඇමති මණ්ඩලයට ක්‍රියාත්මක වීම සඳහා අධිකාරි බලයක් පෙන්නන්න කියලා. මන්ත්‍රීවරුන් 122 දෙනා පදනම් වන්නෙ පාර්ලිමේන්තුවෙ නොවැම්බර් 14 හා 16 දිනවල  සම්මත වුණා කියන විශ්වාසභංග යෝජනා මත. මට තේරෙන විධියට ඔවුන් කියන්නෙ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු 48(2) අනුව්‍යවස්ථාව යටතේ අමත්‍ය මණ්ඩලය විසිරෙනවා කියා. මහින්ද තීරණය කරලා අභියාචනාධිකරණයෙ රැඳවීම් නියෝගයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න. මේ නඩු සම්බන්ධ තීන්දු ඉක්මණින් ම ලැබේවිය කියා බලාපොරොත්තු වෙනවා.

මෙහි දී මතක තබා ගත යුතු කරුණක් නම් මහින්ද හා ඇමති මණ්ඩලය පත් කිරීම කිසිම අධිකරණයක අභියෝගයට ලක් කෙරී නැති බවයි. එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිගැනී අවසන්. දැන් තියෙන්නෙ ඉන් පසු සිදු වූ ඇතැම් කරුණු පිළිබඳ ඇතැමුනට ඇති අවිනිශ්චිතභාවයක්. ඔවුන් අධිකරණය ඉදිරියට ගොස් ඇත්තේ ඒ නිරාකරණය කර ගැනීමට.

අප ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව අනුව මතු විය හැකි කරුණු සාකච්ඡා කර තියෙනවා. අභියාචනාධිකරණ  තීන්දුව මත කුමක් සිදුවිය හැකි ද? විශ්වාසභංග යෝජනා හේතු කොට ගෙන අමාත්‍ය මණ්ඩලය විසිරී ගොස් ඇතැයි අභියාචනාධිකරණය තීන්දු කළොත් එවිට ජනාධිපතිට ක්‍රියාත්මක වන්න සිදු වෙනවා. ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති පුද්ගලයා අගමැති කරන්න සිදු වෙනවා. තවමත් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇත්තේ මහින්දට. රනිල් අගමැති කිරීමට පක්‍ෂ කී දෙනකු ඉන්නවා ද? ජනාධිපතිට එය තීරණය කරන්න වෙනවා. අර මන්ත්‍රිවරුන් 122 දෙදෙනකු මහින්දට විරුද්ධ යැයි කියමු. එයින් කියැවෙන්නේ නැහැ ඒ 122 දෙනා රනිල් අගමැති කිරීමට පක්‍ෂය කියා.

අනෙක් අතට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපති ඉතා පැහැදිලි ව කිහිප වතාවක් ම කියා තිබෙනවා තමා රනිල් අගමැති ලෙස පත් කරන්නේ නැහැ කියා.  ජනාධිපතිට එයට හේතු ඇති. අගමැති පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථාවෙ සඳහන් වන්නේ උපරිම විශ්වාසය යන නිර්ණායකය පමණයි.   එහෙත් 33(1) යටතේ ජනාධිපති ව්‍යවස්ථාව රැකීමට හා එයට ගරු කිරීමට බැඳී ඉන්නවා. ජනාධිපති ව්‍යවස්ථාව රකින්න නම් ව්‍යවස්ථාව රකින අගමැති කෙනකු ඉන්න ඕන. 28 යටතේ අප සියළු දෙනා ව්‍යවස්ථාව රැකීමටත් තවත් දේ කිරීමටත් බැඳී ඉන්නවා. ජනාධිපතිට යම් පුද්ගලයකු ක්‍රියා කර ඇති ආකාරයෙන් ඔහු ව්‍යවස්ථාව නොරකින ජාතික දේපොළ නොරකින අයකු ලෙස ඔප්පු වී ඇත්නම් එවැන්නකු අගමැති ලෙස පත්කිරීමට ඔහු බැඳී නැහැ. එසේ පත් කළහොත් 33(1) යටතේ ජනාධිපති වැරදි කරුවකු වෙනවා.

විශ්වාසභංග යෝජනා නිසා අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරී ඇති බව අධිකරණය තීන්දු කළහොත් ජනාධිපතිට තිබෙන්නේ ඒ අගමැති ම හෝ වෙනත් අගමැති කෙනකු හෝ පත් කර ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමයි. එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. එතෙක් ජනාධිපතිට ලේකම්වරුන් සමග රට කරවන්න පුළුවන්.

සුද්දන්ගේ නීතිය, අධ්‍යාපනය හා තවත් දේ නිසා අප අමාරුවේ වැටී තිබෙනවා. රට ගෙන යන්න බැරි ප්‍රධාන කාරණය අප තවමත් සුද්දන්ගෙන් නිදහස් නො වීම. බටහිරයන් අපට විවිධ බලපෑම් කරනවා. මේ බලපෑම්වලින් නිදහස් වීමට ඔවුන්ගේ නීතියෙන් අධ්‍යාපයෙන් සංස්කෘතියෙන් කැඩෙමු. වෙනත් වචනවලින් කියනවා නම් ඔවුන්ගේ දේශපාලන, ආර්ථික සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙමු.