Main Logo

Friday 28 December 2018

දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ


දහනවය කුමක් සඳහා ද? රාජ්‍ය ඇමතින් වලංගු නැහැ



මා හිතන්නේ මේ වන විට රනිල් සුමන්තිරන් හා අනුර දාසනායක ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද යන්න පැහැදිලියි. ඒ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කර දැමීමයි, නැති කරන්න බැරි නම් ඒ තව තවත් දුර්වල කිරීමයි. ඔවුන් පිටුපස සිටින්නේ බටහිර රටවල් හා ඉන්දියාවයි. රනිල් කල්ලිය පවතින්නේ ඒ රටවල ආධාරයෙන් හා අනුග්‍රහයෙන්. ඔවුන් වෙනුවෙන් ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් සිවල් සාමාජිකයන් හා තවත් අය කටයුතු කරනවා. ඔවුන්ගේ බයිලාව තමයි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ඇති බවත් එය බිඳ දැමිය යුතු බවත්. ඒ බයිලාවත් ඔවුන්ගේ ම නිර්මාණයක් නො වෙයි. එයත් බටහිරයන් ම ඔවුන්ට ලබා දෙන්නක්. මේ සිවල් සාමාජිකයන් ආදීන්ට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ. ඔවුන් තුට්ටු දෙකේ අනුකාරකයන් පමණයි.




මෙරට ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. මේ ආධිපත්‍යයෙන් අප මත පටවන කිසිවක් බයිලාකරුවන්ට ආධිපත්‍යයක් ලෙස තේරෙන්නේ නැහැ. එය වහලුන්ට වහල් බව නොතේරෙනවා මෙන්. අද මුළු මහත් සමාජය ම මෙහෙයවෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන්. සිංහල බෞද්ධ සමාජයක නම් දරුවන් කුඩා අවධියේ මහණ කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය නගන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයක. වාස්තවික දැනුමක් යන බොරුව යටතේ  බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම පමණක්  ඊනියා බෞද්ධ පාසල් ද ඇතුළුව සියලු පාසල්වල ඉගැන්වීම අනිවාර්ය කර තිබෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. හාමුදුරුවරුන් ගැන ප්‍රශ්න කරන පඬියන් මෙරට ආච්බිෂොප්ලා වතිකානුවෙන් පත් කිරීම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න නගන්නේත් යම් සංස්කෘතික වටපිටාවක මිසක් රික්තයක නො වෙයි. යම් සංස්කෘතික ආධිපත්‍යයක ප්‍රශ්න කරන්නේ බොහෝ විට ඒ සංස්කෘතික ආධිපත්‍යයට තර්ජනයක් වන සංස්කෘතික ලක්‍ෂණ. 



අපට යුදෙව් ක්‍රිස්තියානි දැනුම ලබා ගැනීම හා අපේ දරුවන්ට ඒ ලබා දීම හැර වෙනත් විකල්පයක් නැහැ. එයට හේතුව අද හිඟා කන්නත් සිදු වී ඇත්තේ  ඒ ආධිපත්‍යය යටතේ වීමයි. අපේ නීතිය රෝම ලන්දේසි නීතිය වූ විට කාටත් ඒ ආධිපත්‍යයට යට වෙන්න වෙනවා. ඉංගිරිසින් භික්‍ෂූන් වහන්සේත් රෝම ලන්දේසි නීතිය යටතට ගෙනාවා. අද විහාරාධිපතිකම දෙන්නේ ක්‍රිස්තියානි එංගලන්තයේ පියාගෙන් ලොකු පුතාට උරුමය හිමි වන ප්‍රයිමෝ ජෙනිචර් නීිතිය අනුව යමින්. මේ නීතියට මුල් වෙන්නේ දෙවියන් වහන්සේගෙන් උරුමය ලබාගත් ලොකු ම ලොකු පුතා වූ ආදම්. අපේ හාමුදුරුවරුන්ට විහාරාධිපතිකමේ මුල ගැන තේරුමක් නැහැ. ධර්මය ම ගුරුතැන්හි ලා සැලකූ සාංඝීක උරුමයකට ප්‍රයිමෝ ජෙනිචර් නීතිය කඩා වැට්ටවීම සිදු වූයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ. කිසිම සංස්කෘතියක පෞද්ගලික අයිතිවාසිකම් ඒ ආධිපත්‍යයෙහි අයිතිවාසිකම්වලට විරුද්ධ ව යන්නේ නැහැ. අපේ ඊනියා මූලික අයිතිවාසිකම් ක්‍රිස්තියානි ආධිපත්‍යයට යටයි. අධ්‍යාපනයෙහි අපට ඕනෑ දෙයක් ඉගෙන ගැනීමේ අයිතිය නැත්තේ එබැවිනුයි. මේ තකතීරු අධ්‍යාපනය හුදෙක් ක්‍රිස්තියානි ආධිපත්‍යය රැක ගැනීමට පමණයි. ඉඩක් ලැබුණොත් මහණ කිරීම ගැන පසුව තව දුරටත් කතා කරමු.



බටහිර ක්‍රිස්තියානි දැනුම දෙන කොළඹ විශ්වවිද්‍යාලයේ මා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා අද පොහොට්ටුවේ සභාපති ධුරයට පත් කෙරී සිටින ජී එල් පිරිස් ඇහුවේ ඔහුගේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ගැතිකම හා එයට යටවීම ප්‍රදර්ශනය කරමින්. ඔහු පොහොට්ටු පක්‍ෂයේ සභාපති වන විට එහි සිටි සාමාජිකයන් කවු ද? ඔහු පත් කරුණු ලැබුයේ පිරිසක් එකතු වී පක්‍ෂයක් පිහිටුවා ගෙන ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසුව ව්‍යවස්ථාවට එකඟව ද? ඔවුන් මහින්ද පොහොට්ටුවට එකතු කර ගැනීමට ගොස් අද මහා ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා. ඔවුන් එමගින් සුමන්තිරන්ට ආධාර කරනවා. ඒ රෝම ලන්දේසි නීතිය යටතේ. දේශපාලන පක්‍ෂ පිහිටුවන්නේ බෞද්ධ ක්‍රමයකට නොවෙයි. දේශපාලන පක්‍ෂ නිසා අද බෞද්ධයන් බයිලා රනිල්ට හා මෙතෝදිස්ත සුමන්තිරන්ට යට වෙලා.  



මේ දේශපාලනඥයන් පඬියන් සිවල් සාමාජිකයන් ආදී සියල්ලන් ම මෛත්‍රිපාල මහින්ද සමගිය නිසා වියරු වැටී සිටිනවා. ඔවුන් දහනවවැනි සංශෝධනය ගෙනාවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රකින්න නොව මෛත්‍රිපාල හා මහින්ද තවත් භේද කර සිංහල බෞද්ධ සංස්කෘතික සමගිය නැති කිරීමට හා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට. දහනවයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා ය කීවත් ශක්තිමත් වුණෙ රනිල් හා සුමන්තිරන්. සම්බන්ධන් යනු සුමන්තිරන් විසින් මෙහෙයවෙන්නෙක්. මහින්දත් මෛත්‍රිපාලත් එකිනෙකාට දඬුවම් දීමට තම ගෝලයන් ලවා දහනවයට ඡන්දය ලබා දුන්නා. අද එහි විපාක අප සියල්ලන්ට ම විඳින්න සිදුවෙලා.



මහින්දට අගමැති කම නැති කෙළෙ ඒ පත් වීම ව්‍යවස්ථානුකූල නොවූ නිසා නො වෙයි. ඊනියා විශ්වාසභංග යෝජනා දෙකක් සමග අධිකරණයට ගිහින්. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන අධිකරණයට ගියේ කොහොම ද? එය පාර්ලිමේන්තුව නොව කරුණාරත්නගේ කෝළම් මඩුවක් වූ නිසා ද? අද මහින්දට විපක්‍ෂ නායකකම නැති කරන්න සුමන්තිරන් උත්සාහ ගන්නේ රනිල් සුමන්තිරන් නායකත්වය යටතේ පාර්ලිමේන්තුව පාලනය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැරි නම් දුර්වල කරන්න.



මේ ඊනියා නීතියට ගරු කරන්නන් රාජ්‍ය ඇමතිකම් ඇති කරන්නේ කෙසේ ද? ව්‍යවස්ථාවේ රාජ්‍ය ඇමතිකම් නැහැ. රංගෙ බණ්ඩාරට අනුව නොන් කැබිනට් හා ගොන් කැබිනට් ඇමතිකම් තියෙනවා. රාජ්‍ය ඇමතිකම් යනු මොනවා ද? ව්‍යවස්ථාව අනුගමනය කරන්නන් යැයි කියන්නන් රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්නේ කිනම් ව්‍යවස්ථාවකට එකඟව ද? මෙතෙක් රාජ්‍ය ඇමතිවරුන් පත් කර තිබීම ඒ වරද දිගට ම කරගෙන යෑමට හේතුවක් නො වෙයි. අද පත් කර ඇති රාජ්‍ය ඇමතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ යුතුයි. මේ ගැන සියලු දේශපාලනඥයන් නිහඬ ඇයි?



ඒ කොහොම වුණත් අද මහින්දගෙ විපක්‍ෂ නායකකම ආරක්‍ෂා කිරීම ජාතිකත්වය අබමල් රේණුවක්වත් ගෑවී තියෙන සියල්ලන්ගේ යුතුකම හා වගකීමයි. එහි දී මෛත්‍රිපාල මහින්ද සමගිය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. දහනවය මහින්ද මෛත්‍රිපාල දුර්වල කර රනිල් සුමන්තිරන් ශක්තිමත් කරන්න ගෙන ආ සංශෝධනයක්. එය සම්මත කර ගත්තේත් අධිකරණයට පිටු පා. අද වහාම දහනවය ඉවත් කරන්න බැහැ. එහෙත් සිංහල බෞද්ධ විරෝධී දහනවය ඊළඟ මැතිවරණයෙන් පසු ඉවත් කළ යුතුයි. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල මහින්ද සමගිය තව තවත් ශක්තිමත් කිරීමෙන් පමණයි.