Main Logo

Wednesday 26 December 2018

උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්


උතුරු පළාතෙ ගංවතුර සම්බන්ධ ප්‍රශ්න කිහිපයක්



උතුරු පළාත ම වගේ ගංවතුරෙන් යටවෙලා. දසදහස් ගණනක් අනාථ වෙලා. ඔවුන් ඉන්නෙ කඳවුරුවල. හමුදාවේ රැකවරණය ඇතිව වුවත් හමුදා කඳවුරුවල නොවෙයි. මේ ජනයා මුළුමනින් ම මෙන් දෙමළ කතා කරන්නන්. ස්වාභාවික ආපදා කියන ඒව එන්නෙ කලින් දැනුම් දීල නො වෙයි. ආපදාවන්ට ගොදුරු වූ අයට අනෙක් අයගෙ උදවු උපකාර අවශ්‍යයයි. මා හිතන්නෙ සෑහෙන ප්‍රමාණයක් උදවු උපකාර කිරීමට කටයුතු කළා කියලයි. ගංවතුරු උවදුර පහව යන තෙක් ම ආපදාවන්ට ලක් වූවන් රැක බලා ගැනීම අපේ යුතුකමක්. 





එහෙත් මට ප්‍රශ්න කිහිපයක් අහන්න වෙනවා. උතුරු පළාතෙ හමුදාව රඳවා ගෙන ඉන්නෙ ස්වාභාවික ආපදාවන්ට පත් වූ අයට උපකාර කරන්න නො වෙයි. හමුදාව ඉන්නෙ ඇතැම් මිනිසුන් විසින් අනෙක් මිනිසුන්ට හා රාජ්‍යයට විරුද්ධ ව කෙරෙන ආපදාවන් වැළැක්වීමටත් ඒ අපරාධකරුවන් මෙල්ල කිරීමටත්. එසේ මෙල්ල කිරීමට යෑමේ දී ඒ අපරාධකරුවන් මිය ගියහොත් ඒ ගැන එක්කෝ සාමාන්‍ය අධිකරණයේ දී නැත්නම් යුද්ධාධිකරණයක දී විභාග කරන්න පුළුවන්. දැන් අපේ අධිකරණයට ජාත්‍යන්තර ව ද ජාතික ව ද ස්වාධීනත්වය ගැන සහතික පිට සහතික ලැබෙද්දි ඊනියා ජාත්‍යන්තර අධිකරණ අවශ්‍ය මොකට ද කියල බයිලා රනිල්ගෙන් හා ගංතෙර මංගලගෙන් අහන්න වෙනවා. ඔවුන් රණවිරුවන්ට විරුද්ධ ව ජෙනීවාහි දී බටහිරයන් සමග අත්වැල් බැඳගත් අය. ඔවුන්ට අධිකරණය ගැන මහා විශ්වාසයක් තියෙනව නම් ජෙනීවා යෝජනාව අස්කර ගැනීමට කටයුතු කළ යුතුයි. තලතත් කියන්නෙ ඇය අධිකරණය ස්වාධීන කළ බවයි. මඩු වලිගෙන් තලන්න ඕන අර ව්‍යවස්ථා සභාවෙ ඉන්න අයට ද?



හමුදාව නොහිටින්න අනාථ වූවන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න තිබුණා. ඒ වගේ ම අතුරුදහන් වූවන් ගැනත් අහන්න ලැබෙන්න තිබුණා. පහුගිය කාලයෙ අතුරුදහන් වූවන් පිළිබඳ චෝදනා එල්ල වුණේ හමුදාවට. ඒ චෝදනා පමණයි. අර හතළිස්දාහේ කතාව මුලින් ම කිව්වෙ බයිලා රනිල් කියල තමයි දැන් කියැවෙන්නෙ. දරුස්මාන්ල, එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ආදීන් ආවෙ රනිල්ට පස්සෙ. රනිල්ට නිකම් බයිලා රනිල් කිව්වට වැඩක් නැහැ. ඔහු බයිලා චක්‍රවර්ති කෙනෙක්. විග්නේස්වරන්ලා සුමන්තිරන්ලා කිව්ව විධියට හමුදාව ආපහු යවල තිබුණ නම් අතුරුදහන් වූවන් මෙපමණයි කියලත් සංඛ්‍යාන උපුටා දක්වන ඊනියා විද්වතුන්ට කියන්න තිබුණා.



කොහොමටත් දැන් දෙමළ කතාකරන ජනයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒක ඔවුන් දෙමළ කතාකරන අය වූ නිසා ම ඇති ප්‍රශ්නයක් නො වෙයි. ඒ වගේ ප්‍රශ්න සිංහලයන්ටත් තියෙනවා. අවුරුදු දහසයකට පෙර අද වගේ දවසක සුනාමිය ආවෙ ඒ ඒ අය කතා කරන භාෂාව අනුව නො වෙයි. මා හැමදාමත් ඇසූ ප්‍රශ්නය අදත් අසනවා. දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය අසාධාරණය කුමක් ද? මේ ප්‍රශ්නයට උත්තර දෙන්න වැඩියෙන් ම දඟලන්නෙ ඊනියා ප්‍රබුද්ධ, සිංහල කතාකරන සිංහලෙන් ම පමණක් ලියන පුස්සන් ටිකක්. ඔවුන් ප්‍රශ්නයට උත්තර දෙන්න හදනවත් එක්ක ඔවුන් පොරවල් වීමට දඟලන පුස්සන් බව තව තවත් හෙළි වෙනවා.



අද හමුදාව උතුරේ කරන ක්‍රියා රූගත කිරීමට කුප්‍රසිද්ධ චැනල් 4 රූපවාහිනියෙන් කණ්ඩායම් පැමිණෙනව ද? නරක ද ඒ ක්‍රියාන්විතවලට ප්‍රසිද්ධියක් ලබා දී අපේ හමුදාව ගැන ලෝකයාට නිවැරදි හඳුන්වාදීමක් කරන්න. හමුදාවේ මේ ක්‍රියා රණවිරුවන්ගේ රැකියාවේ කොටසක් නො වෙයි. ඔවුන් ඒ දේ කරන්නෙ ඇතැම් විට දිවි පරදුවට තබා. එහෙත් ඒ නිසා ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. බයිලා රනිල්ගෙ ආණ්ඩුව නම් ඒ ගැන හිතන එකක් නැහැ. ඔවුන් හමුදාවෙ බුද්ධි අංශය දුර්වල කළ අය. එහෙත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මෙන් ම සේනාධිනායකයා ලෙස ද ඒ ගැන හිතන්න ඕන.



අද දෙමළ කතා කරන ජනයාටත් වඩා ඔවුන්ගේ ප්‍රශ්න තමන්ට තේරෙනවා ය කියන අර සිවල් සාමාජිකයන්, පුහු පොරවල් ගංවතුරෙන් විපතට පත් වී ඇති ජනයා වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? මේ දිනවල ඔවුන් ඉන්නේ කොහේ ද? සමහරවිට ගංවතුර ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නෙ නැතිව ඇති. ඔවුන් නත්තල් කෑවද දන්නෙ නැහැ. ප්‍රශ්නයට හේතුව පැරණි සිංහලයන් ඉරණමඩු වැව හැදුව එක කියල කියන්නත් බැරීත් නැහැ. ඉරණමඩුව කියන්නෙ රණමඩුවට. ලංකාවට දෙමළෙන් ඉලංකෙයි කියනවා වගේ. මෙහි දී මට කාරණයක් මතක් වෙනවා. පනස්ගණන්වල ඉරණමඩු ව්‍යාපෘතියක් ඇති කරලා ඒ ජනපදවල මිනිසුන් පදිංචි කරන්න ඉල්ලුම් පත් කැඳෙව්ව ම දෙමළ කතාකරන ජනයා ඉල්ලුම් කෙළෙ නැහැ.  ඔවුන් කිලිනොච්චියෙන් උතුරට පමණක් එදා සීමා වෙන්න අදහස් කළා. උතුරු පළාත හා නැගෙනහිර පළාත දෙමළ කතාකරන ජනයාගේ ඊනියා නිජභූමිය කෙරුණෙ ඊට දශක දෙකකට පමණ පස්සෙ. 



ඔය අනාථ කඳවුරුවල වෙල්ලාල ජනයාත් ඉන්නව ද? ඔවුන්ට ඊනියා අඩුකුලේ ජනතාව සමග එකට ඉන්න පුළුවන් ද? හමුදාවට පස්සෙ නරක නාමයක් අහන්න වේවි වෙල්ලාලයනට වෙන ම කඳවුරු පිහිටෙවුවෙ නැහැ කියලා. කොහොමටත් වෙල්ලාල ප්‍රභූන් නම් ඉන්න ඇත්තෙ කොළඹ. වෙල්ලාල මන්ත්‍රීවරුන් නිකමටවත් බෝට්ටුවක නැගල ගිහින් කෙහෙල් ගෙඩි බෙදනවා අපි දැක්කෙ නැහැ. මෙතෝදිස්ත සුමන්තිරන් ඊයෙ කොළඹ ඉඳන් නත්තල් කෑවද? ඔහුට සුජීව මුණ ගැහුනෙ නැද්ද?



ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ අතර අසමගියක් ඇති කරන්න නූතන මොල්ලිගොඩ හා බැසිලිකාව උත්සාහ දරනවා. පොහොට්ටුවෙන් පමණක් තරග කරනවා කියා මතයක් තහවුරු කරන්න ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරනවා. ඔවුන් පොහොට්ටුවට යන්න හදිස්සි වෙලා තව ටිකෙන් තමන්ගෙ මන්ත්‍රීකමුත් නැති කර ගන්නවා. ඒ මදිවට මහින්දවත් අමාරුවෙ දානවා. අද මේ පක්‍ෂ දෙක එකතු වෙලා දෙමළ කතාකරන ජනයා අතරත් වැඩ කරන්න ඕන. ඔවුන් කෙලින් ම අර රා මදින කොල්ලන්ට, ධීවරයන්ට හා වෙනත් අයට කතාකරන්න ඕන. වෙල්ලාල නායකයන් සමග ඩීල් දැමූ දේශපාලනය අවසන් කරන්න ඕන. උතුරු පළාතෙ ඉන්න ඊනියා අඩුකුල ජනතාව වෙල්ලාලයන් විසින් දෙමළ සංස්කෘතියට අවශෝෂණය කරනු ලැබූ සිංහලයන්. රා මදින අයට කියන නලවාර් යන්නට දෙමළ නිරුක්ති නැහැ. එහි නල කියන්නෙ සිංහලෙන් බට කියන එකට. රා මැදීමේ දී බට යොදා ගැනීම එයට හේතුව කියල මට දෙමළ කතා කරන වෛද්‍යවරයකු කියා තිබෙනවා.



මා මේ සමහර කරුණු ජනමාධ්‍යයට කිව්වත් ඔවුන් ඒ ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. ජනමාධ්‍යවල ඉන්න ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ඔළුවෙන් හිටෙව්වත් වෙනස් වෙන්නෙ නැහැ.