Main Logo

Thursday 20 December 2018

උත්සන්න වී ඇති මහින්ද විරෝධය


උත්සන්න වී ඇති මහින්ද විරෝධය





මහින්ද විරෝධය දැන් උමතු තත්වයකට පත් වෙලා. මා කිසිසේත් ම මහින්දවාදියකු නො වෙයි. පසුගිය කාලයේ මහින්දවාදීන් මට කීවේ සිරිජාතිකවාදියා කියා. සමහරවිට දැනුත් එසේ කියනවා ඇති. ඔවුන් සමහරකුට අනුව මා ඩොලර්වලට වැඩ කරන්නෙක්. මා ඩොලර් අරන් හොඳට හිටපු මහින්ද මහත්තය අමාරුවෙ දාලා. මහින්දට ජනාධිපතිකමත් අගමැතිකමත් දැන් විපක්‍ෂ නායකකමත් නැති කරන්නෙ මා යැයි ඔවුන් කීවොත් මා පුදුම වන්නේ නැහැ. එසේ වුවත් අද සිංහලයන්ට පැහැදිලි විය යුතුයි මහින්දට විරුද්ධව වැඩ කරන්නෙ කවුද කියන එක. මට අවශ්‍ය වූයේ මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට ලබා දී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. රනිල් අද බෙලහීන අගමැති කෙනෙක්.




මෙරට ප්‍රශ්නය ඊනියා ධනේශ්වර ලිබරල්වාදයේ දෙවැනි ඉනිමවත් ඊනියා නිර්ධනීන් සූරාකෑමවත් කම්කරු පංති නායකයන්ගේ පාවා දීමවත් ඊනියා සමගි පෙරමුණුවත් නො වෙයි. ඒ කතා කියන ඊනියා වම අද සමාජයේ වාටියේ. ඔවුන් ගැන කතා කිරීමත් තේරුමක් නැති වැඩක්. මෙරට ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ලබා නො දීමයි. පෘතුගීසීන් මෙරට ගොඩබට දිනයේ සිට එය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. පෘතුගීසීන්ට විරුද්ධව ඔවුන් පන්නා දැමීමට සටන් කළ සීතාවක රාජසිංහ රජු පරාජය වුණේ පෘතුගීසීන් අතින් නො වෙයි. විමලධර්මසූරිය අතින්. එතැන ලොකු පටලැවිල්ලක් වී තිබෙනවා. රාජසිංහ රජුගෙ කොඩියෙ හිටියෙ ඇතා, සිංහයා නො වෙයි. අරිට්ටකි වෙන්ඩු සහ අනෙක් ආඬින් (ආන්ද්‍ර ප්‍රදේශයෙන් පැමිණි) රාජසිංහ රජු වටා සිටියා. විමලධර්මසූරිය රජු ආරම්භ කෙළේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ද? ඔහු බෞද්ධ වූයේ නමට ද? කුසුමාසනදේවි කිසි දා නැවත බෞද්ධ වුණේ නැහැ.



කොහොම නමුත් අපට හරි හමන් සිංහල බෞද්ධ රජකු ඉන් පසු හිටියා ය කියන්න බැහැ. අදත් අප සටන් කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීමට. ඒ හුදෙක් ආශාවක් සම්පූර්ණ කර ගැනීමට නො වෙයි. මෙරට සිංහල බෞද්ධ සිංහල ක්‍රිස්තියානි/කතෝලික දෙමළ මුස්ලිම් ආදී සියල්ලන්ට නිදහසේ ජීවත් විය හැක්කේ තම ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැක්කේ සිංහල බෞද්ධ රාජ්‍යයක නිසා. අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මිදීමට ඇති එක ම මග සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීමයි.



ඉංගිරිසින් හා ලන්දේසින් පෘතුගීසීන්ට පසුව සිංහල බෞද්ධයන් ඝාතනය කළා. මර්දනය කළා. සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කළා. ඔවුන්ගේ අධ්‍යාපනය මගින් අප බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට යට කළා. අපට ඉන් කැඩීම ලෙහෙසි නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර යම් යම් ප්‍රමාණවලින් ඉන් කැඩුණා. සිරි ගුනසිංහට ඉන් කැඩෙන්න කිසිසේත් ම බැරි වුණා. ඔහුගේ හෙවනැල්ල අදත් විශ්වවිද්‍යාලවල හොල්මන් කරනවා. ඒ හෙවනැලි ඇද මිනිසුන් අතර. ඔවුන්ට සමාජයට බලපෑමක් කරන්න බැහැ. දේශපාලන පක්‍ෂයක් ලෙස ශ්‍රී ල නි ප එකී ආධිපත්‍යයෙන් යම් ප්‍රමාණයකට කැඩුණා.



ඉංගිරිසින් 1833 දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව බෞතීස්ම කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමටයි. එහෙත් ඒ දුර්වල වූවා මිස නැති වූයේ නැහැ. මේ ඉතිහාසය දිගින් දිගට කියන්න ඕන නැහැ. මා එය නොයෙක් වර කියා තියෙනවා. දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව අවි ගත්තේ බටහිර රටවල අනුග්‍රහයෙන් ප්‍රභාකරන්ගේ නායකත්වයෙන්. බටහිර රටවල විරුද්ධතාව මැද අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වීම සීතාවක රාජසිංහ රජුගෙන් පසු අප විදේශිය ආක්‍රමණිකයන්ට එරෙහි ව ලැබූ විශිෂ්ට ම ජයග්‍රහණයයි. දෙමළ ජාතිවාදයත් දෙමළ ත්‍රස්තවාදයත් බටහිරයන්ගේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිර්මාණ.



දෙමළ ජාතිවාදය බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇති කෙරුණක්. ප්‍රභාකරන් ආගමින් ක්‍රිස්තියානි නොවන්නට ඇති. එහෙත් ඔහු වටා සිටි ප්‍රධාන ත්‍රස්තවාදීන් ක්‍රිස්තියානි. ඔහුට කතෝලික හා ක්‍රිස්තියානි පූජකයන්ගේ අනුග්‍රහය ලැබුණා. මෑත කාලයේ දෙමළ ජාතිවාදයේ ප්‍රබල ම නායකයන් වූ චෙල්වනායගම් හා සුමන්තිරන් සංස්කෘතියෙන් පමණක් නොව ආගමෙන් ද ක්‍රිස්තියානි. රනිල්ගේ සංස්කෘතියත් බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි.



දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණේ මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන්. ඒ නිසා බටහිරයන් ඔහුට වෛර කරනවා. දෙමළ ජාතිවාදීන් ද ඇතුළු සිංහල බෞද්ධ විරෝධීන් ඔහුට ද්වේෂ කරනවා. ඔවුන්ට ඔහු පරාජය කරන්න ඕන. හැකි නම් ඔහුට දඬුවම් කරන්න ඕන. විදුලි පුටු නිකම් ම කතන්දර නො වෙයි. අරාබි වසන්ත කතා තවමත් ඇසෙනවා. දැන් අරාබි වසන්තය මෛත්‍රිපාලටත් විරුද්ධ ව කතා වෙනවා. ගඩාෆී කතාව සුළුවෙන් තකන්න බැහැ.



අවාසනාවකට 2015 දී මහින්ද පරාද කෙරුණේ මෛත්‍රිපාල අතින්. එය ඉතිහාසයේ සිදු වූ වරදක්. එහෙත් අප දැන් ඒ වරද නිවැරදි කර ගෙන තිබෙනවා. මෛත්‍රිපාල මහින්ද (ගෝඨාභය) සුසංයෝගය අප ලැබූ ජයග්‍රහණයක්. අද මෛත්‍රිපාලටත් ගඩාෆි තර්ජන එල්ලවෙන්නේ ඔහු නිවැරදි මාවතට පැමිණ ඇති බැවින්. බටහිරයන්ට, දෙමළ ජාතිවාදීන්ට හා පොදුවේ සිංහල බෞද්ධ විරෝධීන්ට දරාගත නොහැකි පරාජයක් වූයේ පසුගිය දා මහින්ද අගමැති වීමයි. සිංහල බෞද්ධ විරෝධීන් මහින්ද පරාජය කිරීමට එකතු වුණා. අනුර දාසනායකගේ රනිල් දාස පෙරමුණත් එයට විශාල දායකත්වයක් ලබා දුන්නා. වෙනත් වචනවලින් කියනවා නම් රනිල් දාසයන් දාසකමේ යෙදෙවුවා. රනිල් සුමන්තිරන් අනුර කල්ලිය සමග කරුණාරත්න ජයසූරිය සහයෝගයෙන් කටයුතු කළා. අධිකරණය ගැන මා කියන්න යන්නේ නැහැ. එහෙත් ජනාධිපති පසුගිය දා කියා සිටියේ ව්‍යවස්ථා සභාව තමා නිර්දේශ කළ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ප්‍රතික්‍ෂෙප කළ බවයි. මේ ව්‍යවස්ථා සභාව හා එහි නිර්දේශ මත පත්කරනු ලැබූ ඊනියා ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රෝඩාතන්තවාදයක් තවත් නැහැ. අප පසුගිය ලිපියක පෙන්වා දී ඇති පරිදි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දහ දෙනාගෙන් අට දෙනකු ම රනිල් හා සම්බන්ධන් හා ඔවුන්ගේ නියෝජිතයන්.  එහෙත් රනිල් තම රඟ දෙන බයිලාවලින් කියන්නේ මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් තුන් ලෝකයේ ම නැහැ කියා. ඔහුට බයිලා රනිල් කීවත් කමක් නැහැ.



අද කිරිඇල්ල හකීම් සුමන්තිරන් සම්බන්ධන් හා අනෙක් සිංහල බෞද්ධ විරෝධීන් පාර්ලිමේන්තුවේ උත්සාහ දරන්නේ පත්තර වාර්තා පිහිටෙන් මහින්ද විපක්‍ෂ නායක කමෙන් ද ඉවත් කරන්න. මහින්ද අමරවීර කියනවා නම් මහින්ද රාජපක්‍ෂ තවමත් එක්සත් ජනතා නිදහස් සංධානයේ කියා, ඔහු එයට විරුද්ධ දෙයක් කතානායකට හරි මැතිවරණ කොමිසමට හරි දන්වලා නැත්නම් සිංහල බෞද්ධ විරෝධීන් මහින්දට විපක්‍ෂ නායකකම නොදීමට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි. මට නම් කතානායකවත් හූල් ඉන්නා මැතිවරණ කොමිසමවත් විශ්වාස නැහැ. සිකුරාදා කතානායක කිනම් තීන්දුවක් දේවි ද කියන්න බැහැ. ඔහුගේ ම නොවන ඔහුගේ තීරණ ගැන අපට අත්දැකීම් තියෙනවා.

 

ඒ කුමක් වුවත් අද සිංහල බෞද්ධ විරෝධී බලවේග ඒකරාශි වෙලා මාරාන්තික සටනක් කරනවා. ඒ ප්‍රධාන වශයෙන් ම ඔවුන්ගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය රැක ගැනීමට. මහින්ද විපක්‍ෂ නායක වූ විට අර ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වෙනවා. සමහරවිට ජාතිකවාදීන් ද එහි සාමාජිකයන් වේවි. එවිට අර ඊනියා ස්වාධීන කොමිෂන් සභාත් රනිල්ට ඕන විධියට වැඩ කරන එකක් නැහැ. ජනාධිපති නිර්දේශ කරන විනිසුරුවන්ගේ නම්  ප්‍රතික්‍ෂෙප වෙන එකක් නැහැ. මහින්ද විපක්‍ෂ නායක වූ විට ඔහු සුමන්තිරන් විසින් මෙහෙයවෙන්නේ නැහැ. මහින්ද අගමැති නොව විපක්‍ෂ නායක වීමත් සිංහල බෞද්ධ විරෝධීන්ට මහා ප්‍රශ්නයක්, පරාජයක්.



පොහොට්ටුවේ කතාව ගැන මා ඊයේ සඳහන් කළා. අපි හිතමු මහින්ද හා පිරිස එක්සත් ජනතා නිදහස් සංධානයේ නොවේ ය කියා සුපුරුදු ආකාරයෙන් වැරදි තීන්දුවක් දුන්නා ය කියා. එවිට ඒ පිරිස වෙනුවෙන් මන්ත්‍රීන් නම් කෙරෙන්නේ කරුණාරත්නටවත් දාසනායකටවත් සුමන්තිරන්ටවත් හකීම්ටවත් කිරිඇල්ලටවත් ඕන විධියට නොවෙයි. මහින්ද අමරවීරට ඕන විධියටයි. එවිටත් විපක්‍ෂ නායක වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අයකු මීස සම්බන්ධන් නො වෙයි. සම්බන්ධන් නොදන්නවාට ඔහුගේ විපක්‍ෂ නායකකම අහෝසි වුණේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයේ. ඒ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආණ්ඩුවේ වැඩ කටයුතු කෙරෙන්නේ එලෙසයි.  එදා සිට පහුගිය දා මහින්ද විපක්‍ෂ නායක වන තුරු මෙරට විපක්‍ෂ නායක කෙනකු සිටියේ නැහැ. ජඩමාධ්‍යකරුවන් රට අවුලවනවා විපක්‍ෂ නායක දෙදෙනකු ඉන්නවා කියා. ඒ ඔවුන්ගේ මාධ්‍යවල යහපතට මිස රටේ යහපතට නො වෙයි. ජඩමාධ්‍යකරුවන්ට මගේ අදහස් සතපහක් නොවටින්නේ ඇයි ද කියා මා දන්නවා.



රනිල්ලාට මහින්ද හැර එ ජ නි සංධානයේ වෙනත් අයකු විපක්‍ෂ නායක වුණත් කමක් නැහැ. ඔවුන්ට සංධානයේ වෙනත් අයකුවත් විපක්‍ෂ නායක වෙන එක වළක්වන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය මහින්ද දේශපාලන වශයෙන් නැති කරන්න. ඔවුන් මහින්දට විරුද්ධ වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නේ ඔහු බැවින්. ඔහුට විරුද්ධව බටහිරයන්ගේ නායකත්වයෙන් සියලු සිංහල බෞද්ධ විරෝධී බලවේග පෙළ ගැසී ඉන්නවා. 



සිකුරාදා තීන්දුව කුමක් වුවත් ඉන් පසු කළ යුත්තේ කුමක් ද යන්න පැහැදිලියි. නූතන මොල්ලිගොඩලාට සවන් නොදී වෙල්ගම වැන්නන්ට නිසි පාඩම් උගන්වා මෛත්‍රිපාල මහින්ද (ගෝඨාභය) සමගිය තව තවත් ශක්තිමත් කළ යුතුයි. මහින්ද තම ශක්තිය මෛත්‍රිපාලට දී තිබෙනවා. අද මෛත්‍රිපාලත් ශක්තිමත් ව වැඩ කරනවා. පසු බෑම් තියෙන්න පුළුවන්. එහෙත් ජයග්‍රහණය ඈතක නො වෙයි.