Main Logo

Thursday 11 July 2019

ප්‍රබුද්ධයෝ, ඉන්දියාව හා රනිල්දාස


ප්‍රබුද්ධයෝ, ඉන්දියාව  හා රනිල්දාස

ඊයේ උදේ බිබිල ප්‍රදේශයේ නායක හාමුදුරුවන්වහන්සේ නමක් මගෙන් ඇහුවා දැන් මා නිහඬ ඇයි කිහායා. මා උන්වහන්සේට කියා සිටියේ ජනමාධ්‍යවේදින්ට පින් සිදුවන්න කියා. ඊයේ හවස බෞද්ධ සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන මගේ පාසල් මිතුරකු බෝධි භික්‍ෂූන් වහන්සේ බුදුදහම රැකෙන්න නම් බෞද්ධ සංස්කෘතියක් තිබිය යුතු බව කියා ඇති බව කිව්වා. මා ඔහුට කියා සිටියේ දැන් අවුරුදු විසිපහකට වැඩි කාලයක් මා එය ලියන කියන බව. ඔහු මා ලියූ එක ලිපියක්වත් කියවා තිබුණේ නැහැ. 


ඉරාජ්, හිරුණිකා ආදීන්ට ලැබෙන ප්‍රචාරය ජනමාධ්‍යයෙන් මට ලැබෙන්නේ නැහැ. ඉඳහිට හරි අවස්ථාවක් ලබා දෙන්නේ දෙරණ රූපවාහිනිය පමණයි. සතිඅග අරුණවත් මගේ අදහස්වලට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. මා මෙල්බන් නගරයෙහි දී පැවැත්වූ කතාවක් පමණක් ඔවුන් පළ කර තිබුණා. එහි කතුවරයාත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක්. 

මේ ලිපි ලිවීමෙන් තුට්ටුවක වැඩක් නැති බව දැන දැනත් ලියන්නේ ඇයි ද කියන ප්‍රශ්නය නම් මගේ හිතට දසදහස් වරක් ඇවිත් තියෙනවා. දැන් ලියන එක අබිං කෑමක් වෙලා. ඉක්මණින් මේ අබිං කෑමෙන් ඉවත් වෙන්න ඕන. 

ඊයේ හොඳ ප්‍රවෘත්තියක් නම් අහන්න ලැබුණා. ඒ මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිඩාංගනයේ දී ඉන්දියාවේ පරාජය. මා කතා කරන්නේ නවසීලන්ත ජයග්‍රහණය ගැන නො වෙයි. ඉන්දියාවේ පරාජය ගැනයි. මා ප්‍රබුද්ධයකු නොවෙයි. ක්‍රිඩා හා දේශපාලනය අතර සම්බන්ධයක් නැතැයි ප්‍රබුද්ධයකු කියන්න පුළුවන්. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කියන්නෙත් එක්තරා ආකාරයකට රටවල් අතර කෙරෙන යුද්ධයක්.  ඊයේ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි හැසුරුණු ආකාරයෙන් ඒ බව දැන ගන්න පුළුවන්.

තවත් ප්‍රබුද්ධයකු කියා තිබුණා ඉන්දියාව පරාජය වීම නිසා ආසියාවට ලෝක කුසලානය දිනා ගැනීමට තිබූ අවස්ථාව නැති වී ගිය බව. මේවා නිකම් ම නිකම් ප්‍රබුද්ධ කතා පමණයි. ඉන්දියාව ලෝක කුසලානය දිනා ගත්තා නම් එය ආසියාව වෙනුවෙන් කළ එකක් බවවත් කියන්නේ නැහැ. ඔවුන් පකිස්තානය වෙනුවෙනුත් ලෝක කුසලානය දිනා ගනීවි ද? 

මෙරට ඊනියා ජාතික සම්මාන හා ජාත්‍යන්තර සම්මාන දිනා ගන්නා කලාකරුවන් ඇතුළු බොහෝ දෙනා කියනවා තමන්ගේ ජයග්‍රහණය පෞද්ගලික ජයග්‍රහණයක් නොව ජනතාවගේ ජයග්‍රහණ බව. එහෙත් එසේ කියා කුසලානය හරි පදක්කම හරි ගෙදර ගෙනියනවා. එය ජනතා ජයග්‍රහණයක් නම් ඔවුන් කළ යුත්තේ සංකේතයක් ලෙස කුසලානය හරි පදක්කම හරි ලබා ගෙන එය ජනතාව වෙනුවෙන් තබා ගැනීමට සංවිධායකයන්ට ම භාර දීම. 

කවුරු හරි පඬියකුට ප්‍රබුද්ධයකුට කියන්න පුළුවන් මට ජීවිතයේ කිසිම දිනෙක ජාතික හරි ජාත්‍යන්තර හරි සම්මානයක් නොලැබෙන නිසා එවැනි කතා කියන්න පුළුවන් බව. ඒකට මට දෙන්න පුළුවන් උත්තරය මොකක් ද? ජාතික හරි ජාත්‍යන්තර හරි සම්මානයක් ලැබෙන්න තරම් දෙයක් මගෙන් සිදු වී නැති බව පමණක් මට කියන්න පුළුවන්. ඒ ගැන කවුරුත් එකඟ වේවි. බැරි වෙලාවත් සම්මානයක් ලැබුණොත් කුමක් කරන්නේ ද යන ප්‍රශ්නය ගැන මා කියන දෙයක් ප්‍රබුද්ධයන් විශ්වාස කරන එකක් නැහැ. 

ඉන්දියාව හා එංගලන්තය අපේ ප්‍රධාන හතුරන් බව මා කිහිප වරක් ම කියා ඇති. එහෙත් බොහෝ දෙනකු එය අසා නැතිව ඇති. ඒ මගේ ලිපි කියවන්නන් එතරම් ප්‍රමාණයක් නැති නිසා. ඉන්දියාවෙන් හෝ අද ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් හෝ අපට ලැබුණේ බුදුදහම හා වංග කාලිංග සංස්කෘතිය. පසුව කේරළ සංස්කෘතියත් යම් ප්‍රමාණයකට ලැබී තිබෙනවා. එමෙන් ම අපෙනුත් යම් යම් සංස්කෘතිකාංග ඒ ප්‍රදේශයට ලැබී තියෙනවා. මා තදින් විශ්වාස කරනවා ශූන්‍යය සඳහා වූ සංකේතය ලෝකයට ගියේ සිංහලයන්ගෙන් කියා.  

වත්මන් ආන්ද්‍ර ප්‍රදේශයෙන් ලැබුණු ආභාසය, එය ආභාසයක් ද ආධිපත්‍යයක් ද යන්න ප්‍රශ්නයක්, වඩාත් බරපතළයි. අප හතරවැනි සියවසෙන් පමණ පසු හිතන්නේ නැති ජාතියක් වෙලා තියෙනවා.  මෙරට බොහෝ දෙනා මෙයට විරුද්ධ වේවි. ඔවුන්ට හිතන්න බැරි බව මා දන්නවා. 

මේ සියල්ල අතර අද රනිල්දාසගේ විශ්වාසභංගය ගැන ඡන්දය පැවතෙනවා. ජ වි පෙ දන්නවා එහි ප්‍රතිඵලය. සම්බන්ධන් හරි මහින්ද හරි මත ප්‍රශ්නය දාන්න පුළුවන්. ඒත් රනිල්දාස අමුතු කතාවක් කියා තිබුණා. ජ වි පෙ පෙබරවාරි ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවෙ මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහින් මහින්ද අගමැති කරපු නිසා කියා. ඒ මහින්දට බහුතරයක් මන්ත්‍රීන් නොසිටි නිසා කියා.

රනිල්දාසගෙන් පොඩි ප්‍රශ්නයක් පමණයි අහන්න තියෙන්නෙ. 2015 ජනවාරි මස පිහිටුවන ලද රනිල්ගෙ ආණ්ඩුවට බහුතරයක් තිබුණ ද? එදා ඔහුට හිටියෙ මන්ත්‍රින් හතළිස් ගණනක් පමණයි. සමහරවිට ජ වි පෙ අංක ගණිතය අනුව හතළිස් ගණන දෙසියවිසිපහෙන් බහුතරය වෙන්න පුළුවන්.

කොයිකටත් රනිල්දාසගෙ දැන ගැනීම පිණිස අගමැති පත් කිරීම පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වන වගන්තිය පහත දක්වනවා. මේ වගන්තිය ගැන මා ඕනෑ තරම් ලියා තියෙනවා. එහෙත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් එයට කිසි දිනෙක ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. 

“42 (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.”

මහින්ද ඔක්තෝම්බරයේ අගමැති පදවියට පත් කෙරුණේ මේ වගන්තිය අනුවයි. හිතන්න බැරි ජාතියකට මේ වගන්තිය ගැන හිතන්න බැහැ. රනිල්දාසට කොහොමටත් බැහැ.