Main Logo

Saturday 13 July 2019

විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්


විශ්වාසභංගයේ මාධ්‍ය සංදර්ශන හා රැවටීම්

විශ්වාසභංග යෝජනාවට විරුද්ධ ව ඡන්දය දීමට එස් බී දිසානායක ඇතුළු ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පස්දෙනකු  පමණ නොපැමිණියේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී හෙවත් මාධ්‍ය සංදර්ශනයක දී ඩිලාන් පෙර්රා කියා ඇත්තේ ඔක්තෝම්බර් විසිහය සිද්ධියේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට ආධාර කළ පිරිසකට එසේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන්නේ නම් මන්ත්‍රීධුර අහෝසි වීමේ තර්ජනයක් තිබූ බවයි. 


එහෙත් ඩිලාන් පෙරේරාගේ කතාව පිළිගන්න තරමක් අමාරුයි. මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන් රාශියක් විශ්වාසභංගයට විරුද්ධ ව ඡන්දය දීලා. ඔවුන්ට මන්ත්‍රීධුර අහිමි වීමේ තර්ජනයක් නැහැ. එසේ මන්ත්‍රීධුර අහිමි නොවන්නේ නම් එස් බී දිසානායක ඇතුළු කිහිප දෙනකුට පමණක් මන්ත්‍රිධුර අහිමි වීමේ තර්ජනයක් තිබිය හැක්කේ කෙසේ ද?

එස් බී දිසානායකට එරෙහිව පියවර ගත යුත්තේ එ ජා නිදහස් සංධානයේ ලේකම් මහින්ද අමරවීරයි. එහෙත් මහින්ද අමරවීරත් අද විපක්‍ෂයේ. ඔහු තමන්ට විරුද්ධ ව මන්ත්‍රීධුරය අහිමි කර ගැනීමට කටයුතු නොකරන බව පැහැදිලියි. එසේ නම් ඩිලාන් පෙරේරා ගෙනෙන ඊනියා හේතුව වටහා ගැනීමට අපහසුයි. 

මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් එස් බී දිසානායක ඇතුළු කණ්ඩායම කළ යුතුයි. ඔවුන් විශ්වාසභංගයට පක්‍ෂ ව ඡන්දය දුන්නේය කියා විශ්වාසභංගය දිනන්නේ නැහැ. රනිල්දාස කුමක් කීවත් විශ්වාසභංගය ගෙනාවේ ම බද්‍යුද්දීින් හා ආණ්ඩුව බේරා ගැනීමටයි. මෙහි දී ආණ්ඩුව කියා කිව්වේ රනිල්ගේ ආණ්ඩුව මිස මෛත්‍රිපාලගේ ආණ්ඩුව නො වෙයි. මෛත්‍රිපාල පන්නා දැමීම ලෙහෙසි නැහැ. ඒ සඳහා දෝෂාභියෝගයක් ගේන්න ඕන. 

එයට මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක අත්සන් සහිත ව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. එහෙම නැත්නම් එවැනි යෝජනාවක් කතානායක පිළිගන්න ඕන. ඇතැම් මහානායක හිමිවරුන්ගෙන් සහතික ලබා ගත්තත් කරුණාරත්න ජයසූරිය තවත් රනිල්දාසයකු පමණයි. ඔහු දැන් ජනාධිපතිවරණයට ඉදරිපත් වීමට ව්‍යාපෘතියක නිරත වී ඉන්න බව පැහැදිලියි. ඔහුට විරුද්ධ ව සජිත් ඉන්නවා. එහෙත් මේ දෙදෙනා ම රනිල්ට විරුද්ධ ව කිසිවක් කියන්න බයයි. 

ජනාධිපතිවරණයේ දී එ ජා ප අපේක්‍ෂකයා තෝරා ගන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයයයි. එහි බලය ඇත්තේ රනිල්ටයි. අවසානයේ දී එ ජා ප අපේක්‍ෂකයා වනු ඇත්තේ රනිල් හෝ රනිල් අනුමත කරන අයකු හෝ පමණයි. සජිත් මෙන් ම කරුණාත්නත් ඒ බව දන්නවා. ඔවුන් රනිල්ට විරුද්ධ ව කට අරින එකක් නැහැ. 

ඒ කොහොම වුණත් විශ්වාසභංගයට දෙමළ ජාතික සංධානයත් මුස්ලිම් මන්ත්‍රීවරුනුත් ඡන්දය දීලා. ඔවුන් ඡන්දය දුන්නේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  පිළිබඳ ව දී ඇති එකිනෙකට විරුද්ධ පොරොන්දු ලබා ගැනීමෙන් පසුව. රනිල් දෙමළ ජාතික සංධානයට පොරොන්දු වෙලා කල්මුණේට වෙන ම දෙමළ පාදේශීය ලේකම් කාර්යාලයක් ලබා දෙන බවට. අනෙක් පැත්තෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පොරොන්දු වෙලා එසේ නො දෙන බවට.

මේ සියල්ල මාධ්‍ය සංදර්ශන පමණයි. දෙමළ ජාතික සංධානයට දී ඇති පොරොන්දුව ලිඛිත ව දී ඇති බවත් මංගල සමරවීර ඒ සඳහා ප්‍රතිපාදන දී ඇති බවත් කියනවා. ඒ කතාව අනුව රනිල්දාස රනිල්ගේ ආණ්ඩුවට බැණ වදිනවා දෙමළ ජාතික සංධානය සමග ඩීල් දේශපාලනයක යෙදෙන බවට. 

ජ වි පෙ කරන්නෙත් ඩීල් දේශපාලනයක්. මහින්දත් මෛත්‍රිපාලත් ඉන්නෙ ඩීල් දේශපාලනයක. මේ සියල්ලෙහි ම විවිධ ගණුදෙනු තියෙනවා. එහෙත් මේ සියල්ලන් ම කරන්නේ ජනතාව රැවටීම පමණයි. දෙමළ ජාතික සංධානය දෙමළ කතාකරන ජනයා රවටනවා. 

ඔය කල්මුණේ ප්‍රාදේශීය කාර්යාලයක් කියන ඉක්මණට ලබා දෙන්න බැහැ. ඒ සඳහා විධික්‍රමයක් තියෙනවා. රනිල්ටයි මංගලටයි ඕන විධියට එසේ කාර්යාලයක් කොට්ඨාසයක් ලබා දෙන්න බැහැ. ඒ බව දෙමළ ජාතික සංධානයත් මුස්ලිම් මන්ත්‍රීවරුනුත් රනිලාදාසත් දන්නවා. එහෙත් ඒ සියල්ලන් ම තමන්ට අවශ්‍ය අය රැවටීම සඳහා එකම මාතෘකාව යොදා ගෙන මාධ්‍ය සංදර්ශන  පවත්වනවා.

එස් බී පවත්වන්නෙත් මාධ්‍ය සංදර්ශනයක්. ඩිලාන් පෙරේරා අපට ඊනියා හේතු දෙනවා. මහින්ද අමරවීර වෙනත් දෙයක් කියනවා. මහින්ද සාමාන්‍ය ව්‍යවහාරයේ කියන අන්දමට ෂේප් න්‍යාය යොදා ගන්නවා. අප දන්න දෙයක් තියෙනවා. බල්ලො බලුමස් කන්නෙ නැහැ.