Main Logo

Monday 29 July 2019

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරු ෂාෆි සහ තවත් අය

මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා ඇමතිකම් බාරගන්න තීරණය කරලා. රනිල් ඒ ඇමතිකම් නිර්දේෂ කළ බවයි පේන්න තියෙන්නෙ. දිවුරුම් දීම අද හෙට සිද්ද වෙන්න පුළුවන් කියලයි කියන්නෙ. අතන මෙතන රතන හිමියන් උපවාස කෙළෙ බද්‍යුද්දීන් හිස්බුල්ලා හා අසාද් සාලි අස්කරන්න කියලයි. අසාද් සාලි හා හිස්බුල්ලා නම් දැන් තමන් දැරූ ආණ්ඩුකාර පදවිවලින් අස්වෙලා. අතන මෙතන රතන හිමියන් උපවාසය නතර කෙළෙ ඔවුන් දෙදෙනා අස්වුණාම. ඒ වෙලාවෙ බද්‍යුද්දීන් අස්වෙලා හිටියෙ නැහැ. ඔහු අනෙක් මුස්ලිම් ඇමතිවරුත් එක්ක අස්වුණෙ ඊට පස්සෙ.  අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසෙට බද්‍යුද්දීන් අදාළ නැති වෙන්න ඇති. බද්‍යුද්දීන් නැවත ඇමතිකමේ දිවුරුම් දුන්නත් අතන මෙතන රතන හිමියන් උපවාසයක් ආරම්භ කරාවිය කියල හිතන්න අමාරුයි. 


මෛත්‍රිපාලට ඕන නම් මුස්ලිම් ඇමතිවරුන්ට ඇමතිකම් නොදී ඉන්න පුළුවන්. ඒත් ඔහුත් බලන් ඉන්නෙ මුස්ලිම් ඡන්ද දිහා. මේ කොයි කාටත් මුස්ලිම් ඡන්ද ලොකු වෙලා. මහින්ද බැසිල් මෛත්‍රිපාල රනිල් කොයි කවුරුත් මොන කතා කිව්වත් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කියන්න පුළුවන් ඒ අය සියළු ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඊනියා ස්මාට් ජාතිකවාදීන් බව. සිංහලයන් 75%ක් ඉන්න රටක සිංහලයන් වෙනුවෙන් කතාකරන දේශපාලන පක්‍ෂ නායකයන් නැති වීම ප්‍රශ්නයක්. සෘජුව ම සිංහලයන් වෙනුවෙන් කතා කිරීම පැත්තකින් තියන්න. සිංහල බෞද්ධ සංස්කෘතික ධජය සෙවණේ සියල්ලන් එකතු කිරීමක් ගැන ඔවුන්ට කියන්න පුළුවන් ද? 

ඔය දේශපාලන පක්‍ෂවල නායකයන් කියන අය වෙනත් අය විසින් මෙහෙයවනු ලබනවා. ඒ මෙරටින් පමණක් නොවෙයි, පිටරටිනුත්. බටහිරින් හා ඉන්දියාවෙන්. ඒ රටවල ඔත්තුකාරයන් මෙරට වැහි වැහැලා. මෛත්‍රිපාල පමණක් නොව බැසිල් හා මහින්ද ද ඉන්දියාව විසින් මෙහෙයවෙනවා. 2008-2009 කාලයේ ඉන්දියාව සමග තිබූ ට්‍රොයිකා සාකච්ඡා අමතක කරන්න බැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දා ම ජයග්‍රහණය පාවාදීමට කටයුතු කිරීම පසුව නැවතුණේ සිංහල ජාතිකවාදී බලපෑම නිසා මිස ඊනියා ස්මාට් ජාතිකවාදී බලපෑමක් නිසා නො වෙයි. ස්මාට් ජාතිකවාදීන්ට අවශ්‍ය වුණේ ට්‍රොයිකා සාකච්ඡා අනුව කටයුතු කිරීම. 

අපට එ ජා ප හැරෙන්න මේ ඉන්න නායකයන් සමග වැඩ කරන්න සිද්ධ වෙලා. අප 2015 මැයි මාසෙ පමණ සිට නිතර ම මහින්ද හා මෛත්‍රිපාල එකතු වෙන්න ඕන කියනවා. ඒ විතරක් නොවෙයි අද දිනේෂ්ලා වාසුලා විමල්ලා එක්කත් සංධානයක් හදන්න ඕන කියනවා. පොහොට්ටුවෙ උද්ධච්ඡයන්ට හිතුණට තනිව ම දිනන්න පුළුවන් කියල එහෙ ම බැහැ. පොහොට්ටුව ඉහත සඳහන් පක්‍ෂ සමග සංධානයක් හදන්නෙ නැතිව දෙමළ කතාකරන හා මුස්ලිම් නායකයන් සමග ගණුදෙනු (ඩීල්) දේශපාලනයක යෙදෙනවා. ඒ සඳහා එකී නායකයන්ට මොනවා හරි කප්පම් දෙන්න සිද්ධ වෙනවා. සංධානයක් නැතිව ක්‍ෂුද්‍ර පක්‍ෂ සමග වෙන වෙන ම  ගිවිසුම් අත්සන් කරනවා. පනස්හයට විරුද්ධ ව කටයුතු කරනවා.

ගෝඨාභය පොහොට්ටුවෙන් නැතිව වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වෙන්න ඕන කියන්නෙත් ඔහු ජනතාවගේ අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවන නිසයි. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා බවට පත් කරන්න එදා ඉඳල වැඩ කෙරුවෙ මූලික ව ම තනි පුද්ගලයෙක්. පොහොට්ටුවට කියන්න පුළුවන් ද ඔවුන් දිගට ම ගෝඨාභයට පක්‍ෂපාත වූ බව. 2015 මහින්ද පැරදුණෙ පාර්ලිමේන්තු රාජපක්‍ෂලා බලයෙන් මත් වී ක්‍රියා කළ නිසාත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ අවට නාගරික සිංහල බෞද්ධ ඡන්ද නැති කර ගත් නිසාත්. අප ඒ වැරදි නිවැරදි කරන්න ඕන. 

නුගේගොඩ රැස්වීමෙ දි මහින්දගෙ පණිවුඩය කියව ගන්න ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක්, එකල ඔය පොහොට්ටුවෙ උද්ධච්ඡයන් හිටියෙ  ශ්‍රි ල නි පක්‍ෂයේ යම්දෝ නොයම්දෝ මානසිකත්වයෙන්, හිටියෙ නැහැ. පස්සෙ මහින්ද සුළඟ මාරුතයක් බවට පත් වුණා ම තමයි ඔවුන් හිත හදාගෙන මහින්ද ළඟ නැවතුණෙ. බැසිලුත් ආවෙ ඊට පස්සෙ. සංවිධානය කරනව කියන්නෙ උඩින් තීරණ අරගෙන යට ඉන්න අයට අණ දෙන එක නොවෙයි. 

මේ ළඟදි පොහොට්ටුවෙ දේශීය වෛද්‍යවරුන්ගෙ සංවිධානයක් හදල. ආයුර්වේද හා සිංහල වෙදමහත්වරුන්ට එන්න කියල කලින් හදපු ව්‍යවස්ථාවක් එතැන සම්මත කරගෙන නිලධාරීන් පත් කර ගෙන. පොහොට්ටවෙ ඊනියා සංවිධාන කටයුතු කෙරෙන්නෙ නිලධාරි ක්‍රමයකට. තනතුරු බලන් ඉන්න අය එයට යටත් වෙනවා.

කෘෂිරසායනික වකුගඩු රෝගය සනීප කරන්න පුළුවන් සිංහල වෙදකමෙන්. ඒ සඳහා අපට සහාය දුන් එක ම දේශපාලනඥයා වයඹ පළාත් සභාවෙ හිටපු සෞඛ්‍ය ඇමති හේරත් පමණයි. එහෙත් පළාත් සභාව විසුරුවා හැරීම නිසා ඔහුට අපේ ජංගම වෙදගෙවල් සංකල්පය ක්‍රියාත්මක කරන්න බැරිවුණා. හිටපු ඇමති චන්ද්‍රසේන හා ඔහුගේ පළාත් සභාපති සොහොයුරා මහවිලච්චියෙ අප පැවැත්වූ සයනයකට පැමිණ බොරු කතා කියා ආපසු ගියා පමණයි. බැසිල් කිව්වෙ අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන කියලා! 

දැන් අළුත් තනතුරක් ලබා ඇති බස්නාහිර පළාතෙ ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරිට පුළුවන් ද මේ ගැන සිංහල වෙදමහත්වරුත් එක්ක වැඩ පිළිවෙළක් සකස් කරන්න. සිංහල වෙදකම ආයුර්වේදය බටහිර වෙදකම කියන්නෙ දැනුම් පද්ධති තුනක්. එක දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතිවලින් මනින්න ලැහැස්ති වෙන්න එපා. දෙරණ ඒ වැඩේ කරන්න හැදුවා. අපි ඉඩ දුන්නෙ නැහැ. බටහිර දැනුම් පද්ධතියෙ ආධිපත්‍යයට අප යට විය යුතු නැහැ. මේ දැනුම්  පද්ධති කතාව පඬියන්ට පඬි පෝතකයන්ට පෝතිකාවන්ට පඬි නැට්ටන්ට නැට්ටියන්ට තේරෙන්නෙ නැහැ. 

මුස්ලිම් ඇමතිවරු ආපසු දිවුරුම් දුන්නොත් ප්‍රශ්නය ඉවර ද? පාස්කු ප්‍රහාරයට පෙර හා පසු වෙනසක් නැද්ද? එදත් බද්‍යුද්දීන් ඇමති (මෛත්‍රිපාල ඉඩ දුන්නොත්) අදත් ඇමති. ෂාෆි ඇප පිට ගෙදර. පැලෝපියන් නාලය ගැන මට කිසිම දැනුමක් නැහැ. ඒක තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැහැ. අවශ්‍ය නම් කියවල දැන ගන්න එක මහා වැඩක් නො වෙයි. ඒ දැන ගත්තත් නැතත් ෂාෆි ගැන කෙරෙන ඊනියා පරීක්‍ෂණ පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ. අර ඇමතිවරු දිව්රුම් දුන්න ම ෂාෆිට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. 

මුස්ලිම් ඇමතිවරු දිවුරුම් දෙන්න යන්නෙ දේශපාලනඥයන්ගෙ සියළු ප්‍රශ්න විසඳගෙන. අවශ්‍ය ගණුදෙනු (ඩීල්) කරලා. බේරීම් කමිටුව සියල්ල ඉවර කරාවි. නීතිපති බේරීම් කමිටුවට ඇවිල්ල කිවුවෙ තම සේවාදායකයන් කරන ප්‍රශ්න කිරීමකට එකඟ වෙන්න බැහැ කියලා. රනිල් හරි නිහතමානි මිනිහෙක්. ඔහු තමා පත් කළ කමිටුවට (පාර්ලිමේන්තුව පොහොට්ටුවෙත්  සහාය ඇතිව නාමික ව පත් කළ නමුත්)  සාක්කි දෙන්න එකඟ වෙලා. විදුහලක විදුහල්පතිවරයකු තමා බේරලා වෙනත් අයගෙ වැරදි හොයන්න ගුරුවරු කිහිප දෙනකු කමිටුවකට පත්කරල තමනුත් සාක්‍ෂි දෙනව කියනවා. මෙහෙම නිහතමානි කමක්. අනේ සාදු! කාගෙ කාගෙත් බුල්ලා වූ හිස්බුල්ලා මොකද කියන්නෙ.