Main Logo

Thursday 25 July 2019

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව 

ඊනියා තේරීම් කමිටුව තවදුරටත් රැස්වෙනවා. එයට කොපමණ මුදලක් වැය වී ද යන්න කතානායක හරි වෙනත් නායක කෙනකු හරි ඉදිරියේ දී කියනවා නම් හොඳයි. එයින් වැඩක් වෙනවාට නොවෙයි. ඊනියා උගතුන්ට තවත් දත්තයක් සැපයීම සඳහායි. මේ කමිටුව විශේෂ කාරක සභාවක් බවත් එය ඉංගිරිසියෙන් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100-110 Select Committee යටතේ සඳහන් වන බවත්  තේරීම් කමිටුව යන්න එකී ස්ථාවර නියෝගවල 114න් ඉංගිරිසියෙන් Committee of Selection යටතේ සඳහන් වන බවත් කලින් ලිපිවල කියා ඇති. අද   ඉංගිරිසි Select Committee යන්න ස්ථාවර නියෝග පරිවර්තනයට පටහැණි ව තේරීම් කමිටුව ලෙස පරිවර්තනය වෙනවා.


පට කිසිම දෙයක් පිළිබඳ නිශ්චිත අදහසක් නැති බැවින් යම්තම් හැඟීමක් පමණක් ගෙන දෙන වචන යොදා ගන්නවා. පාසල්වල හා විශ්වවිිද්‍යාලවල ඉගැන්වෙන විට ඊනියා අර්ථදැක්වීම් නිර්වචනවලින් බටහිර ආකාරයට නිශ්චිත අදහස් දීමක් කෙරෙන නමුත් අපේ සංස්කෘතියේ ඇත්තේ ද්විකෝටික න්‍යාය නොවන බැවින් උගන්වන අයත් ඉගෙනගන්නා අයත් එය පංති කාමරයට පමණක් සීමා කරනවා. 

මෙරට පඬි නැට්ටන්ට විකිපීඩියාවට වඩා දෙයක් නැහැ. එහෙත් එහි සඳහන් ඇතැම් තොරතුරු වැරදියි. පඬිනැට්ටන්ට විකිපීඩියාවේ සීගිරියේ ශූන්‍යය (හල් කිරීම) ගැන සඳහන් නොවේ නම් සීගිරි ශූන්‍යය පිළිගන්න බැහැ. ඒ ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ හර්ෂ විජයවර්ධන ලියා ඇති දේ මේ පඬිනැට්ටන් හොයා බලන්නේ නැහැ. කොළඹ විශ්වවිිද්‍යාලයේ හා අවට ඉන්න පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬිනැට්ටන්ට ඔහු හමුවන්නත් පුළුවන්. 

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ තේරීම් කමිටුවක් නොවුණත් පාස්කු ප්‍රහාරය  පිළිබඳ සොයා බැලීමට ඊනියා තේරීම් කමිටුවක් පත් කරලා. මෙය බේරීම් කමිටුවක් ලෙස නම් හඳුන්වන්න පුළුවන්. වැඩිදුරටත් කිව්වොත් එය රනිල් හා ඔහුගේ හිතවතුන් බේරීම් කමිටුවක්. අද රජයේ නිලධාරීන් දේශපාලන වශයෙන් බෙදිලා. ඔවුනුත් දෙපැත්තට බෙදිලා තම තමන්ගේ හිතවතුන් වෙනුවෙන් කතා කරනවා. 

පාස්කු ප්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැහැ කියල පොලීසිය කියනවා. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අයිසිස් නායකයා යැයි කියන්නා කරන ලද ප්‍රකාශයක පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත්තා. එහෙත් ඒ දිනවලත් අපත් පැවසුවේ අදාළ රූහඬපටයේ ඒ නායකයා පාස්කු ප්‍රහාරය ගැන කියද්දී ඔහුගේ රුව දිස් නොවූ බවයි. මේ නායකයා ඉන්නවා ද නැද්ද කියාවත් අප දන්නේ නැහැ. රූහඬපට සකස් කිරීම අද එතරම් ප්‍රශ්නයක් නො වෙයි. 

ඒ කොහොම වෙතත් අද අයිසිස් මෙහෙයවෙන්නෙ බටහිරින්. අයිසිස් නායකයා යැයි කියන්නාගේ රූහඬපටත් නිකුත් කෙරෙන්නෙ බටහිරින්. බටහිරයන් අද අයිසිස් ආසියාවට ව්‍යාප්ත කරනවා. චීන සේද මාර්ගයට විරුද්ධ ව අයිසිස් යොදා ගැනෙනවා. පිලිපීනයේ බෝම්බ පිපිරවීම් ඒ සඳහා උදාහරණයක්. බටහිරට අවශ්‍ය නැහැ ආසියාවේ චීන කප්පන් රාජ්‍ය ඇතිවනු දැකීමට. 

මෙරට පාස්කු ප්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැතැයි කියන්නේ බටහිරයන් එයට සම්බන්ධ නැතැයි කියන්න ද? රනිල් මේ ගැන කියන්නේ කුමක් ද? ඇතැමුන් පාස්කු ප්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැතැයි කී පමණින් නිගමනවලට එළඹෙනවා. පාස්කු ප්‍රහාරය මෙරට සංවිධානයක වැඩක් ද? එහෙත් අවසානයේ දී පාස්කු ප්‍රහාරය අයිසිස් සංවිධානයේවත් දේශීය සංවිධානයකවත් වැඩක් නොවෙන්න පුළුවන් ද? එය හුදකලා ස්වයං බෝම්බකරුවන් අහම්බෙන් එක ම දවසේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ද?

පොලීසිය කියන්නෙ පාස්කු ප්‍රහාරයට අයිසිස් සම්බන්ධ නැති නමුත් අයිසිස් මතවාදය බල පා ඇති බවයි. අයිසිස් මතවාදය කියන්නෙ තවත් වහාබ්වාදයක්. වහාබ්වාදය දහඅටවැනි සියවසේ ඇති වූවක්. වහාබ්තුමා දහසයවැනි සියවසේ මාටින් ලූතර් පියතුමා මෙන් ම මූලධර්මවාදියෙක්. එහෙත් වහාබ්තුමාට නව ආගමක් ගොඩ නගන්න බැරි වුණා. මා හිතන විධියට එයට හේතුව (සාමාන්‍ය අර්ථයෙන්) වහාබ්තුමාට නව චින්තනයක් නොමැති වීමයි. මුස්ලිම් චින්තනය වෙනස් වෙලා නැහැ. එදා මුස්ලිමුන්ට කතෝලිකයන් පරාජය කරන්න පුළුවන් වුණා. මුස්ලිම් අධිරාජ්‍යය ස්පාඤ්ඤය දක්වා පැතිර ගියා. 

එහෙත් අද එහෙම නොවෙයි. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය (මේ ගැන විකිපීඩියාවේ නැහැ. මගේ ලිපිවල නම් ඇති. එහෙත් ඒවාටවත් මුලාශ්‍ර දෙන්න බැහැ) කතෝලික චින්තනය මෙන් ම මුස්ලිම් චින්තනය ද අභිබවා ගිහින්. බටහිරයන්ට අවශ්‍ය පරිදි මුස්ලිම් චින්තනයේ අයිසිස් අල්ක්වයිඩා ආදී ඕනෑම සංවිධානයක් මෙහෙයවන්න පුළුවන්. 

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර මෙන් ම දේශීය සංවිධානවල එකතුවකින් සිදු වූ දෙයක්. එය ඒ දෙකෙන් එකක පමණක් වැඩක් නො වෙයි. පාස්කු ප්‍රහාරයෙන් බටහිරයන් බේරන්න ඇතැමුන්ට අවශ්‍ය බව පේනවා. අපි හිතමු අයිසිස් (බටහිරයන්) මෙයට සම්බන්ධ නැහැ කියලා. පොලීසියට හා වෙනත් ආයතනවලට පුළුවන් ද මෙරට වහාබ්වාදය මත පදනම් වෙලා ක්‍රියා කරන සංවිධාන මොනව ද කියල කියන්න. එවැනි සංවිධාන තියෙනව ද කියලා වගකිවයුත්තන් හොයලා බලනවා ද? ඒ ගැන පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙනව ද? අර ඊනියා තේරීම් කමිටුව හෙවත් බේරීම් කමිටුූව එවැනි ප්‍රශ්න අදාළ නිලධාරීන්ගෙන් ඇහුව ද? සහාරාන් වහාබ්වාදයෙන් පෝෂණය වුණු ස්වයං බෝම්බ කරුවෙක් පමණ ද? 

අපට ජාත්‍යන්තර වහාබ්වාදය නැති කරන්න බැහැ. එහෙත් ජාත්‍යන්තරයේ සහාය ඇතිව හරි නැතිව හරි මෙරට ක්‍රියත්මක වන වහාබ්වාදී සංවිධාන නැති කරන්න ඕන. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි රටේ ස්වෛරීභාවය වෙනුවෙන්. ඒ අතර මෙරට ඇති මාටින් ලූතර් සංවිධාන හා ආයතන ද පරාජය කරන්න ඕන.