Main Logo

Tuesday 2 July 2019

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිතලා හා පාස්කු ප්‍රහාරය

පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ෂණයක් කරන ලෙස නීතිපති කියා තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. ඔවුන් දෙදෙනා තම වගකීම් පැහැර හැර ඇති බවක් කියැවෙනවා. අපට අහන්න වෙන්නෙ අර අඹගස් ප්‍රශ්නය. මේ නිලධාරීන් හැරෙන්න තම වගකීම් පැහැර හැරි තවත් අය ඉන්නවා ද? මේ නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවක් මා කියන්නේ නැහැ. මගේ ප්‍රශ්නය නීතිපති  කර ඇති ඉල්ලීම මත පදනම් වෙනවා.


පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්‍ෂණ සිදු වන්නේ නැති බව නම් පැහැදිලියි. වගකීම් පැහැර ඇත්තේ කවුද යන ප්‍රශ්නය පමණක් වැදගත් වන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය කෙළේ කවුද? ඔවුන් වහාබ්වාදීන් බව නම් පැහැදිලියි. ඒත් වහාබ්වාදය කියන්නෙ කුමක් ද? මූලධර්මවාදයක් කියන්නේ කුමක් ද? වහාබ්වාදය කෙසේ ඇති වුණත් අද වන විට  බටහිර රටවලින් මෙහෙයවන බවට  සාක්‍ෂි තියෙනවා. අයිසිස් කියන්නෙත් වහාබ්වාදය මත පදනම් වුණු සංවිධානයක්. අල් ක්වයිඩාත් එහෙමයි. අයිසිස්ට ඉස්ලාම් රාජ්‍ය පිහිටුවීමේ අවශ්‍යතාව තියෙනවා. 

අරාබි හා මුස්ලිම් රටවල ඉස්ලාම් රාජ්‍ය පිහිටුවීම අපේ ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් වෙනත් රටවල ඉස්ලාම් රාජ්‍ය පිහිටුවීම කියන්නෙ මොන විධියකට බැලුවත් මුස්ලිම් ආක්‍රමණයක්. අප රටේත් අයිසිස් ක්‍රියාත්මක වන්නෙ මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවන්න. එය කාත්තන්කුඩියට පමණක් සීමා වන්නෙ නැහැ. කාත්තන්කුඩයෙ වුණත් මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවන්න බැහැ. එහෙම පිහිටුවනවා කියන්නෙ රට බෙදීමක්. 

අප හොයන්න ඕන මෙරට ඉන්න අයිසිස් ඇතුළු වහාබ්වාදී සංවිධාන මොනව ද කියන එක. ඒවායෙ නායකයන් සාමාජිකයන් කවුද කියල හොයන එක. ඒ සංවිධාන තහනම් කරන එක පමණක් ප්‍රමාණවත් නැහැ. තවමත් ඒ සංවිධාන තහනම් කර නැති බවත් කියන්න ඕන. අප එවැනි සංවිධාන  නැවත ඇති නොවීමට කටයුතු කරන්න ඕන. මුස්ලිමුන්ට ඉස්ලාම් රාජ්‍ය ඇති කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නෙ මොකද කියන එක අපි දැනගන්න ඕන. 

ඉස්ලාම් රාජ්‍ය ඇති කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නෙ මූලික වශයෙන් මුළු ලෝකයෙ ම පාහෙ ක්‍රිස්තියානි (කතෝලික නොවන) රාජ්‍ය ඇති කරල තියන නිසා. අද ලෝකයෙ සිද්ධ වෙන්නෙ මේ ක්‍රිස්තියානි රාජ්‍ය හා ඉස්ලාම් රාජ්‍ය අතර ගැටුම. ඊයේ දෙරණ 360 දි කියැවිලා තියෙනවා ඇමරිකාවට විරුද්ධව අවශ්‍ය නම් මුස්ලිමුන් ලක්‍ෂයක් වුණත් පාරට බස්සන්න පුළුවන් කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් අයිසිස් සංවිධානය ලංකාවෙදි කියාත්මක වෙන්නෙ බටහිරට විරුද්ධ ව නොව මෙරට රාජ්‍යයට විරුද්ධවයි. ඒ මෙරට ඇත්තේත් ක්‍රිස්තියානි රාජ්‍යයක් කියන පදනමේ ඉඳගෙන නම් නො වෙයි.

අද බටහිර සමග සෞදි අරාබිය වැනි රටවල් එකට ඉන්නවා. බටහිර ආසියාවෙ සිදුවන්නේ ඇතැම් මුස්ලිම් රටවලට විරුද්ධව වෙනත් මුස්ලිම් රටවල් බටහිරයන් විසින් යොදා ගනු ලැබීම. සමහර විට එක් රටක ඉන්න මුස්ලිම් ජනතාවගෙන් කොටසක් වුණත් ඒ රටේ රාජ්‍යයට විරුද්ධ ව යොදා ගන්න බටහිර රටවලට පුළුවන්. ලෝකයේ පවතින ඉස්ලාම් ක්‍රිස්තියානි ගැටුම පිටුපස බටහිරයන් ඉන්නෙ. 

ලංකාවෙ මුස්ලිමුන් ලක්‍ෂයක් ඇමරිකාවට විරුද්ධ ව පාරට බස්සන එකටත් එක්සත් රාජ්‍ය ම ආධාර  කරන්නත් පුළුවන්. අර කතාවක් තියෙනවා දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල. මේ අයිසිස් වැඩේ එයටත් වඩා බරපතලයි. නොදැන පාරට බැස්සොත් අප සියල්ලන් ම මරුකතරක නවතීවි. ලෝකයේ වහාබ්වාදය පරාජය කරන්න අපට බැහැ. එහෙත් ලංකාවෙ වහාබ්වදය පරාජය කරන්න අපට පුළුවන්.

දෙමළ ජාතිවාදයත් බටහිරයන්ගෙ වැඩක්. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ කියල රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් කිව්වෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවට. ඒත් ඔහු අද මහින්ද රාජපක්‍ෂ මධ්‍යස්ථානයටත් ගෞරවණීය කැඳවීම් ලබනවා. බටහිර උපදෙස් පැත්තකට දැම්ම නිසයි අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණෙ. අපට මෙරට වහාබ්වාදය පරාජය කරන්න පුළුවන් බටහිර ඊනියා යුද විශේෂඥයන් ඔත්තු සේවාවන් ආදිය පැත්තකට දැමීමෙන්.

අද මෙරට වහාබ්වාදීන්  රාශියක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහට නම් මෙරට ඉන්නෙ වහාබ්වාදීන් දුසිමක් පමණ පිරිසක්, දැන් ඒ අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන. ඔක්තෝම්බර් විසිහය රනිල් ඉවත් කරපු එක රැක ගත්තෙ නැති එකේ විපාකය අද මුළු රට ම විඳිනවා. මුස්ලිම් දේශපාලනඥයන් පමණක් නොවෙයි රනිල් රැක ගත්තෙ. පොහොට්ටුවෙ ඇතැමුන් ද ඔහු රැක ගත්ත. රනිල් ඉවත් කිරීම වහාබ්වාදයත් පැරදවීමේ අනිවාර්ය අවශ්‍යතාවක්. එහෙත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. 

වහාබ්වාදයට විරුද්ධ වීමෙන් පමණක් එය පරාජය කරන්න බැහැ. අප මෙරට වහාබ්වාදීන් බටහිරයන්ගෙන් ගලවා ගන්න ඕන. මෙරට වහාබ්වාදීන් ආරක්‍ෂා කරන මුස්ලිම් දේශපාලනඥයන් ඉන්නවා. එහෙත් ඔවුන් එසේ කරන්නේ මං සලකුණු තියලා නො වෙයි. මගේ ම නොවන මගේ ගෙවල් මගේ ම නොවන මගේ බැංකු ගිණුම් තියෙන රටක මගේ ම නොවන මගේ ත්‍රස්තවාදීන් ඉන්නවා. සමහර මුස්ලිම් දේශපාලනඥයන් තම ඡන්ද පදනම රැක ගන්න වහාබ්වාදීන් ආරක්‍ෂා කරනවා. මේ සියල්ල එක් අතකට පක්‍ෂ දේශපාලනයේ ප්‍රතිඵල. පූජිතලා හෙමසිරිලත් පක්‍ෂ දේශපානයේ ඉත්තන් පමණයි. ඉත්තන් කැපීමෙන් පමණක් ප්‍රශ්නය විසඳන්න බැහැ.