Main Logo

Thursday 18 July 2019

මෙහෙමත් වැඩ්ඩෙක්

මෙහෙමත් වැඩ්ඩෙක් 


රනිල් කියන විධියට මුස්ලිම් අන්තවාදය සම්පූර්ණයෙන් ම පරාජය කරලා ඉවරයි. පොලිසිය කියන විධියට බද්‍යුද්දීන් කිසිම චෝදනාවකට වැරදිකරුවකු නොවෙයි. අර ජාතික තව්ෆීඩ් ලොක්කටත් ඇප දීලා. ඇප දෙනව ද නැද්ද යන්න තීරණය කරන්නෙ අධිකරණය වුණාට එතැනට ඇප ඉල්ලුම් කරන්න හරි නොකරන්න හරි අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නෙ පොලීසියයි. පොලීසියට ඕන නම් ඇප දෙන විධියට ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට ඇප ලැබෙනවා. ඇප දෙන්න එපා කියන විධියට ලේඛන ඉදිරිපත් කළහොත් තමයි අධිකරණයට තීන්දුවක් ගන්න වෙන්නෙ.

රනිල්ට හරි පොලීසියෙ උසස් නිලධාරියකුට හරි රුවන් විජේවර්ධනට හරි කියන්න පුළුවන් ද පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කවුද කියල. ඒ ඔක්කොම අහම්බයකින් එක ම දවසෙ එක ම වෙලාවට වගේ ක්‍රියාත්මක වුණු ස්වයං බෝමබ කරුවන් ද? එහෙමත් නැත්නම් අහිංසක සහරාන් මිය ගියෙ වෙනත් කාගෙ හරි බෝම්බ ප්‍රහාරයකට අහුවෙලා ද? රොහාන් ගුණරත්න මේ ගැන කියන්නෙ මොකක් ද? රනිල්ගෙ ප්‍රකාශ අනුව නම් එක වැරදි කාරයකුවත් නැහැ. තවදුරටත් අල්ල ගන්න සැක කරුවනුත් නැහැ. 

මගේ ම නොවන මගේ ගෙවල් මගේ ම නොවන මගේ බැංකු ගිණුම් තියෙන රටක මගේ ම නොවන මගේ බෝම්බ තියෙන්න බැරි ද? අනුන්ගෙ ගෙවල්වලට ගෙවදින වෙලාවට ඒ අයිතිකරුවන් නැතිව ම ගොස් කිරි උතුරවන රටක් වෙන කොහෙ තියෙනවා ද? ටාජ් සමුද්‍රා හෝටලයෙහි බෝම්බකරු දෙහිවල බෝම්බය පුපුරුවා හැරියෙ වැරදිලා ද? 

අර පල්ලිවල කඩු අහුවෙන කාලෙ ඒ කඩු තණකොළ කපන්න යැයි කී අය පාස්කු ප්‍රහාරයට වග කිව යුතු යැයි  අප කියන්නෙ නැහැ. එහෙත් ඔවුන් එසේ කිව්වේ යම් කිසිවකු ආරක්‍ෂා කර ගැනීමට වෙන්න පුළුවන්. ඒ කාලෙ විවිධ අය විවිධ කතා කිව්වා. ඒ සියල්ල හුදෙක් ඡන්ද ලබා ගැනීමට කරන ලද ප්‍රකාශ බවට කියා ප්‍රශ්නය මග හරින්න පුළුවන් ද? 

ඡන්ද ලබා ගන්න ඒ ප්‍රකාශ කළේ නම් ඒ කාගේ ඡන්ද ද? ඒ ඡන්ද හිමි අයට අවශ්‍ය වූයේ කුමක් ද? කඩු ආරක්‍ෂා කිරීමට ද? කඩු හිමියන් ආරක්‍ෂා කිරීමට ද? පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් ත්‍රස්තවාදීන් අන්තවාදීන් නැතැයි කී දේශපාලනඥයන් කවු ද? සහරාන්ලා ත්‍රස්තවාදීන් අන්තවාදීන් බව ඔවුන් නොදැන සිටියේ ද? සහරාන්ලා කාත්තන්කුඩියේ කළා යැයි කියන ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවකු නොදැන සිටියේ ද? 

සහරාන්ලා මරණිය දණ්ඩන දී ඇති බවට දැන් කෙරෙන චෝදනාවලත් සත්‍යතාවක් නැද්ද?  මා දොස්තර සාෆි ගැනවත් ක්වාසි උසාවි ගැනවත් කතා කරන්නේ නැහැ. ඒවා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ නැහැ. ඒත් ඒ ගැනත් ආණ්ඩුව හොයල බලන්න ඕන. මෙහි දී ආණ්ඩුව කියන්නෙ රනිල්ගෙ ආණ්ඩුවට. අද මෛත්‍රිපාලගෙ ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒත් රනිල්ගෙ ආණ්ඩුව අද සම්පූර්ණයෙන් ම මුස්ලිම් හා දෙමළ කතාකරන දේශපාලනඥයන්ගෙන් මෙහෙයවෙන ආණ්ඩුවක් බවට පත්වෙලා. කල්මුණේ ප්‍රාදේශීය සභාව ගැන තීරණයක් ගන්න බැහැ. ඒත් අනෙක් කරුණු පිළිබඳ ආණ්ඩුව තීන්දු ගන්නවා. ඒ හැම එකක් ම සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී තීන්දු.

රනිල් මුස්ලිම් ත්‍රස්තවාදය හා අන්තවාදය ඉවර කළා කියල සිංහලයන් රවටන්න හදනවා. ඔහුට මාසයකින් ඒ අවසන් කරන්න පුළුවන් නම් දෙමළ කොටි ත්‍රස්තවාදය අවසන් නොකෙළේ ඇයි? ඔහු ඔය කියන තරම් කෙරුමකු නම් දෙමළ කොටි ත්‍රස්තවාදයත් අවසන් කරන්න තිබුණා. මාසෙකින් බැරි නම් අවුරුද්දකින්. ජේ ආර් මාමා රනිල් කී දෙයක් කෙළේ නැද්ද? සජිත්ගෙ තාත්තා රනිල්ගෙ උපදෙස් මායිම් කෙළේ නැද්ද? ඒ පැත්තකින් තියන්න. ඔහු 2002දි චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ අගමැති හැටියට දෙමළ ත්‍රස්තවාදය අවසන් කරන්න ක්‍රියා කෙළෙ නැත්තෙ ඇයි?

ඔහු ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කිරීම හැර වෙන දෙයක් කළා ද? ඒ දවස්වල රොහාන් ගුණරත්න කිව්වෙ මොකක් ද? රනිල් රොහාන් කිව්ව විධියට වැඩ කළා ද? අප දන්න කරුණක් තමයි රනිල් චන්ද්‍රිකාටවත් පාර්ලිමේන්තුවටවත් කියන්නෙ නැතුව ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් අත්සන් කළ බව. එදත් රනිල් ජනාධිපතිවත් පාර්ලිමේන්තුවවත් සතපහකට ගණන් ගත්තෙ නැහැ. ඔහු එදත් අදත් වැඩ කරන්නෙ බටහිරයන්ට, සුද්දාවාසවලට අවශ්‍ය ආකාරයට. ඒ තමයි රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය. 

කොහොමටත් සුමන්තිරන්ලා හකීම්ලා බද්‍යුද්දීන්ලා හැරුණු විට ඔහුට අනුර රනිල්දාසත් ඉන්නවා. මේ වලංගුබවක් නැති මාක්ස්වාදීන් එක්කෝ රනිල්ට. නැත්නම් මෛත්‍රිපාලට. ඊනියා පෙරටුගාමීන්ගෙ ලොක්කෙක් චතුරිකා ළඟ වැඩ. රනිල්දාස දන්නවා තමන් ම ගේන විශ්වාසභංග යෝජනා අවශ්‍ය විධියට දිනවන්නත් පරාද කරන්නත්. අපරාදෙ කියන්න බැහැ මහොපාසක කරුණාරත්න ජයසූරිය රනිල්දාසට මනා සහායක් දෙනවා.

අද තියෙන්නෙ සිංහල විරෝධී ආණ්ඩුවක්. ඊනියා ජාත්‍යන්තරය දිනා ගත්ත කිව්වට රනිල්ට ආධාර කරන්න කවුරුන්වත් නැහැ. විවිධ සඟරා නම් රනිල්ට සහාය දෙනවා. ලංකාව සංචාරය සඳහා අංක එක බවට පත් කරලා. ඒත් විදේශීය සංචාරකයන් සඟරා බලන්නෙ නැතිව ඇති. නැතිව ඇති කියන්නෙ චතුස්කෝටිකය අනුව. ඒක පුළුවන් නම් ඉංගිරිසියෙන් කියන්න. යන එන ගමන් කියල ඉංගිරිසියෙන් කියන්න. නැතිව ඇති තමයි ශූන්‍යයට සංකේතයක් නිර්මාණය කර ගන්න මුල් වුණෙ. 

රනිල්ට චතුස්කෝටිකය වැඩක් නැහැ. ඔහුට වැඩක් තියෙන්නෙ දසදහස්කෝටි. මොනවයින් ද කියල අහන්න එපා. රනිල් වැඩ කාරයා. ඔහු මුස්ලිම් ත්‍රස්තවාදයත් නැති කරලා.