Main Logo

Thursday 10 December 2020

ජාත්‍යන්තරයෙන් නසසප නෙරපීම

 ජාත්‍යන්තරයෙන් නසසප නෙරපීම 


අද ලිපිය එලොවටත් මෙලොවටත් වැඩක් නැති ලිපියක්. මේ ලිපි කියවන්නන් අතර එලොවටත් මෙලොවටත් වැඩක් නැති අය ඉන්නවා. ඔවුන් තම තමන්ගේ ලෝකවල ලිපි කියවන්නේ. සතපහකට වැඩක් නැති මාක්ස්වාදීන්ට තමන් අනාථ වී සිටින විට එලොව ගොස් සිටින මාක්ස්වාදීන්ගෙන්වත් කිසිම පිහිටක් නැහැ. විශේෂයෙන් ම ට්‍රොට්ස්කිවාදීන්ට හරි ට්‍රොට්ස්කිවාදී අච්චුවේ සිටින්නන්ට හරි අද කිසිම හව්හරණක් නැහැ. සකර්බර්ග් නොහිටින්න ඔවුන් උන්නා ද මළා ද කියාවත් දැන ගන්නට නැහැ. 


ඔය කිසිම මාක්ස්වාදියකු මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය යන පොත් පිංච දෙකට පිළිතුරක් දී නැහැ. එලොව ගොස් සිටින සුචරිත ගම්ලත් නම් ට්‍රොට්ස්කිවාදියා මෙලොව ඉන්නා සමයෙහි ඔහුට ඒ පොත් පිිංච දෙක දී පිළිතුරු ලියන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එය කළේ නැහැ. සුචරිත එලොව ගියාට ඒ පොත් පිංච ඔහු මෙලොව ඉන්න කල භාරදුන් අය තවමත් මෙලොව ඉන්නවා. සුචරිතවාදියකුට අවශ්‍ය නම් ඔවුන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒත් එක කොන්දේසියක් යටතේ. ඒ පොත් පිංචවලට පිළිතුරු දීමට යම් ඇපයක් යටතේ භාර ගන්නේ නම් පමණක්. 


සුචරිත ද කලක් සාමාජිකයකු ව සිටි පක්‍ෂයක් අද ඊනියා හතරවැනි ජාත්‍යන්තරෙයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයෙක්. විවිධ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ විවිධ හතරවැනි ජාත්‍යන්තරවල සාමාජිකයන්. එක් අතකට මේ ජාත්‍යන්තරවාදීන් සතපහකට වැඩක් නැති වුණත් යම් කටයුත්තක යෙදී ඉන්නවා. ඔවුන් තමන් විශ්වාස කරන ජාත්‍යන්තරවාදය වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධානවල ඉන්නවා. ඒත් අර චරීත කාරියවසම් සඳහන් කරන තුම්මුල්ලේ ජාත්‍යන්තරවාදීන් ජාත්‍යන්තරයක් ගැන තඹ සතේක වැඩක් කරන්නේ නැහැ. 


ස්ටැලින්වාදීන්ට මාඕවාදීන්ට ඊනියා ජාත්‍යන්තර අවශ්‍ය වුණේ නැහැ. ස්ටැලින්ට තුන්වැනි ජාත්‍යන්තරය වුණෙ ස්ටැලින්මයි. මාඕටත් එහෙමයි. මට මුළු ලොව ම මමයි. අද රුසියාවෙ හරි චීනයෙ හරි ජාත්‍යන්තරවාදීන් ඉන්නවා කියල හිතන්න බැහැ. ඔවුන්ගෙ තානාපති කාර්යාල තමයි ජාත්‍යන්තර සංවිධානය. ට්‍රොට්ස්කිට හතරවැනි ජාත්‍යන්තරයක් අවශ්‍ය වුණෙ තුන්වැනි ජාත්‍යන්තරය ජාත්‍යන්තර විප්ලවය පාවා දුන්න නිසා බවයි කියන්නෙ. තුම්මුල්ලේ ජාත්‍යන්තරවාදීන්ට නරක ද පස්වැනි ජාත්‍යන්තරයක් පිහිටුවා ගත්තොත්. ඔය පිටරටවල ඉන්න සිංහල ඊනියා ජාත්‍යන්තරවාදීන් ටික දෙනා එකතු කර ගන්න බැරි වෙන එකක් නැහැ. 


අප දැනුම සංස්කරණය කරනවා. ඒ දවස්වල අප කිවුවෙ නිර්මාණය කරනවා කියා. ඒ කියන්නෙ හොයා ගන්න කිසිම ආකාරයක වාස්තවික දැනුමක් නැහැ කියන එක. සියළු දැනුම් අපේ විශ්වාස මත අප හදාගන්න දේ. ඒකට නිර්මාණය කියන වචනය යොදා ගත්ත ම දෙවියන් වහන්සේගෙ නිර්මාණය වගේ අදහසක් එනවා. ඒකෙ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්‍ෂණ තියෙනවා. සංස්කරණය එහෙමත් නැත්නම් සකස් කිරීම කියන වචනය අප ගත්තෙ අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙන්. අද සිංහල භාෂාවෙ වචනවල පාලි සංස්කෘත වචන අවශෝෂණය කෙරී තියෙනවා. සංස්කරණය සිංහල බෞද්ධ සංස්කෘතියෙ. 


ජාත්‍යන්තරවාදීන්ට එහෙම නොවෙයි. වාස්තවික යථාර්ථයක් තියෙනවා. ඔය ඊනියා වාස්තවික යථාර්ථය හොයා ගන්න එක තමයි ප්‍රශ්නය. ඒක තමයි ඔවුන්ගෙ රාජකාරිය.  වාස්තවික යථාර්ථය ද්‍රව්‍යවාදී යථාර්ථයක් වුණෙ මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි වැන්නන්ට. ඒ යථාර්ථය කඩා වැටිල දැන් ටිකක් කල්. ඒක කඩන් වැටුණෙ බර්ලින් තාප්පය කඩා වැටෙන්නත් ඉස්සර. බටහිර භෞතික විද්‍යාව තමයි කඩා වැටීමට මුල් වුණෙ.   


වාස්තවික ද්‍රව්‍යවාදී යථාර්ථය හරියන්නෙ නැති බව දැනගත් ඇතැමුන් මනෝ විශ්ලේෂණයෙ පිහිට පැතුව. යථාව කියල සංකල්පයකුත් ආවා. දැන් යථාර්ථය වාස්තවික විඥානවාදී යථාර්ථයක් වෙලා. අයියෝ මාක්ස්. මේ වැඩේ මාක්ස්ට මාස්ක් එකක් දැම්මට හපන්. තුම්මුල්ලෙ ජාත්‍යන්තරවාදීන් මොනව කළත් ඔවුන්ට යම් ආකාරයක ට්‍රොට්ස්කිවාදී සම්භවයක් තිබුණත් ජාත්‍යන්තර සංවිධානයක් හදන්නෙ නැහැ. 


අද ලිබරල් ජාත්‍යන්තරයක් ටේ‍රට්ස්කිවාදී ජාත්‍යන්තරත් කඩන් වැටිල. ඒත් හතරවැනි ජාත්‍යන්තරය වැඩේ අත්හරින්නෙ නැහැ. හතරවැනි ජාත්‍යන්තරයෙ ජාත්‍යන්තර කමිටුවට අමතර ව පැබ්ලෝවාදී හතරවැනි ජාත්‍යන්තර කාර්යාංශය (බියුරෝව) ( FIB), සහ තවත් හතරවැනි ජාත්‍යන්තර දුසිම් දෙකක් විතර තියෙනවා. න ස ස ප කලක් ටෙඩ් ග්‍රාන්ට්ගේ කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වූ කමිටුවට සම්බන්ධ ව හිටියා. මාත් ඒ ජාත්‍යන්තරයේ සසෙක්ස් කණ්ඩායමත් සමග වැඩ කර තියෙනවා. 


1987 ඉන්දු ලංකා ගිවිසුමට පක්‍ෂපාත වී එ ජා පක්‍ෂ මර්දනයට සහාය දීම නිසා 1989 දී න ස ස ප ග්‍රාන්ට්වාදී ජාත්‍යන්තරයෙන් නෙරපනු ලැබුවා. සිරිතුංග ජයසූරිය තවමත් ඒ ජාත්‍යන්තරයෙ ද කියන එක මා දන්නෙ නැහැ. කොහොමටත් න ස ස ප 1991 දී ඔය පැබ්ලොවාදී ජාත්‍යන්තරයට බැඳුණා. අද පැබ්ලෝවාදී ජාත්‍යන්තරයෙන් න ස ස ප නෙරපා දාලා. ඒ වික්‍රමබාහු එ ජා පක්‍ෂයෙන් තරග කිරීමෙන් පසු. මේ නෙරපීම් එකතුවීම් මෙරට දේශපාලනයට සතපහක වැඩක් නැහැ. දැනෙන්නෙවත් නැහැ. තුම්මුල්ලේ ජාත්‍යන්තරයේ ඊනියා දේශපාලනය තඹ සතේක වැඩක් නැහැ. ඔවුන් කිසිම දේශපාලනයක් කරන්නෙ නැහැ. අර ප්‍රතිශතය තවම තුන ද? හරිනිට ඔය පක්‍ෂයේ පාර්ලිමේන්තු වෙලාවෙන් සියයට තුනක්වත් නොදෙන එක කිසිම ජාත්‍යන්තර දේශපාලනයකට දැනෙන්නෙ නැති පාටයි.  


සකර්බර්ග් ජාත්‍යන්තරයක් තියෙනවා ද? ඒක ධනවාදී ද, සමාජවාදී ද, ද්‍රව්‍යවාදී ද, විඥානවාදී ද, ඉටිගෙඩිවාදී ද මොකක් ද?  ජාත්‍යන්තරය විතරක් නොවෙයි අද නගර ද කඩා වැටිලා. කොවිඩ් 19 අපට කියන්නේ එයයි. මහල් නිවාස ප්‍රශ්න නාගරික වතු ප්‍රශ්න, පාසල් ප්‍රශ්න මේ සියල්ල නගර ආශ්‍රිතයි. නාගරික සංවර්ධනය මිනිස් සංවර්ධනයක් නො වෙයි. අඩු තරමෙන් දැන්වත් මිනිස් සංවර්ධනයක් ගැන හිතමු.