Main Logo

Wednesday 2 December 2020

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

 

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

මා චතුර අල්විස් ධම්මික බණ්ඩාර වෙදමහතා හා සිසිර ජයකොඩි ඇමති සමග සාකච්චා කරනු අසා සිටියා. චතුර මාර දූතයකු මෙන් ප්‍රශ්න ඇසුවා. මාර දූතයා කියන්නෙ Devil's advocate යන ඉංගිරිසි සංකල්පයට යොදන්න අපේ සංස්කෘතියෙ හදා ගත්ත යෙදුමක්. තමන් එකඟ නූණත් අනෙක් පැත්ත වෙනුවෙන් පෙනී සිටීම තර්ක කිරීම ප්‍රශ්න ඇසීම තමයි එයින් අදහස් වෙන්නෙ. චතුර ඒ කාර්යය ඉතා හොඳින් කළා. වෙදමහතාත් තමාට හැකි ආකාරයෙන් පිළිතුරු දුන්නා.

මා වෙදමහතා ගැන දන්නේ නැහැ. දවස් තුනකට කලින් අහල තිබුණෙවත් නැහැ. මා හිතන්නේ නැහැ වෙදමහතා මා ගැන දන්නවා කියා. හෙළ වෙදකම වෙනුවෙන් බැනුම් අහන එක මගේ ජීවිතයේ එක් වැදගත් අංගයක් බව වෙදමහතා දන්නේ නැතිව ඇති. කෙසේ වෙතත් සාකච්ඡාවේ දී පැන නැගිච්ච ප්‍රධාන ම මාර දූත ප්‍රශ්නය වුණෙ මේ ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය අනුගමනය කළා ද යන්න.

වතුපිටිවල රෝහලේ පරීක්‍ෂණය කරල තියෙන අවසරයක් ගන්නෙ නැතිව කියන එකයි මගේ හැඟීම. පරීක්‍ෂණ ගැන මා එකඟ නූණත් අවසරයක් නොගෙන පරීක්‍ෂණ කළ අදාළ වෙදමහතුන්ට උසස් වීමක් ලබා දෙන්න ඕන. මෙවැනි අවස්ථාවල එවැනි ක්‍රියා අවශ්‍ය වෙනවා. ඒ ක්‍රියාව කළා නම් එසේ කර ඇත්තේ පෞද්ගලික ලාභයක් අපේක්‍ෂා කරමින් වෙන්න බැහැ. එයින් පෞද්ගලික ව වෙන්න පුළුවන් අලාභයක් පමණක් බව අදාළ වෙදමහතුන් දැන ඉන්න ඇති. එහෙත් තමන් හිතන ආකාරයට රට වෙනුවෙන් දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් එතුමන්ලා ක්‍රියා කර ඇති බව පේනවා. එපමණක් නොව එතුමන්ලාගෙන් ඊනියා වරදකට නිදහසට කරුණු ඇසීමට තරම් බලධාරීන් ක්‍ෂණික ව ක්‍රියා කර තියෙනවා.

එහෙත් ජනාධිපතිතුමා එවැනි පරීක්‍ෂණ කිරීමේ බලය රාජ්‍ය ඇමති චන්න ජයසුමනට පවරල තියෙනවා. අවසර ප්‍රශ්නය එතැනින් ඉවරයි. දැන් පඬිනැට්ටන් මෙරට බටහිර වෛද්‍ය සභාවේ හා අදාළ බලධාරීන්ගේ ස්වාධීනත්වය ආදිය ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අද තිබෙන තත්වය අනුව මා හිතන්නෙ නැහැ පාර්ලිමේන්තු විපක්‍ෂයවත් ඒ බලය පැවරීමට විරුද්ධ වේය කියා. කාවින්ද ජයවර්ධන විපක්‍ෂ මන්ත්‍රීවරයකු මෙන් ම බටහිර වෙදමහතෙක්. ඔහු පහුගිය දා පාර්ලිමේන්තුවේ දී වතුපිටිවල වෙදමහතුන් වෙනුවෙන් පෙනී සිටියා.
වතුපිටිවල වෙදමහතුන්ට ඔය බටහිර ක්‍රමයට පරීක්‍ෂණ පවත්වන්න වෙලා තියෙන්නෙ දැනුම් යටත්විජිතවාදය නිසා. ඔවුන් හිතන පරිදි රටට සේවයක් කරන්න. කවුරුන්වත් කියනවද බටහිර ප්‍රතිකාරයක් ගැන වෙනත් වෛද්‍ය ක්‍රමයක් අනුව පරීක්‍ෂා කරන්න කියා. බටහිර විද්‍යාව ලොකු මුසාවක් ගොතල තියෙනව එහි ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් තියෙනව කියල. චතුරත් නිතර ම අර පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන සූත්‍රය කියනවා. ඒ ගැලීලියොලාගෙ කාලෙ තිබුණ ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය. ගැලීලියෝ කරල තියෙන බොරු ගැන බටහිර ම ෆෙයරාබන්ඩ් හා තවත් අය විස්තර කරල තියෙනවා. මේවා ගැන අප කතා කරල අවුරුදු තිහක් පමණ වෙනවා.

බටහිර විද්‍යාවෙ ඊනියා විධික්‍රමයක් තියෙනව කියල පෙන්නන්න අදත් ඇතැම් පිරිස් උත්සාහ ගන්නවා. විද්‍යාවේ දර්ශනය කියන ක්‍ෂෙත්‍රයෙහි මුලික ම අංගයක් වන්නේ ඔය ඊනියා විධික්‍රමයක් තියෙනව කියල පෙන්නීම. එහෙත් බටහිර විද්‍යාවෙත් අනෙක් හැම තැනකමත් කෙරෙන්නෙ එක ම දේ. ප්‍රශ්නයකට උත්තරයක් හොයන එක. ගැටළුවක් තියෙනව. උත්තරයක් ඕන. උත්තරේ හිතළුවක්. උත්තරයක් හිතෙන් හිතන්නෙ නැතුව එහෙමත් නැත්නම් හිතට එන්නෙ නැතිව වෙන මොහොකට එන්න ද? ඊට පස්සෙ කරන්නෙ ඒ හිතළුව යම් ප්‍රමාණයකට හරි යනව ද කියල බලන එක. ඒක යම් ප්‍රමාණයකට හරි යනව නම් වැඩ කරනව නම් ඒ හිතළුව යොදා ගන්නව. නැත්තන් අයින් කරනව ද? නැහැ සමහර විට ඒකත් යොදා ගන්නවා. නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණය තමයි හොඳ ම උදාහරණය. ඇපල් වැටෙන කොට හරි ගියාට ග්‍රහවස්තු සූර්යයා වටේ යන එකට ගුරුත්වාකර්ෂණය හරියන්නෙ නැහැ. ඒක නිවුටන්ගෙ හිතළුවෙ ම කතන්දරේ (ප්‍රවාදයේ) ම වරදක්. සහායක, ආරම්භක අවශ්‍යතා ආදියෙහි ප්‍රශ්නයක් නො වෙයි. නිවුටන්ගෙ කතන්දරේට අනුව අවකල සමීකරණ ලිවුව ම එහි විසඳූම හැටියට ලැබෙන්නෙ අචල ඉලිප්ස. එහෙත් එක ග්‍රහවස්තුවක්වත් නිකමටවත් අචල ඉලිප්සයක යන්නෙ නැහැ. ඉලිප්සයත් කැරකෙනවා.

අපේ වෙදමහත්තයා කොවිඩ් 19ට ප්‍රතිකාරයක් හිතල තියෙනවා. වෙද මහත්තයාට ඒක අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ ඉඳල ම ඒ ප්‍රතිකාරය කරල තියෙනවා. ඒක වැඩ කරනවා. එච්චරයි. දැන් ඒකට බලපත්‍රයක් එකතු කරන්න වතුපිටිවල වෙදමහත්තුරුන්ට අවශ්‍ය වෙලා. දැනුම් යටත්විජිතවාදය නිසා බලපත්‍රය නැතිව සමහරු පිළිගන්නෙ නැහැ. ඒ අය වෙනුවෙන තමයි වතුපිටවල ඔය පරීක්‍ෂණය කරල තියෙනවා. ඒක හරි ගිහිල්ල. එච්චරයි.

ඒත් ඇතැමුනට එයත් මදි. පරීක්‍ෂණ කෙස් ගහට කෙරුණ ද කියල බලන්න ඕන. ඕක කෙස් ගහට බලන්න බැහැ. මොකෝ බටහිර විද්‍යාවෙ පරීක්‍ෂණ කෙස් ගහට කෙරෙනවයි. සමහර ඒවා කොස් ගහටවත් කෙරෙන්නෙ නැහැ. අර සම්භාවිතාව මේ සම්භාවිතාව ගැන කියවනවා. සම්භාවිතාව අනුව තමයි කෙස් ගහට ද කොස් ගහට ද කියල බලන්නෙ. කමක් නැහැ පුළුවන් ගහකට වෙදමහත්තයා ව පරීක්‍ෂා කරන්න. එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය බටහිර වෙදමහත්තුරූ පහුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක (කොළඹ වෛද්‍ය විද්‍යාලයට අවුරුදු එකසිය පනහයි) ප්‍රතිකාර කීයක් ඉදිරිපත් කරල තියෙනවා ද? දන්නැති හින්දයි අහන්නෙ. වෙදමහත්තුරු ප්‍රතිකාර ඉදිරිපත් කරන්නෙ නැහැ ඒවට වෙන ම අය ඉන්නව කියල පඬි නැටි

කතා කියන්න එපා.

බටහිර විද්‍යාවෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. ඒ ගැන කාලයෙ ලිපි රාශියක් පළවෙල තියෙනවා. අර ෆෙයරාබන්ඩ් පොතක් ලියල තියෙනව විධික්‍රමයට එරෙහිව (Against Method) කියල. පොඩ්ඩක් ඒකත් කියව ගන්න.