Main Logo

Saturday 5 December 2020

ප්‍රීස්ට් සිරප්

 ප්‍රීස්ට් සිරප් 


දැනුම් යටත්විජිතවාදය යන්න බටහිර නිපදවන ලද සංකල්පයක් නො වෙයි. එය මෙරට නිෂ්පාදනයක්, සංස්කරණයක්. එහෙත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ඒ නිෂ්පාදනයට සහභාගි වී නැහැ. පඬි නැට්ටන්ට සංකල්පයක් සංස්කරණය කරනවා කියන්නේ කුමක් ද යන්නවත් තේරෙන්නේ නැහැ. මේසය යන සංකල්පය මනසේ සංස්කරණයක් කී විට ඔවුන් අසන්නේ මනසට මේසය වෙනස් කරන්න පුළුවන් ද කියා. මේසය මනසේ සංස්කරණයක් නම් මනසට මේසය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනළු. 


පඬි නැට්ටන්ට කිව යුතු කරුණ නම් විවිධ මේස වර්ග මනසේ සංස්කරණ කියා. මනස තමයි ලියන මේසය, කෑම මේසය, කණ්නාඩි මේසය, වගේ සංකල්ප සංස්කරණය කරන්නෙ. අවශ්‍ය නම් මනසින් ඔය ඕනෑම මේසයක් මේ අයුරින් වෙනස් කරන්න ඕන කියලත් හිතන්න පුළුවන්. වඩු මහතකු මේසයක් හදන්න ඉස්සෙල්ල මනසින් හිතා ගන්නවා මේක මෙහෙමයි වෙන්න ඕන කියා. පනුවන් කන සාම පරෙවියන් වූ පඬි නැට්ටන්ට කිසිම සංකල්පයක් සංස්කරණය කරන්න බැහැ. පනුවන් කන ඔවුන්ට පුළුවන් වෙනත් අය සංස්කරණය කරන දැනුම වමාරන්න පමණයි. අද වමාලා කියන්නෙ වමාරන්නන්ට. 


පඬි නැට්ටන් සියවසේ ඉහළ ම දැනුම හොයාගෙන. හොයාගෙන කියන්නෙ ඔවුන්ගෙ වචනවලින්. අර පැණිය හඳුන්නා දුන් තැනැත්තා කපුවෙක්ලු. ඊටත් ඉස්සර ඔහු වඩුවකු හරි මේසන් කෙනකු හරිලු. කපුව වඩුව මේසන් කියන වචනවල ම තියෙනවා ගර්හිත බවක්. පඬි නැට්ටකුට භාෂාවේ දේශපාලනය කියල නිබන්ධයක් ලියන්න පුළුවන්. සිංහල සංස්කෘතියෙ නම් කියන්නෙ කපු මහත්තයා වඩු බාසුන්නැහැ මේසන් බාසුන්නැහැ වගේ වචන. ඒත් පඬි නැට්ටන් තමන්ට කියන්නෙ බුද්ධිමතුන් ඉතිහාසඥයන් දාර්ශනිකයන් දේශපාලන විද්‍යාඥයන් කියල. අනේ මගේ කට!


අපේ රටේ මහා සංඝ රත්නය හැර අනෙක් පූජකවරු සියල්ලන් ම කපු මහත්තුරු. කපු මහත්තයා කියන්නෙ මොන විධියක හරි දෙවියන් හා මිනිසුන් අතර ඉන්න තැනැත්තකුට. ධම්මික බණ්ඩාරට කපුව කියන කිසිවකු කාදිනල්තුමාට කපුවා කියන එකක් නැහැ. මා කියන්නෙ එහෙම කියන්න කියන එක නො වෙයි. පන්සල් හැරෙන්න අනෙක් ආගමික ස්ථාන මොන නමින් හැඳින්නුවත් දේවාල. සමහර පන්සල්වලත් පැත්තකින් දේවාල හදා තියෙනවා. 


ධම්මික බණ්ඩාර කපු මහතාට ඔය පැණිය ලබා දීල තියෙන්නෙ යම් කිසි දෙවියකු හරි දෙවියන්ගෙ නියෝජිතයකු හරි. බෙහෙතක් ගැන අපි එක්කො අලුතෙන් ම හිතන්න ඕන. එහෙමත් නැත්නම් පොතකින් පතකින් වැඩි හිටියකුගෙන් ගුරුවරයකුගෙන් දෙමව්පියන්ගෙන් හරි මනු’ෂ්‍ය නොවන සත්වයකුගෙන් හරි ලබා ගන්න ඕන. මෙරට උගතුන්ට අලුතෙන් ම හිතන්න බැහැ. අලුත්ගේ කියා නම තිබුණත් හිතන්න බැහැ. පොතක පතක නැත්නම් ගුරුවරුන් වැඩි හිටියන් දන්නෙත් නැත්නම් මනුෂ්‍ය නොවන සත්වයකුගෙන් ලබා ගැනීමේ කිසිම වරදක් නැහැ. 


පඬි නැට්ටන් කියාවි ඊනියා පර්යේෂණ පත්‍රිකාවක තියෙන දෙයක් ඕනෑම කෙනකුට කියවා දැන ගන්න පුළුවන්. ඒත් කපු මහතකු දෙවියන්ගෙන් ලබා ගන්න දැනුමක් අනෙක් අයට ලබා ගන්න බැහැ කියල. පඬි නැට්ටන් කී දෙනකුට ඔය ඊනියා පරයේෂණ පත්‍රිකාවක් කියවල තේරුම් ගන්න පුළුවන් ද? අනෙක් අයටත් ඒ පත්‍රිකා තේරුම් ගන්න පුළුවන්. හැබැයි කල් යනව. වැඩේ ඉගෙන ගන්න ඕන. 


අපේ රටේ මනුෂ්‍ය නොවන ජීවින් සමග ගණුදෙනු කරන්න පුළුවන් යම්  පිරිසක් ඉන්නවා. තමන්ට බැහැ කියන එකෙන් අනුමාන කරන්න බැහැ වෙනත් කිසිවකුටත් එය බැහැ කියල. තමන්ට ගණිතය බැරි අය රටේ කී දෙනකු ඉන්නවා ද? ඒත් ඔවුන් කියනවා ද කිසිවකුට ගණිතය බැහැ කියල. ගණිතයෙහි නිර්මාණ (සංස්කරණ) කිරීම නම් ලංකාවෙ කිසිවකුට බැහැ කියල කියන්න පුළුවන්. මා කියන්නේ පරිධියේ ගැටළුවක් විසඳල ආචාර්ය උපාධියක් ගැනීම නො වෙයි. 


අපි රාමනුජන් ගැන කතා කරනවා. අප ඔහු ගැන ආඩම්බර වෙනවා. බැරි වෙලාවත් හාඩි කෙම්බ්‍රීජ් විශ්වවිද්‍යාලයට රාමනුජන් ගෙන්න ගත්තෙ නැත්නම් රාමනුජන්ට යන කල දසාව මොකක් ද? රාමනුජන් ගණිත සූත්‍ර ලියා ගෙන ගියේ කොහොම ද? ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය වැඩ කරනව නම් ලංකාවෙ කොහොම වෙතත් පිටරට වෙදමහත්තුරු විද්‍යාඥයන් පැණිය විශ්ලේෂණය කරල එහි සංඝටක දැන ගෙන පැණිය කෘත්‍රිම ව නිපදවල සන්නාමයක් සහිත ව අපට ම ආපසු එවන්න පුළුවන්. මා මේ කල්පනා කෙළෙ සන්නාමය මොකක් වෙන්න පුළුවන් ද කියල. ප්‍රීස්ට් සිරප් හොඳ ද? 


අර කොපර්නිකසුත් කපු මහත්තයකු තමයි. ඔහු දේවගැතිවරයකු (canon) මිස පූජකවරයකු (priest) නොවී යැයි කියනවා. හැබැයි ඔහුට සූර්යකේන්ද්‍රවාදය ලැබුණෙ දෙවියන්ගෙන් නම් නො වෙයි. ඔහුට එය ලැබුණෙ අරාබින්ගෙ මාර්ගයෙන් භාරතයෙන්. හැබැයි අද නම යන්නෙ කොපර්නිකස්ගෙ. ඒකට කමක් නැහැ. එහෙම තමයි ලෝකෙ හැටි.  මා ෆැරඩේලා එඩිසන්ලා ගැන කියන්න යන්නෙ නැහැ.  ඔවුන් පූජකවරුන් නොවන නිසා. 


අද පවත්නා ව්‍යවහාරය අනුව නම් ධම්මික බණ්ඩාර කපුතුමා නැත්නම් කපු වහන්සෙ කියන්න ඕන. කපු මහතා කියන එකත් එතරම් හොඳ නැහැ. ඒත් මධ්‍යම පාංතික පඬි නැට්ටන් තමන් ඊනියා සමාජ සමානත්වය, පංති පීඩනය ආදීය ගැන කතා කළත් ඒ ඒ පූජකයන්ට ඒ ඒ ආකාරයට ආමන්ත්‍රණය කරනවා. 


තවත් දෙයක් පේන්න තියෙනවා. බටහිර විද්‍යාව වෙනුවෙන් වැඩියෙන් ම පෙනී සිටින්නෙ සාමාන්‍ය පෙළෙන් පසුව විද්‍යාව විධිමත් ව නොහැදෑරූ අය හා සාමාන්‍ය පෙළෙන් පසුව විද්‍යාව හදාරා ඇත්නම් උසස් පෙළෙන් පසුව ගණිතය භෞතික විද්‍යාව හදාරා නැති අය. මා ඒ ගැන සමීක්‍ෂණයක් නම් කරල නැහැ. මා සම්ක්‍ෂකයෙක්වත් කරුණු (පරිසිද්ධි) එකතු කරන්නෙක්වත් නො වෙයි. 


ඊයේ ලිපියේ තිබූ ග්‍රහවස්තුවල  වක්‍ර වීම ගැන සමහරු අසා තිබුණා. ග්‍රහයන් වක්‍රවීම ගැන ඒ අය අහල නැතුව වෙන්න ඇති. ග්‍රහයන් කියන්නෙ ග්‍රහවස්තු නූණත් මෙහි වක්‍ර වෙන්නෙ පොළොවට සාපේක්‍ෂව ගමන් කරන විට යම් කාල පරාසයක ග්‍රහයා හරි ග්‍රහ වස්තුව හරි  අනෙක් අතට ගමන් කිරීම. එය සූර්යයාගේ සිට පොළොවට වඩා ඈතින් ඇති ග්‍රහවස්තුවලට වෙන්න පුළුවන්.