Main Logo

Wednesday 16 December 2020

බටහිර වෙදකමේ සිරිසඟබෝලා ඉන්නවා ද?

 

බටහිර වෙදකමේ සිරිසඟබෝලා ඉන්නවා ද?

 

කෑගල්ල පැත්තෙ ධම්මික වෙද මහතා  කොවිඩ් 19 රෝගීන් සඳහා බෙහෙතක් ඉදිරිපත් කරල. ඒක කාලි අම්මගෙන් ලැබුණු එකක් කියලයි කියන්නෙ. දැන් ප්‍රශ්න රාශියක් පැන නැගිල. පහුගිය කාලෙ කිහිප දෙනෙක් ම මේ වගේ ප්‍රතිකාර ගැන කිවුව. ඒත් ඒව යට ගියා. ආයුර්වේද, පාරම්පරික බෙහෙත් හැටියටයි ඒවා ඉදිරිපත් වුණෙ. ඒත් ධම්මික වෙද මහතාගෙ බෙහෙත නැත්නම් පැණිය වතුපිටිවල බටහිර වෙද මහතකුට දැන ගන්න ලැබිල. ඔහු  බටහිර වෙද මහතකු වුණත් අනෙක් වෙදකම් ගැනත් යහපත් ආකල්පයක් දරන්නෙක්. මා ඔහු නොහඳුනන බව කියන්න ඕන. ඒ නිසා මේ තොරතුරු ඔහුගෙන් ලැබුණු දේ නො වෙයි. ජනමාධ්‍යයෙ තිබුණ  තොරතුරු මත පදනම් වෙලයි මා ලියන්නෙ.

 

වතුපිටිවල බටහිර වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණිය යම් පරීක්‍ෂාවකට භාජනය කරල. එහි ප්‍රතිඵල සාර්ථක වෙලා. හරියට ම පැහැදිලි නැති වුණත් පස්සෙ තවත් පරීක්‍ෂාවක් කරල තියෙන බවයි කියැවෙන්නෙ. මේ පරීක්‍ෂා එකක්වත් නිල පරීක්‍ෂා වෙන්න බැහැ. ඒකට හේතුව බටහිර රෝහලක මෙවැනි වෙදකමක් පරීක්‍ෂාවට ලක් කිරීම සම්මතයට පටහැණි නිසා. බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා ඉන්නවා මෙවැනි පරීක්‍ෂා කළහොත් නිසි දඬුවම් දීමට වෛද්‍ය සභා හා වෙනත්  නීති රිති රෙගුලාසි කියව කියව. මේ පරීක්‍ෂා නිල වශයෙන් කෙරිල නැති නිසා ඒවා කෙරිලා නැහැ. ඒ නිසා ඕනෑම අයකුට කියන්න පුළුවන් එවැනි පරීක්‍ෂාවක් කෙරිල නැහැ කියල. අපි එහෙම කියමු.

 

ඒ වුණත් ජනමාධ්‍යයෙ ප්‍රකාශ වුණෙ වතුපිටිවල එහෙම පරීක්‍ෂාවක් කෙරුණා කියල. එහි සාර්ථකත්වය නිසා තමයි මේ ප්‍රතිකාරයට හඳුන්වා  දෙනු ලැබූ අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණෙ. ඊට පස්සෙ සිසිර ජයකොඩි ඇමතිතුමත් ගිහින් සාකච්චා කරල. ඒ මහතාට හා ජනමාධ්‍යයට අනුව ආයුර්වේද වෛද්‍ය සභාව පැණිය ආහාර පරිපූරකයක් හැටියට අනුමත කරල.

 

ඒ අතර බටහිර වෛද්‍ය පීඨවල මහාචාර්යවරුන්ගෙ කමිටුවක් පත් කරල. පැහැදිලි නැහැ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නෙ මොකක් ද කියල. සමහර විට ඊනියා සායනික නැහැසුම් වෙන්න පුළුවන්. තවත් කමිටු දෙකක් පත් කරල තියෙනව කියනවා. ඒ ආයුර්වේද පැත්තෙන් කියලයි කියන්නෙ. කමිටු වැඩිවෙන තරමට වැඩේ කල් යනවා. මා අහල තියෙන විධියට ජේ ආර් ජයවර්ධන වැඩක් නොකරන්න ඕන වුණා ම කමිටු පත් කරනවලු. 

 

ඒත් මේ  කමිටු පත් කිරීම විකාරයක්. ධම්මික වෙද මහතා බෙහෙතක් ඉදිරිපත් කරල. ඒක අවශ්‍ය අය බෙහෙත බොයි. ඔය බෙහෙත බිව්ව කියල මැරෙන්නෙ නැහැ. දැන් සමහරු කෑ ගහනවා මී පැණි රත් කරාම වස වෙනවලු. සාදික්ක වසලු. අනෙක් ද්‍රව්‍ය දෙක දන්නෙ නැති නිසා මුකුත් කියන්න බැහැ. ඒ දෙකත් වස කියමු. දැන් යමක් වස වෙන්න කෙතරම් ප්‍රමාණයක් ගන්න ඕන ද? අර අශෝක රජුගෙ සීයට චන්ද්‍රගුප්තට චානක්‍ය වස දුන්න. ගෝනි ගණන් නො වෙයි. වසට පුරුදු කරන්න. ඔය පැණියෙන් මේස හැන්දක්නෙ බොන්නෙ. පොල් කටු හැන්දක් නො වෙයි. ඕකෙ මාත්‍රාව මා දන්නෙ නැහැ. ඒත් මා හිතන්නෙ නැහැ මේස හැන්දක් බිව්වට වස වෙයි කියල.

 

බටහිර බෙහෙත් ඕනවට වඩා ගත්තත් මුකුත් වෙන්නෙ නැද්ද? පැරසිටමෝල් කොච්චර ගත්තත් කමක් නැද්ද? වෙන්ඩෝල් පැනඩෝල් වගේ ද? ඒකෙත් කටින් ගන්න පෙති ආදිය තියෙනවා ද? මේ කතාවලින් වැඩක් නැහැ. ධම්මික වෙද මහතාගේ පැණිය බීපු අය ඉන්නවා. සුව වෙච්ච කොවිඩ් රෝගීන් ඉන්නවා. තවත් මොන පරීක්‍ෂා ද? අද ඇතැම් බටහිර වෙදමහතුන් පැණිය සඳහා විවිධ කොන්දේසි පනවනවා.

 

මට දැන ගන්න ඕන කරුණක් තියෙනවා. බටහිර වෙදකමේ ඊනියා සායනික නැහැසුම් සඳහා ඇති කොන්දේසි මොනවා ද? ඇතැම් බටහිර වෙදමහතුන් ධම්මික වෙද මහතාගේ පැණියට පනවන්නේ ඒ කොන්දේසි ම ද? එහෙම නැත්නම් ඊට වඩා දැඩි කොන්දේසි ද? කාට හරි හොයල බලන්න පුළුවන් ද? ඔය ඔක්ස්ෆඩ් එන්නත සඳහා වෙනදා පනවන සියලු කොන්දේසි, නිර්ණායක පැනෙව්ව ද? අවුරුද්දකින් ඒ සියල්ල සම්පූර්ණ කර ගන්න පුළුවන් ද?

 

ධම්මික වෙද මහතා පැණියක් නිර්දේශ කරල නම් ඒකෙන් ලෙඩුන් සුව වෙලා නම් ඊට වඩා මොනව ද ඕන. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ බෙහෙත ගැන විශ්වාසය ඇති කිරීම. පෙර පාසලේ බා බා බ්ලැක් ෂීප් කියපු දා ඉඳන් කළු හොඳ නැහැ කියන්න ව්‍යංගයෙන් හරි උගන්නනවා. කළු දැනුම, අපි එහෙම කියමු, මිථ්‍යා කියන එක අපේ මනසට ඇතුල් කරන්නෙ පොඩි කාලෙ ඉඳන්. ධම්මික වෙද මහතා වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ වැඩිම වුණොත් කළු බැටළුවෙක්. කළු බැටළුවන් තදින් පරීක්‍ෂා කරන්න ඕන. ලොම් කොච්වර තියෙනවා ද කියල බලන්න ඕන.

 

මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්න එක අපේ සංස්කෘතියෙ තියෙනවා. මහාවංසය ඒකට සාක්‍ෂි දරණවා. අපට අපේ දැනුම බාල්දු කරන්න ඉගැන්නුවෙ අද ඊයේ නො වෙයි. පාසල්වල විශ්වවිද්‍යාලවල උගන්වන්නෙ අපේ දැනුම බාල්දු කරන්න. අද කැඳ බීල ද ආවෙ කියල ඇහුව ම ඒකෙන් වෙන්නෙ කැඳ බාල්දු කරන එක. දැන් පැණිය බාල්දු කරන්න පටන් අරන්. ඔය කඩවල ගන්න තියෙන සිරප් ජාති තිතට ඊනියා සායනික නැහැසුම්වලට භාජනය කරපු ඒව ද?

 

සම්ම ජාතියෙ ප්‍රතිකාරයක් නිර්දේශ කරන්න බැරි මිනිසුන් ටිකක් වෙනත් වෛද්‍ය ක්‍රමයක් පරීක්‍ෂා කරනවා. ඒක තරම් සදාචාර්ත්මක නොවන දෙයක් තවත් තියෙනවා ද? ඔය ඊනියා ආචාරධර්ම ගැන කතා කරන අය තම පද්ධතියෙ නොවන දැනුමක් මොන දේකට හරි පරීක්‍ෂා කරන්න යෑමේ තියෙන ආචාරධර්මය මොකක් ද? මෙතන තියෙන්නෙ දැනුම් යටත්විජිතවාදය මිසක් වෙන එකක් නො වෙයි.

 

අද දැනුම් යටත්විජිතවාදය නිසා බටහිර වෙදකම ඇතුළු බටහිර දැනුම ආධිපත්‍යයක් උසුළනවා. අනෙක් දැනුම් මනින්නෙ බටහිර දැනුමේ මිනුම් දණ්ඩෙන්. ධම්මික වෙද මහතාගේ පැණිය නිසා ඇතැම් බටහිර වෙද මහතුන් දණ්ඩෙන් පහර ලත් සතුන් වෙලා. ඔවුන් තම මිනුම් දණ්ඩ ධම්මික වෙද මහතාට  විරුද්ධව යොදා ගන්න හදනවා. ධම්මික වෙද මහතාගේ පැණිය බටහිර වෙද මහතුන් ලවා පරීක්‍ෂා කරවීම තරම් නින්දිත දෙයක් තවත් නැහැ.

 

අද මෙරට මිනිසුන්ට බටහිර දැනුම ගැන විශ්වාසයක් ඇති කෙරිල තියනවා. ඒත් මිනිසුන්ගෙ සංස්කෘතියෙ තවමත් අපේ දැනුම ගැනත් විශ්වාසයක් තියෙනවා. ධම්මික වෙද මහතාගෙ පැණිය ගැන මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා. ඒ වුණත් අධ්‍යාපනයෙන් ලබා දෙන බටහිර දැනුම මගින් ඒ විශ්වාසය වැඩි දියුණු කරන්න පුළුවන්. අනෙක් පැත්තට බටහිර දැනුමෙ ඊනියා සායනික නැහැසුම් ක්‍රම යොදා ගෙන අපේ දැනුම තහනම් කරන්නත් පුළුවන්.

 

අද සිදුවන්නෙ කුමක් ද කියන එක පැහැදිලි නැහැ. ඊනියා කමිටු වාර්තා එනකන් පැණිය දීම තහනම් කෙරිල. ධම්මික වෙද මහතා ලියා පදිංචි වෙද මහතකු නොවීමත් ප්‍රශ්නයක්. සුද්දන්ගෙ ලියා පදිංචිය දෙන්නෙ ඔවුන්ගෙ නිර්ණායක අනුව. අපට තවම පාරම්පරික වෙද මහතුන්ගෙ වෛද්‍ය සභාවක් ඇති කර ගන්න බැරි වෙලා. ධම්මික වෙද මහතා ලියා පදිංචි වෙද මහතකු නොවන බැවින් ඔහු වෙදකම් කරන්න ගියොත් අමාරුවේ දාන්න පුළුවන්. මේ රටේ අපේ කියල නීතියක් අධ්‍යාපනයක් නැහැ.

 

ඒත් මේ පැණිය ආහාර පරිපුරකයක් නම් එය ලබා දීම අපහසුවක් වෙන එකක් නැහැ. එහි දී බලපාන නීති ගැන මට අවබෝධයක් නැහැ. සියළු ආහාර, ආහාර ලෙස ලියා පදංචි කළ යුතු බවට තවම නම් මා දැනුවත් ව නීතියක් නැහැ. මෙය බෙහෙතක් නොව ආහාරයක් ලෙස සලකන්න පුළුවන් ද? එසේ නම් එය බෙදා හරින්නේ කෙසේ ද?

 

දැනට මේ බෙහෙත හරි ආහාරය හරි පාවිච්චි කළ අය මා හිතන්නේ දහස් ගණනක් ඉන්නවා. ඒ එක් අයකුටවත් ආබාධයක් ඇති වෙලා තියෙනවා ද? ඔය මී පැණි රත් කරනව කියන එක මුසාවක්. මට මතක හැටියට ධම්මික වෙද මහතා මාධ්‍යයට කිව්වෙ අනෙක් ද්‍රව්‍ය තුන සකස් කර ගත්තට පස්සෙ මී පැණියෙන් කලවම් කරන බවයි. මී පැණි රත් කිරීමක් ගැන කිවුවෙ නැහැ. 

 

ධම්මික වෙද මහතාගෙ බෙහෙතට අනෙක් බෙහෙත්වලට නැති ප්‍රසිද්ධියක් ලැබුණෙ බටහිර වෙදකමේ නිල ලත් හරි නිල නොලත් හරි පරීක්‍ෂාවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බව ජනමාධ්‍යයෙන් කිවුවට පස්සෙ. ඒ බටහිර වෙදකමේ ආධිපත්‍යය නිසා දැනුම් යටත්විජිතවාදය නිසා. බටහිර වෙදකම අවසානයේ දී ධම්මික වෙද මහතාට සහතික දේවිය කියා හිතන්න අමාරුයි. තමන්ගෙ මරණ සහතිකය තමන් ම ලියා ගන්නෙ කවුද? බටහිර වෙද මහතුන් සිරිසඟබෝලා වේවි ද?