Main Logo

Saturday 26 December 2020

පැණියට විරුද්ධ පඬි කතා

 පැණියට විරුද්ධ පඬි කතා  


පිටරට වාසය කරන එක් වෛද්‍යවරයෙක් ලියා තිබුණා විද්‍යාඥයකු වූ මා දැන් විද්‍යා විරෝධියකු වී ධම්මික වෙද මහතාගේ පැණිය වෙනුවෙන් කතා කරන බවක්. මා කිසි දා විද්‍යාඥයකු වී සිටියේ නැහැ. තරුණ කල විද්‍යාඥයකු වීමට බලාපොරොත්තුවක් තිබූ නමුත් මට එසේ වීමට නොහැකි බව තේරුම් ගියා. මා බටහිර විිද්‍යා විරෝධියකු වී නැහැ. මා බටහිර විද්‍යා දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැහැ. මගේ විරෝධය බටහිර  විද්‍යාව දරණ ආධිපත්‍යයට හා එය එක ම දැනුම් පද්ධතිය ලෙස පෙන්වීමට දරණ උත්සාහයටයි. 


ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධවන්නන් නගන්නේ සරල ප්‍රශ්න. යමකු යමක් කී පමණින් අප විශ්වාස කරන්නේ දැයි අහනවා. මේ කාලි අම්මා කී බෙහෙත ගැන. ඒ සම්බන්ධයෙන් නම් කියන්න ඇත්තේ එක ම එක දෙයයි. බුදුහාමුදුරුවන් දෙසූ පමණින්වත් අප යමක් විශ්වාස කරන්නේ නැහැ. කාළාම සූත්‍රය අනුව වුවත් එය එසේ ම බව පැහැදිලියි. අප කාළාම සූත්‍රය විශ්වාස කරන්නේත් ඒ ගැනත් යම් පරීක්‍ෂාවකින් පසුවයි. එහෙත් ඒ පරීක්‍ෂාව බටහිර වෙදකමේ කියැවෙන ඊනියා සායනික නැහැසුම් ක්‍රමය ම විය යුතු නැහැ. යමක් න්‍යායානුකූල වූ පමණින්වත් තර්කානුකූල වූ පමණින්වත් අප එය විශ්වාස කරන්නේ නැහැ. 


ධම්මික වෙද මහතාගේ පැණිය විශ්වාස කරන්නේ ඉන් රෝගීන් සුව වෙන බැවින්. එය වැඩ කරන බැවින්. හිතනවාද පැණිය පානය කරන අය තව තවත් අසාධ්‍ය වේ නම් අප එය පිළිගනීවි කියා. අද වන විට දහස් ගණනක් පැණීය බී තියෙනවා. පඬි නැට්ටකු කියා තිබුණා කොවිඩ් රෝගීන් අති විශාල බහුතරයක් කාලෝ රෝගීන් (ඉබේට හොඳ වෙන රෝගීන්) නිසා පැණිය බීම නිසා ම රෝගීන් සුව වුණා කියන්න බැහැ කියා. ඒත් පැණිය බී මිය ගිය අයකු ගැන හරි රෝගය උත්සන්න වූ අයකු ගැන හරි වාර්තා වී නැහැ. දැනට නම් පැණිය නොබිව් අය අතරින් කාලෝ රෝගීන් නොවන්නන් විවිධ සංකූලතාවලට ගොදුරු වන්න පුළුවන්.   


ඇත්තේ ඊනියා සායනික නැහැසුම් පමණක් ය කියා සිතීම තමයි මේ සියල්ල පිටුපස ඇති  උපකල්පනය. එකී පරීක්‍ෂාව කර නැත්නම් පරීක්‍ෂාවක් කර නැහැ කියා තමයි පඬි නැට්ටන් හිතන්නෙ. පැණිය රෝගීන්ට දී එය වැඩ කරනවා ද නැද්ද යන්න බැලීමට වඩා ඉහළ පරීක්‍ෂාවක් තියෙනවා ද? පැණිය සම්බන්ධයෙන් බටහිර විද්‍යා පරීක්‍ෂා කිරීම ගැන මා ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි. ඒ පරීක්‍ෂා කිරීමට ඇතැමුනට අවශ්‍ය වුණත් රජරට විශ්වවිද්‍යාලයේ ඊනියා ආචාර ධර්ම කමිටුවේ වාර්තාව ලැබෙන තුරු බලා සිටින්න වී තිබෙනවා. ඒ කමිටු  වාර්තාව නැතිව අර මහාචාර්ය කමිටුවටත් කිසිවක් කරන්න බැහ. ඒ වාර්තාව ලැබුණු පසු මහාචාර්ය කමිටුවෙන් හා අදාළ අමාත්‍යාංශයෙන් තීරණයක් ගනීවි.  


මේ අතර බටහිර එන්නත් සම්බන්ධයෙන් මුසා බස් කියා ඇති බව දැන් පැහැදිලි වෙනවා. බයිඩන් මහත් සේ වර්ණනා කර ඇති ඇමරිකානුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති වෛද්‍ය විශේෂඥයකු වූ ෆවුසි (එය උච්චාරණය කරන්නේ ෆවුචි කියා ද වෙනත් අයුරකින් ද යන්න මා දන්නේ නැහැ) තමා එන්නතක් වෙනුවෙන් මහජන කැමැත්ත ලබා ගැනීමට සංඛ්‍යා ලේඛන වෙනස් කර මුසා බස් කියා ඇති බව පිළිගන්නවා. අර ඔක්ස්ෆඩ් එන්නත අසාර්ථකයි. ඔවුන් දැන් රුසියාවේ ස්පුට්නික් කණ්ඩායම සමග එකතු වීම ගැන කල්පනා කරනවා. ස්පුට්නික් සාරථක දැයි එකල නම් බටහිරයන් ඇසුවා. ධම්මික වෙද මහතාගේ පැණිය වෙනුවෙන් මුසා බස් දෙඩවූවකු ගැන අහල තියෙනවා ද? ධම්මික වෙද මහතා බාස් කෙනකු නො වැ. 


ආයුර්වේද වෙද මහතුනට මේ සම්බන්ධයෙන් කළ හැකි පරීක්‍ෂාවක් වේ ද? ඇතැම් ආයුර්වේද වෙද මහතුන් පරීක්‍ෂා ගැන කියමින් පාළු ගෙයි වළං බිඳිනවා. කරුණාකර ආයුර්වේද පරීක්‍ෂාව මේ යැයි කියා පැණිය පරීක්‍ෂා කරන්න. මේ ඊනියා පරීක්‍ෂා නිසා අද රෝගීන්ට පැණිය දීම වැළකිලා. ප්‍රතිපත්තියක් ලෙස මේ පරීක්‍ෂාවලට මා විරුද්ධයි. එක් වෛද්‍ය ක්‍රමයක පරීක්‍ෂා වෙනත් වෛද්‍ය  ක්‍රමයකට යෙදීම නම් ආචාර ධර්මවලට එකඟ නැහැ. තමන්ගෙ මට්ටන් තම්මැට්ටන් කිවුවලු. 


තවත් ප්‍රශ්නයක් වී ඇත්තේ කාලි අම්මා බෞද්ධ නොවීම. ඇය සිංහල බෞද්ධ නොවෙයිලු. සම්‍යක්දෘෂ්ටික නො වෙයිලු. යම් විධියකින් සම්‍යක්දෘෂ්ටික දෙවියකුගෙන් බෙහෙතක් ලැබුණොත් පඬි නැට්ටන් එය පිළිගන්නවා ද? ඊනියා සායනික නැහැසුම්වලට ලක් කරනවා ද? අප තිස්තුන් කෝටියක් දෙවියන් ගැන කියනවා. ඒ අය සිංහල බෞද්ධ ද? ඔවුන්ගේ සම්භවය නම් වෛදීක. බ්‍රහ්මගේ ත්‍රිමූර්තියෙන් පටන් ගෙන තිස්තුනක් වී අවසානයේ දී  තිස්තුන්කෝටියක් වී තියෙනවා. 


පත්තිනි අම්මා සිංහල බෞද්ධ ද? ඇතැම් සිංහල බෞද්ධයන් කෝප විය හැකි වුවත් බුදුහාමුදුරුවන් සිංහල බෞද්ධ ද? මෙතන ප්‍රශ්නය අපට දැනුම ලැබෙන්නේ කාගෙන් ද යන ප්‍රශ්නය නො වෙයි. දැනුම වැඩ කරනවා ද යන්න පමණයි සැලකිය යුත්තේ. ඒ තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. අද බුදුහාමුදුරුවන් පමණක් නොව පත්තිනි අම්මා කාලි අම්මා විෂ්ණු දෙවියන් ආදී සියල්ල සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කෙරිලා. ඒ සියලු දෙනා අපේ. මා නම් කැමතියි ක්‍රිස්තුස් වහන්සේටත් විෂ්ණු දෙවියන්ට හරි විභීෂණ දෙවියන්ට හරි වගේ සලකනවට. එයට බෞද්ධයන් මෙන් ම ක්‍රිස්තියානින් ද විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. මගේ මේ කැමැත්ත අවුරුදු ගණනාවකට පෙරත් මා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ දී නම් මා බේරුණා. 


විෂ්ණු දෙවියන් හින්දු සංස්කෘතියේ ත්‍රිමූර්තියෙන් එක් මූර්තියක්. එහෙත් සිංහල බෞද්ධයන් විෂ්ණු දෙවියන් තම සංස්කෘතියට අවශෝෂණය කර ගෙන තියෙන්නෙ බ්‍රහ්ම මූර්තියක් ලෙස නො වෙයි. සංස්කෘතියකින් සංස්කෘතියකට අවශෝෂණය වීමේ දී වෙනස්කම් සිද්ධ වෙනවා. සිංහල බෞද්ධයන් අතර වෛශ්‍රවණිකයන් නැහැ. කතරගම දෙවියන් සිංහල බෞද්ධයන්ගෙ කවුද? මට මහසෙන් දෙවියන්, ස්කන්ධ කුමාර දෙවියන්, වැදි දෙවියන් පමණක් නොව හැවිල්ල ද මතක් වෙනවා. මගෙ කුකුළා නැසූ එකා ….. ..


තවත් පඬි නැට්ටන් අහනවා කාලි අම්මට බැරි ද ජනාධිපතිට කියා පැණිය රෝගීන්ට දෙවීමට සලස්සන්න. මේ කොවූර් තර්ක. අනාගතය ගැන කියන්න පුළුවන් නම් කවරයක ඇති මුදල් නෝට්ටුවක අංකය කියන්න පුළුවන් ද වගේ තර්ක. ඒ වැඩ දෙකක්. චෙස් ක්‍රීඩකයකුට පාපන්දු ක්‍රීඩාව බැරි ද කියල අහනව වගේ. ඒක පුළුවන් නම් මේක බැරි ද කියා තර්කයක් ලෙස හැම තැනක ම ගේන්න බැහැ. කොවිඩ් සඳහා බෙහෙතක් පේන එක එකක්. බෙහෙත දෙන්න සලස්සන එක තවත් එකක්. 


එක් පඬි නැට්ටකු අහල තිබුණ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙ පාලනයට යටත් වෙන්නෙ මොක ද කියල. මෙහි කාලි අම්මගෙ පාලනයකට යටත් වීමක් නැහැ. අප ඇගෙන් උපකාරයක් ගන්නවා පමණයි. මේ යටත් වීම් ගැන කතා කරන්නෙ බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරන අය වීමයි ප්‍රශ්නය. වහලාට තම වහල් බව තේරෙන්නෙ නැහැ කියනවා. දැනුම් යටත්විජිතවාදයෙ යටත් වාසීන්ට තමන් යටත් බව තේරෙන්නෙ නැහැ.