Main Logo

Sunday 27 December 2020

සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්‍රශ්නය

 සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්‍රශ්නය


සජිත් ප්‍රේමදාස මුස්ලිමුන් වෙනුවෙන් බෞද්ධයන්ගේ පාංශුකූලය සඳහා කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ඒ ඒ පුද්ගලයාගේ පාංශුකූලයක් ගැන කිවුවේ නැහැ. ඇහැවුවෙත් නැහැ. සජිත්ට අවශ්‍ය බෞද්ධයන්ගේ පාංශුකූලය දෙන්න. මේ අතර චම්පක රණවක භූමදාන කළ මිනී ගොඩ ගන්න බලන් ඉන්නවා. 


ඉතා පැහැදිලිව කාට කාටත් පෙරහැර බලන්න බැරි වෙලා. පෙරහැර කනත්ත පහුකරල ගිහින් හුඟක් වෙලා. මුස්ලිම් නායකයන් ද එය වටහා ගන්න ඕන. මට පේන විධියට කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධයන්ගේ පාංශුකූලය දීමට බලන් ඉන්න රාජිත සේනාරත්නට වඩා ඒ දිස්ත්‍රික්කයේ ඉම්තියාස් බාකිර් මාකාර්ට කාරණා වැටහී ගෙන එන පාටයි. පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමට ගොස් බාකීර් මාකර් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිමුන්ගේ දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බව ය. ඒ ගැන අප ඔහුට ප්‍රශංසා කරන්න ඕන.


භූමදාන ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් මිස ආගමික ප්‍රශ්නයක් නො වෙයි. ඉස්ලාම භක්තිකයකු මිය යෑමෙන් පසු භූමදාන කළ යුතුම යැයි කුරානයේ සඳහන් නොවන බවක් කියැවෙනවා. දූවිල්ලෙන් දූවිල්ලටත් , අළුවලින් අළුවලටත් (ashes to ashes dust to dust) යනුවෙන් සඳහන් වන පාඨයෙන් භූමදානය මෙන් ම ආදාහනය ද කියැවෙන බව සඳහන් වෙනවා. එය එක්තරා ආකාරයකින් සංස්කෘතික වශයෙන් ගත් කල භූමදානයට සීමා කිරීමට මුස්ලිමුන් හා කිතුණුවන් පුරුදු වී සිට ඇති බවක් තමයි පේන්න තියෙන්නෙ. 


හින්දූන් නම් අළු ගඟට විසි කරන අවස්ථා තියෙනවා. බෞද්ධයන් සුපුරුදු පරිදි ඕන එකක් කරනවා. භූමදානය කරනවා, ආදාහනය කරනවා, අළු ගඟට විසි කරනවා. අළු ගඟට විසි කළොත් නම් අළුවලින් අළුවලට කතාව හරියන්නෙ නැහැ. ඒ කොහොම වෙතත් කිතුණුවන් ආදාහනය කරන අවස්ථා එමට තියෙනවා. ඒත් අළු ගඟට විසි කරන්නේ නැහැ. මුස්ලිමුන් ආදාහනය කිරීමෙන් ලැබෙන අළු යට ගිනි පුපුරු තියන්න ඇතැමුනට අවශ්‍ය වෙලා. 


මුස්ලිමුන්ගේ ආගමික නොවන වැඩිම වුණොත් සංස්කෘතික ප්‍රශ්නයක් අද දේශපාලන ප්‍රශ්නයක් කර ගන්න විපක්‍ෂය බලාපොරොත්තු වෙනවා. මුස්ලිමුන් මිය යන විට කොවිඩ් වැළඳිලා හිටියොත් තමයි ප්‍රශ්නය ඇති වෙන්නෙ. එවිට භූමදානය කරනවා ද ආදාහනය කරනවා ද?  එය තීරණය කරන්නේ කවුද? වෙන කවුද ආණ්ඩුව මිසක්. 


ආණ්ඩුවට එය තීරණය කිරීමට ඇති අයිතිය කුමක් ද? ආණ්ඩුව මූලික වශයෙන් තියෙන්නෙ රාජ්‍යය ආරක්‍ෂා කිරීමට. ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට. ජනතාව ආරක්‍ෂා කිරීමට. අද කොවිඩ් වසංගතය ලෝ පුරා පැතිරී ගිහින්. තමා කොවිඩ් රෝගීන් සඳහා නිෂ්පාදනය කළ  පැණිය නිෂ්පාදනය කිරීම නැවැත්වීමට ධම්මික වෙද මහතා තීරණය කර තිබෙනවා. එය තාවකාලික වශයෙන් ද කියන එක පැහැදිලි නැහැ. ආණ්ඩුවට විවිධ බලපෑම් නිසා ඒ ගැන තීරණයක් ගැනීමට දිගු කාලයක් ගැනීමට සිදු වුණා. තවමත් තීරණයක් ගෙන නැහැ. 


ඒ අතර ආණ්ඩුව ප්‍රධාන වශයෙන් ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත ආනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් එන්නත බවයි කියැවෙන්නෙ. එහි සාර්ථකත්වය සියයට හැට ගණනක් පමණයි. අනෙක් එන්නත් ගෙන්වා ගැනීමට හරි ඒ තබා ගැනීමට හරි අවශ්‍ය පහසුකම් නැහැ. දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී කීවලු. ඒත් මේකෙ ඊට වැඩි දෙයක් තියෙන්නෙ. ඇතැමුන් පැණිය දෙන්න තියෙන ඉඩ අහුරනවා  


ආණ්ඩුව මේ සියලු බලපෑම් මැද අගහිඟකම් මැද ජනතාව ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්න ඕන. ඒ ඇතැම් ජනකොටස් විවිධ හේතු නිසා මූලික කරුණුවත් නොපිළිපදින අවස්ථාවක. රෝගය පැතිරවීම සඳහා කෙළ ගසන්නන්, පීසීආර් මගහරින්නන්, නිරෝධායන ආයතනවලින් හා රෝහල්වලින් පැන යන්නන්, සාද දමන මධ්‍යම පාන්තිකයන්, පොලීසියට හොරෙන් සෞඛ්‍ය නීති කඩන්නන් ගැන නිතර කියැවෙනවා. අප තවම වැඩිහිටියන් බවට පත්වෙලා නැහැ. ඇතැමුන් බලා ගෙන ඇති හැමෝගෙ ම ඇස්වලට වැලි ගහල තිස්එක්වැනි දා රෑ සාද පවත්වන්න.


ආණ්ඩුව භූමදානය ගැන තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහල. අද සෞඛ්‍ය බලධාරීන් කියන්නේ බටහිර වෙද මහතුන් හා පොදුවේ බටහිර අධ්‍යාපනයක් ලැබූ අය. ධම්මික වෙද මහතාගේ පැණිය බෙදා හැරීම ප්‍රමාද වුණෙත් ඒ අය නිසා. බටහිර දැනුම අනුව කොවිඩ් 19 වයිරසයකින් බෝ වෙන්නක්. වයිරස ගුණනය වීමට (ප්‍රජනනය වීමට) ජීව ෙසෙල අවශ්‍යයි. ඒත් පැවැත්මට අවශ්‍ය නැහැ. විවිධ පෘෂ්ඨවල ජලයේ වයිරසය විවිධ කාලවල පවතින්න පුළුවන්. 


මුදල් නෝට්ටුවලත් වයිරසය යම් කාලයක් පවතිනවා කියනවා. මියගිය අයගෙ දේහවලත් තියෙන්න පුළුවන්. ආණ්ඩුවට වයිරසය පැතිරීම නවත්තන්න ඕන. එය සියයට සියයක් සාර්ථක වුණත් නැතත් කිසිදු සැකයකට ඉඩක් තියන්න බැහැ. ආණ්ඩුව දේහ ආදාහනය කිරීමට තීරණයක් අරගෙන තියෙනවා. මෙහි දී මියගිය අයගෙ ඊනියා මානව අයිතිවාසිකම්වලට වඩා ජීවත්වන්නන්ගේ මානව අයිතිවාසිකම්වලට ආණ්ඩුව තැනක් දෙන බව පේනවා. මේ සියල්ල සිදු වන්නේ බටහිර දැනුම් පද්ධතියේ බවත් අමතක නොකළ යුතුයි.     


මුස්ලිම් දේශපාලනඥයන්ට මේ ප්‍රශ්නයෙන් අමුතුවෙන් ඡන්ද වැඩි වන්නේ නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් ඡන්ද ගණුදෙනුව කරන එක පමණයි. ඩීල් දේශපාලනයේ වැඩි ලන්සුවක් තියන්න පුළුවන්. සමගි ජන බලවේගය අද බලන්නේ දෙමළ මුස්ලිම් ඡන්ද (නායකයන්ගෙ ඡන්ද) සියල්ල අත්පත් කරගෙන සිංහලයන්ගෙ ඡන්ද යම් ප්‍රමාණයක් ලබා ගෙන මීළඟ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් ජයගන්න. චම්පක බලන් ඉන්නෙ සමගි ජන බලවේගයෙ ජනාධිපති අපේක්‍ෂක වෙන්න. ඔහුට අවශ්‍ය මළ කඳන් ගොඩ අරන් සිංහල ඡන්ද කොල්ලකන්න. 


ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕන ඡන්ද සෙල්ලම ගැන නො වෙයි. ජනතාවගේ ආරක්‍ෂාව ගැනයි. ජනතාව සුවපත් කිරීම ගැනයි. එන්නත ගේන්න අවශ්‍ය නම් ගේන්න. ඒත් ධම්මික වෙද මහතාගේ පැණියටත් වෙනත් දේශීය ප්‍රතිකාරවලටත් අත දෙන්න. සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව පැණිය බෙදා හැරීමට කටයුතු කරන්න. භූමදාන ප්‍රශ්නයටත් හොඳ ම විසඳුම කොවිඩ් නිසා කිසිම ඉස්ලාම් බැතිමතකු මීය යෑමට ඉඩ නොතැබීමයි. 


සජිත් ප්‍රේමදාස අහනව පැණියට සහතික තියෙනවා ද කියල. චම්පක ඒ ගැන මොකද කියන්නෙ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ තමාට එවූ පැණි බෝතලයක් ආපහු යවල. ඇය ඒ තීරණය ගත්තෙ කතෝලිකයකු හැටියට වෙන්න බැහැ. ඒ දිස්ත්‍රික්කයේ ම ඒ කිට්ටුව ම වෙනත් කතෝලික මන්ත්‍රීවරු, ඒ වගේ ම ප්‍රධාන කතෝලික පූජකවරු පැණිය ලබා ගෙන තියෙනවා. ඇගේ තීරණයට පසුබිම මොකක් ද කියල කියනව නම් හොඳයි.  සජිත්ගෙ සහතිකය අපට අවශ්‍ය නැහැ. සජිත්ගෙ සහතිකය කොහොමත් වෙන්ඩ සහතිකයක්.