Main Logo

Friday 18 December 2020

එම්සීසී ගිවිසුම හා සිරිසේන

 එම්සීසී ගිවිසුම හා සිරිසේන 


එක්සත් රාජ්‍ය එම්සීසී ගිවිසුම අකුළ ගෙන. මා දන්නේ නැහැ වෙන රටක් සම්බන්ධයෙනුත් එවැනි දෙයක් සිදු වුණා ද කියල. ලෝකයේ තවමත් බලගතු ම රාජ්‍යය අප වැනි රටක ජනමතයට කන් දීමක් ලෙස එය සලකන්න පුළුවන් ද? අපට වෙන් කරල තිබුණ මුදල සියරා ලියොන් රටට දෙනව කියනවා. අපට වෙන් කරපු මුදල කියන එකත් වැරදියි. ඒ එක්සත් රාජ්‍ය තමන් වෙනුවෙන් ලංකාවෙ වියදම් කරන්න හිටි මුදල. 


විපක්‍ෂය මෙතෙක් කිය කිය හිටියෙ එම්සීසී ගිවිසුමේ කොටසක් අත්සන් කරල ඉවරය, හැකිනම් ජනාධිපති ගිවිසුම අත්සන් නොකරන බව කියන්න ආදී කතා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක් වරක් කියා හිටියෙ හීනෙන්වත් ගිවිසුම අත්සන් නොකරන බවයි. කෙසේ වෙතත් එක්සත් රාජ්‍ය එම්සීසී ගිවිසුම අකුළ ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්‍ෂට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු ප්‍රධාන ආණ්ඩුව තම තීරණයේ ස්ථිර ව හිටියා. 


දැන් එහෙම කිවුවම ඇතැමුන් කියාවි මා රාජපක්‍ෂලාට කඩේ යනව කියා. තානාපතිකම වෙනුවෙන් කඩේ යන්න එපායැ. ඒත් මට තවත් අයකු වෙනුවෙනුත් කඩේ යන්න තියෙනවා. කඩේ යනව කියන යෙදුමට විවිධ අර්ථකථන තියෙන බව පැහැදිලියි. ඒ කුමක් වුවත් මට කඩේ යන්න තියෙන්නෙ මෛත්‍රිපාල සිරිසේනට. ඔහුට කඩේ ගියා කියා මට සතපහක වාසියක් වෙන්නෙ නැහැ. වෙන්නෙ අවාසියක් පමණයි. 


ජාතිකවාදීන් විශාල පිරිසක් මට විරුද්ධව නැවතත් අවි අතට ගනීවි. කොහොමටත් ජාතිකවාදීන්ගෙන් සියයට විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මට විරුද්ධයි. මුහුණු පොතේ මගේ ලිපියට සංඛ්‍යාත්මක ව වැඩියෙන් ම විරුද්ධ වන්නෙ වමාල නොව ජාතිකවාදීන්. වමාලා රටේ ඉන්නෙ  අතළොස්සයි. ඔවුන් ගැන කරදර වෙන්න අවශ්‍යතාවක් නැහැ. ඔවුන්ට මෙරට දේශපාලනයෙ කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. ජාතිකවාදී යැයි පෙන්නන්න කැමති සංඛ අමර්ජිත් ඔවුන් උස්සන්න හැදුවත් සතපහක වැඩක් වෙන්නෙ නැහැ. ඔය ඇතැමුන් දෙරණට බැන බැන දෙරණෙ වැඩ සටහන්වලට සහභාගි වෙන්නෙ තම සතුරා මගින් වුව තම මතය ජනමතය බවට පත් කිරමේ උදර පරමාර්ථයෙන් වෙන්න පුළුවන්. 


ජාතිකවාදීන්ගෙන් සියයට විසිපහක් කියන්නෙ විශාල ප්‍රමාණයක්. ඔවුන් යම් ආකාරයකින් හරි අගය කෙළෙ අගය කරන්නෙ මා දෙමළ ජාතිවාදයට විරුද්ධව ලියූ ලියන ලිපි පමණයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නෙ කිනම් අරථයකින් ද කියල දන්නෙ නැති වුණත් ඔවුන් ඒ කියමනට විරුද්ධයි. නාථ දෙවියන්ට හා නාථ දේව මණ්ඩලයට ඔවුන් විරුද්ධයි. ඒත් මෛත්‍රී බෝසතාණන් වහන්සේට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ මෛත්‍රීට. නැහැ, රනිල් වික්‍රමසිංහගෙ භාර්යාවට නොවෙයි. 


අද වන විට ඔවුන් ධම්මික වෙද මහතාටත් විරුද්ධයි. කාලි අම්මටත් විරුද්ධයි. මටත් විරුද්ධයි. මට කාලි අම්මගෙන්වත් නාථ දෙවියන්ගෙන්වත් කිසිම පිහිටක් නැහැ. අඩු තරමෙන් ළඟපාත පොඩි දිව්‍ය ලෝකෙකවත් තානාපතිකමක් දෙන්නෙ නැහැ. ඒත් මා ඔවුන් වෙනුවෙනුත් කඩේ යනවා. මට කඩේ යන එකේ ඉවරයක් නැහැ. සිරිසේන වෙනුවෙන් නැවතත් කඩේ යන්න ඕන. ඒ කඩේ යෑමත් සමග මට විරුද්ධ ජාතිකවාදීන්ගේ ප්‍රතිශතය හැත්තෑපහ ඉක්මවා යාවි. 


මට මගේ විරුද්ධවාදී දර්ශකය සූත්‍රගත කරන්න හිතෙනවා. ඒ ඒ අංශයට භාරයක් දීල (දෙවියන්ට වෙන බාර නොවෙයි, ගණිතයේ හා සංඛ්‍යානයේ කියැවෙන භාර) දර්ශකය හදල එය ඉහළ යන හැටි පහළ යන හැටි බලන් ඉන්න පුළුවන්. ඒකත් මට මහජන මුදලින් ම කර ගන්න පුළුවන්. 


එම්සීසී ගිවිසුම අත්සන් කිරීම යෙදී තිබුණෙ 2018 දෙසැම්බරයෙ. ඒ සඳහා අවශ්‍ය අවසාන රැස්වීම් ද ඔක්තෝම්බරය වෙන විට පවත්වල තිබුණෙ. එය අත්සන් කර තිබුණ නම් අද ප්‍රීති වෙන අය, විශේෂයෙන් ම  ජාතිකවාදීන්, පොහොට්ටුවාදීන් වැන්නන් මාධ්‍ය සාකච්ඡාවක්වත් පවත්වන්නෙ කොහොම ද? රනිල්ට දොස් කිය කිය ඉන්න එක හැරෙන්න වෙන දෙයක් කරන්න බැහැ. ඕන ම නම් එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන්න තිබුණ. 


2018 ඔක්තෝම්බර් 26 බොහෝ දෙනාට අමතකයි. එදා තමයි ජනාධිපති මෛත්‍රිපාල අගමැති රනිල් ඉවත් කෙළෙ. ඉවත් කරල මහින්ද රාජපක්‍ෂ අගමැති කෙළෙ. එහි වැදගත්කම බොහෝ දෙනා අමතක කරන්නෙ ඇයි ද කියන එක මට නම් තේරුම් ගන්න ටිකක් අමාරුයි. එදා රනිල් ඉවත් කෙරුණෙ නීත්‍යානුකූල ව, ව්‍යවස්ථාවට එකඟ ව. ඒ ඉවත් කිරීමට විරුද්ධ ව සුමන්තිරන් වැනි ජනාධිපති නීතිඥයන්වත් අධිකරණයට ගියේ නැහැ. යන්න බැහැ.


ඒ ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් නොකෙරුණා නම් දෙසැම්බරයෙ එම්සීසී  ගිවිිසුම අත්සන් කෙරෙනවා. එහෙම වුණා නම් අපට එම්සීසී දෙවර්ෂ පූරණය මේ වසරෙ සමරන්න තිබුණ. මා කියන්නෙ සිරිසේන ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් කෙළෙ එම්සීසී ගිවිසුම අත්සන් කිරීම වළක්වන්න නො වෙයි. ඒ වුණත් ඒ ඉවත් කිරීම නිසා මෙරට දේශපාලනයෙ වෙනස්කම් රාශියක් වුණා. එම්සීසී අත්සන් නොකිරීම එකක් පමණයි. 


ඒ දින පනහෙ ආණ්ඩුවෙන් පස්සෙ, යටත්විජිත හේරත්ගෙ මීටර පනහෙ දිවිල්ලෙන් පස්සෙ, කරුණාරත්න ජයසූරියගෙ නොපසුබට උත්සාහයෙන් පස්සෙ, රනිල් නැවත අගමැති වුණු එක ඇත්ත. ඒත් ඒ කලින් හිටි අගමැති නොව  දුර්වල අගමැති කෙනෙක්. එම්සීසී අත්සන් කිරීමට තබා එම්සීසී ක්‍රිකට් තරගයකට හෝයියා කීමටවත් ඔහුට ශක්තිය තිබුණෙ නැහැ. සජිත් හොඳ ම පරාජිතයා වීමේ වාසනාව අත්පත් කර ගත්තා. අද රනිල් පාර්ලිමේන්තුවේවත් නැහැ. සජිත් පාර්ලිමේන්තුවේ නූතන අන්දරේ වෙලා. එහෙම කියන එකත් හර නැහැ. අන්දරේ සිංහල සංස්කෘතියෙ බුද්ධිමතෙක්. 


දැන් මගේ විරුද්ධවාදීන්ගේ සංඛ්‍යාව අහස උසට නැගලා ඇති. අර දර්ශකය හදල තියා ගත්ත නම් කියල හිතෙනවා.  සිරිජාතිකවාදියා අභිධානය නැවතත් මට ලැබේවි. ඒ අතර ඊනියා තාර්කික බෞද්ධයන් කාලි අම්ම හින්දුන්ගෙ ද කියල අහාවි. බෞද්ධ දෙවියන් ඉන්නවා හින්දු දෙවියන් නැහැ, එගෙම ද? මා ඊයේ අවශෝෂණය ගැන කිවුව. මා නම් උගතකුවත් වියතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා දෙවියන් එක්ක සම්බන්ධවෙලා නැහැ. ඒත් සම්බන්ධවෙච්ච අය ගැන මා දන්නවා.