Main Logo

Tuesday 24 August 2021

කොවිඩ් 19, දැනුම, සංස්කෘතිය හා ඇතා

 

කොවිඩ් 19, දැනුම, සංස්කෘතිය හා ඇතා

 

කොවිඩ් 19 ගැන අප දන්නේ මොනවා ද? අප එතරම් දෙයක් නොදන්නා බවයි කියන්න පුළුවන්. අප ඊනියා ලෝකයක යම් යම් දේ නිරීක්‍ෂණය කරනවා කියනවා. ඒ නිරීක්‍ෂණය කරන්නෙත් බෙහෝ විට අප දන්නේ යැයි සිතන සංකල්ප කතා (ප්‍රවාද) මත පදනම් වෙලා. පොළොවට පොල් වැටෙන බව නිරීක්‍ෂණය කරන්න පොල්, පොළොව, වැටෙනවා කියන සංකල්ප තියෙන්න ඕන. අපට අහස කියා සංකල්පයකුත් තියෙනවා. අප නිල් අහස කියාත් සමහර විට කියනවා. ඒත් එහෙම නිල් පාට අහසක් අප නිරීක්‍ෂණය කරනවා ද? අහස අපේ නිරීක්‍ෂණයක් ද? අප නිරීක්‍ෂණය නොකරන දෙයක් නිරීක්‍ෂණය කරන බව කියනවා ද?

 

කොවිඩ් 19 ප්‍රභේද නිරීක්‍ෂණය කර තියෙනවා. ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා එප්සයිලොන් වශයෙන්. ඩෙල්ටාහි වර්ග නැත්නම් වික්‍රියා තුනක් හරි හතරක් හරි ගැන කියනවා. ඩෙල්ටා ඉතා වේගයෙන් පැතිරෙන බව කියනවා. කොවිඩ් නිසා හැදෙන සංකුලතා ගැන කියනවා. කොවිඩ් නියුමෝනියාවක් ගැනත් කියනවා. මාත් එය අත්විඳ තියෙනවා. කොවිඩ් නිසා මිය යන අයගෙන් සියයට තිහක් නියුමෝනියා නිසා මිය යන බව කියනවා. කොවිඩ් නියුමෝනියා හැදුණු අයගෙන් කී දෙනෙක් මිය යනවා ද කියා මා අසා නැහැ. මා අසා නැතිවාට අසා තියෙන අය ඇති. මා මරණයේ එළිපත්ත පෑගු අයෙක්.

 

ඒ කුමක් වුවත් ඩෙල්ටා පැතිරීම නවත්වන්නේ කොහොමද? මෙතෙක් කල් බොහෝ දෙනා සිතා සිටියේ රට වැහීම (ලොක්ඩවුන්) ඒ සඳහා විසඳුම කියා. එහෙත් රට වැසීමේ ක්‍රියාවලියේ මුල් තැන ගෙන හිටි ඕස්ත්‍රේලියාව හා නවසීලන්තය දැන් කියනවා රට වැහීමෙන් ඩෙල්ටා පැතිරීම වැළැක්වීමට බැරි බව. දැන් මොකද කරන්නෙ? එන්නත ගැන අප කතා කරනවා. ඒත් එන්නත ලබා ගත් අයටත් ඩෙල්ටා වැළඳෙනවා. ඔවුන්ට නොමැරී ඉන්න තියෙන ඉඩකඩ වැඩිය කියනවා. අපට මාත්‍රා තුනක් ගන්න වේවි ද? වාර්ෂික ව එන්නත් ගන්න වේවි ද?

 

මුල්ලේරියාවේ බෝවෙන රෝග පිළිබඳ රෝහලේ වෝහාරික (අධිකරණ) වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා තම පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කළ කරුණු ගැන සඳහන් කළා. අරක කෙරෙ නැහැ මේක කෙරේ නැහැ කිය කිය ඉන්න බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා වගේ නොවෙයි ඒ මහතා යමක් කරළා. කොවිඩ් නියුමෝනියාව හැදෙන එක වළක්වන්න පුළුවන් ද? එයට පිළිතුරක් ඒ මහතාට නැහැ. එහෙත් ඒ මහතා ඉතා වැදගත් දෙයක් සඳහන් කළා. වෛරසය නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට රතුලූණු සුදුලූණු කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ දේට සමහර විට  හැකියාවක් තියෙනවාද කියා  අත්හදා බලන්න පුළුවන් කිවුවා.

 

අද බටහිර ඉන්න බටහිර වෙද මහතුන් කියන දෙයින් පැහැදිලි වන්නේ කොවිඩ් ගැන එතරම් දෙයක් (කතන්දරයක්) ගොතා ගන්න බැරි වෙලා තියෙන බවයි. බටහිර වෙදකම අසාර්ථක වෙලා. එය බටහිර වෙදකමේ ප්‍රශ්නයක් නො වෙයි. බටහිර දැනුමේ ප්‍රශ්නයක්. අද එය කඩා වැටෙනවා.  බටහිර විද්‍යාව ලෝකයේ මතයක් ඇති කර තිබුණා එය ඊනියා සත්‍යය හරි සත්‍යය කරා පිය නගන හරි දැනුම් පද්ධතිය කියා. ඒත් අද කොවිඩ් 19 ගැන කතන්දරයක් නැහැ.

 

පොළොවට පොල් වැටෙන්නෙ ඊනියා ගුරුත්වාකර්ෂණය නිසා කියල නිවුටන් කතාවක් හැදුවා. ඒත් ඒ ගුරුත්වාකර්ෂණ කතන්දරය ග්‍රහවස්තු ඉර වටේ යන එකට හරියන්නෙ නැහැ. එතැනදි වෙන කතාවක් අවශ්‍ය වෙනවා. කොවිඩ් 19 ගැන ගුරුත්වාකර්ෂණය වගේ කතාවක්වත් නැහැ.

 

බටහිර විද්‍යාවෙන් වෙච්ච ලොකුම හානිය තමයි අනෙක් දැනුම් පද්ධති මිථ්‍යා කියා හංවඩු ගැහීම. චන්න පෙරේරා බටහිර වෙද මහතා කියන්නේ අනෙක් වෛද්‍ය දැනුම් පද්ධති නොසලකා හරින්න එපා කියා. එය සියල්ලන්ට ම වැදගත් පණිවුඩයක්. අනෙක් දැනුම් පද්ධති සර්ව සම්පූර්ණ කියා මා කියන්නේ නැහැ. අපේ දැනුම් පද්ධතියක් තියෙනවා. එහි ආහාර හා ඖෂධ අතර ඇත්තේ මනා සම්බන්ධයක්. ඔය ඔක්සිජන් තත්වය වැඩි කර ගැනීමටත් කරාබු නැටි කුරුඳු පොතු කහ වැනි දේ ඉවහල් වෙනවා.

 

අපේ දැනුම් පද්ධතියට අනෙක් දැනුම් පද්ධතිවලින් අවශෝෂණය කරගන්න පුළුවන්. අවුරුදු තිස්පහක් පමණ අප ඒ ගැන කිවුවා. අප මිථ්‍යා මතධාරීන්, මැට්ටන්, මෝඩයන්, පසුගාමින්, මැන්ටල කියන්නෙ නැතිව  දැන්වත් පොඩ්ඩක් හිතල බලන්න. අපේ වෙදකම ආහාර ගොවිතෑන ආධ්‍යාත්මික ගුණ වගාව ආදිය එකට බැඳිලා. අප බටහිර දැනුමේ මෙන් දැනුම් වෙන් කරන්න උත්සාහ කෙළේ නැහැ.

 

ඒ කුමක් වුවත් දැනට කියන්න පුළුවන් කාරණය තමයි කොවිඩ් 19 ගැන නිශ්චිත ව යමක් නොකියන්න කියන එක. එය කීමක් නොව නොකීමක්. ඩෙල්ටා පැතිරීම වැළැක්වීමට රට වැහීම එක ම විසඳූම තබා සාර්ථක විසඳුමක්වත් නොවන බව දැන් කියනවා. මා අහන්නේ නැහැ මෙරට ඉන්න වොයිස් කට් මාධ්‍ය සාකච්ඡා ගැන ප්‍රසිද්ධ රට වහන කල්ලිය දැන් මොකද කියන්නෙ කියා. එන්නත ගැනත් කිව  හැක්කේ එයයි. අවශ්‍ය අයට එන්නත් දීමට කටයුතු කරන්න ඕන. ඒත් එය එකම විසඳුම නොවන බව අමතක නොකළ යුතුයි.

 

අප ජීවත් වන්නේ කඩා වැටෙන ලෝකයක. ඒත් අප බලාපොරොත්තු අත්හැර ගන්න ඕන නැහැ. මෙය අලුතෙන් යමක් කිරීමට අවස්ථාවක් කර ගනිමු. අපේ සංස්කෘතියේ සුවඳ ලැබූ ඒ ගාම්භීර ඇතා අවසන් රන්දෝලි පෙරහැරේ දළදා හාමුදුරුවන්ට දිය හැකි ගෞරවය දුන්නා. ඇතා ඇඹරී තිබුණු පාවඩය සකස් කර පිය නැගුවා. ඇතා අපට දුන්නේ පණිවුඩයක්. අද අපේ සංස්කෘතිය ඇඹරිලා. එය සකස් කර ගනිමු. මට මතක් වෙන්නෙ මහගම සේකර ලියූ නන්දා මාලිනී පණ්ඩිතමානී ව නොගයන මේ සිංහල අපගෙ රටයි ගීතය.