Main Logo

Monday 30 August 2021

බටහිරයන්ගේ ඉත්තන් වූ කලා වමාලා කාලා වැමෑරීම

 

බටහිරයන්ගේ ඉත්තන් වූ කලා වමාලා කාලා වැමෑරීම

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන බව අප තේරුම් ගත්තේ කලකට පෙර. කොවිඩ් 19 සමග එය තවත් අයට පේන්න පටන් අරන් තියෙනවා. ඊනියා පශ්චාත්නූතනවාදී අදහස්වලින් පුහු මනෝ විශ්ලේෂණයෙන් පෙන්නුම් කෙළේත් ඒ කඩා වැටීමයි. අද ඇතැම් බටහිරයන් ඊනියා ජාලතන්ත්‍රවාදයක් ගැන කියවන්නේත් ඒ කඩා වැටීම පෙන්නුම් කරමින්. බටහිරයන් කියන බොහෝ දේ මෙරට ප්‍රචාරය කිරීමට සැරසී සිටින පිරිසක් ඉන්නවා. ඔවුන් සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පයයි. බටහිර පළවන අදහසක් තම්නට තේරෙන විධියට පළමුවෙන් සිංහලෙන් කීමත් බුද්ධිමත් බවේ ලක්‍ෂණයක් වෙන්න ඇති. ඔවුන් කරන්නේ කාලා වැමෑරීමක්.   ඒත් ඔවුුන් කියන දෙයක් රටට ඇහෙන්නේ නැහැ. මේ පිරිස බොහෝ විට වාමාංශික අදහස් දරණ වම්මු. වමක් නැති වුවත් වම්මු ඉන්නවා. ඒත් මේ වම්මුන් බොහෝ විට නඩත්තු කෙරෙන්නේ බටහිර ඊනියා රාජ්‍ය නොවන ආයතන මගින්. අද වමාලා වමක් නැතිව දකුණේ වමාලා වෙලා.

 

එය තේරුම් ගැනීම අපහසු නැහැ. බටහිරයන්ටත් වම්මුන්ටත් අවශ්‍ය වන්නේ ජාතිකත්වයට පහර ගසා ඒ නැති කිරීම. එබැවින් එක් කොටසක් අනෙක් කොටස නඩත්තු කරනවා. මෙය විවිධ ආයතන මගින් කෙරෙනවා. එකල මෙය කෙරුණේ ජර්මනියෙන්. මෙරට ඊනියා ශ්‍රී ලංකා පදනම් ආයතනය සෑදී ඇත්තේ ශ්‍රී ලංකා පදනම හා ජර්මන් ෆ්‍රෙඩ්රික් ඊබට් පදනම එකතු වීමෙන්. පසුව  GTZ (Deutsche Gesellschaft für technische Zusammenarbeit) නම් ආයතනයකුත් ඇති වුණා. එහි තේරුම තාක්‍ෂණික සහාය සඳහා වූ ජර්මන් නියෝජිත යන්නයි.

 

ලංකාවට විශේෂ වූ  FLICT (Facilitating Local Initiatives for Conflict Transformation (Sri Lanka)) නම්  ආයතනයක් තිබුණා. එහි තේරුම ගැටුම් පරිවර්තනය කිරීම සඳහා දේශීය මුල් පියවරවලට පහසුකම් සැපයීම යන්නයි. මේ ආයතනවලින් විවිධ කටයුතු සඳහා ඒ ඒ අයට මුදල් දුන්නා. රත්නවල්ලි නාට්‍යය නිපද වූ ගුරුගේලාටත් මුදල් ලැබුණා. මෙරට කලාවේ ආධිපත්‍යය ඊනියා වම්මුන්ට ලබා දීමට එකී ආයතන මුදල් වියදම් කළා. අපි ඒ ගැන විස්තරාත්මක ව පසුව කතා කරමු.

 

මේ ආයතන මෙරට පිහිටුවනු ලැබුයේ ඊනියා මානව අයිතිවාසිකම් හා ගැටුම් හේතුවෙන් යැයි කියැවුණා. අර FLICT  ආයතනය ගැටුම් පරිවර්තනය කියන එකෙන් අදහස් කෙළේ කුමක් දැයි පැහැදිලි නැහැ. ගැටුම් නැතිකිරීම යන අදහසක් ඉන් ලැබෙනවා කියා වමකු කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ජර්මන් ආයතනවල පසුබිමේ තිබුණේ දෙමළ ජාතිවාදය. ඔවුන්ට අවශ්‍ය වූයේ කලාව මගින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දී දෙමළ ජාතිවාදයට උඩගෙඩි සැපයීමටයි. එය කලාවේ යම් දුරකට සාර්ථක වුණා. එහෙත් දේශපාලනයේ දී ඒ අසාර්ථක වුණා. ගුරුගේලාට අමතර ව තනිතට්ටෙන් පියෑඹූ  හඳගමලා  සුළඟ එනු පිණිස හිටගත් විමුක්තිලා හා ඊනියා කලා විචාරකයන් හිටියා. කපුගේ ගේ ගීතවල ඇති ඊනියා වාම දේශපාලනය ගැන ඊනියා කලා විචාරකයන් කතා කළා.

 

ජර්මනියෙන් පසු මේ ගැටුම් හා මානව අයිතිවාසිකම් අතට ගත්තේ ස්කැන්ඩිනේවියානු රටවල්. ඉනුත් නෝර්වේ ප්‍රධාන තැනක් ගත්තා. නෝර්වේ කෙලින් ම දේශපාලනයට සහභාගි වුණා. එයට අමතර ව වමාලාට එ ඒ රටවල උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දුන්නා. නෝර්වේ තානාපති ඊට පෙර ඉන්දීය මහා කොමසාරිස් දික්සිත්ගේ කටයුතු කරගෙන ගියා. අපේ රටේ නිවට නායකයන් වූ ජේ ආර් චන්ද්‍රිකා වැන්නන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළා. රනිල් ඔවුන්ට දෙවැනි වුණේ නැහැ. දෙවැනි වුණේ නැහැ කීම වැරදියි කියා හිතෙනවා. ඔහු රට පාවාදීමට ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගියා.

 

බටහිරයන්  ලංකවේ දේශපාලනය වෙනස් කරන්න කටයුතු කළා.  ඔවුන්ට අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදයට උතුරු හා නැගෙනහිර පළාත් ලබා දීමට.  වමාලා වමක් නැති වුවත් එක හිතින් දකුණට ආධාර කළා. නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය කළා. ගීත ගැයුවා. බටහිර ව්‍යාපෘතියකට වමාලා ආධාර කිරීම පිළිබඳ හොඳ ම උදාහරණය ලංකාව වෙන්න ඕන. ඉන් පෙන්නුම් කරන්නේ ලංකාවේ වමාලාගේ බංකොළොත්බව හා ඔවුන්ගේ සිංහල බෞද්ධ විරෝධත්වය.

 

මේ ඊනියා කලාකරුවන් කියන වමාලා තම සිංහල බෞද්ධ විරුද්ධත්වය වසා ගන්නේ බොරු සමාජවාදී කතාවලින්. ලෝකයේ කොහේවත් නොතිබූ කොහේවත් කිසි දා ඇති නොවන මාක්ස්වාදී සමාජවාදයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. මාක්ස් කියන කම්කරු පංතිය ලෝකයේ කොහේවත් දකින්න නැහැ. ඊනියා භෞතිකවාදී වචන යොදා ගන්නේ නම් කම්කරු පංතිය කියන්නේ මාක්ස්ගෙ හිතළුවක් වූ මනෝමූල සංකල්පයක්.

 

අද කලාවේ ආධිපත්‍යයක් වමාලාට තිබුණත්, ඔවුන් සිහින තරු අතර වැජඹීමට පණ්ඩිත කතා කිවුවත් එය එතරම් ප්‍රශ්නයක් නොවන්නේ දේශපාලනික ව හා මතවාදී ව ඔවුන් පරාජය වී ඇති බැවින්. දෙමළ ත්‍රස්තවාදයේ පරාජයත් සමග බටහිරයන්ට ඊනියා මානව අයිතිවාසිකම්වල එල්ලෙන්න සිදුවෙලා. මංගල පින්සිරි ඔවුන්ට සහාය දුන්නා. මංගලටත් තිබුණේ සිංහල බෞද්ධ විරෝධයක්.

 

ජෙනීවා අද සිංහල බෞද්ධ විරෝධයේ මධ්‍යස්ථානය වෙලා. ඒත් අද ඊනියා වීරයන් මැරිලා. ඔවුන් කොවිඩ් අස්සෙන් කැරොල් නැටුවත් සොකරි නැටුවත් ජනතාව මුළා කරන්න බැහැ.  මේ ආණ්ඩුවේ අඩුපාඩු නැතිවා නො වෙයි. එහෙත් අද අවාසනාවකට ඇතැම් නිලධාරීන්ට සැලැස්මක් මනා කළමනාකරණයක් නැති කමත් ආණ්ඩුව පිටින් යනවා.  ලංකා සිවිල් සේවය ලංකා පරිපාලන සේවය බවට පත්වීම ගැන වෙන ම ලියන්න ඕන. ඒ වගේ ම දකුණට වැඩ කරන කලාකාර වම්මු ගැන තවත් විස්තරත් ලියන්න ඕන.