Main Logo

Thursday, 26 August 2021

අපට ලැබුණු දකුණු ඉන්දීය බුදුසසුන

 

අපට ලැබුණු දකුණු ඉන්දීය බුදුසසුන

 

ඊයේ (අගෝස්තු 25) ලිපියේ මා සඳහන් කළා අනුරාධපුර සංස්කෘතියේ සරල බව හා ප්‍රෞඪ බව ගැන. අපට බුදුදහම ලැබී ඇත්තේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩීමට පෙරයි. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර මෙරට බුදුසසුනක් පිහිටෙවුවා. රුවන්වැලි සෑය තනා ඇත්තේ අද ඒ පිහිටි  භූමියේ පිහිටි ගසක ලැගුම් ගත්තේ යැයි කියන රත්නවල්ලි නම්  යක්‍ෂයන්ගේ යැයි සිතිය හැකි දෙවඟනකට ඉවත් වීමට ආරාධනා කිරීමෙන් පසුව යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

 

මේ කතාවෙන් කියැවෙන්නේ යක්‍ෂයන් බුදුදහමට ඉඩ දී තම සාම්ප්‍රදායික ඇදහිලිවලින් යම් පමණකට ඉවත් වීමට විරුද්ධතාවක් නොදක්වා ඇති බවයි. ඔවුන් නාගයන් හා දේවයන් මෙන් බුදුදහම එක සිතින් වැළැඳ නොගත්තා වෙන්න පුළුවන්. එසේත් නැතහොත් බුදුදහම වැළඳගෙන පසු කලෙක මහා විහාරය සමග විරසකයක් ඇති වුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනට අපට නොහිතෙන දෙයක් වෙන්නත් පුළුවන්.

 

මේ ප්‍රශ්නය මගේ හිතේ නිතර දෝංකාර නැගෙන්නක්. යක්‍ෂයන් හා මහා විහාරය අතර ඇති විරසකයට හේතුව කුමක් ද? මා හඳුනන අයකු මා සමග දැනට අවුරුදු කිහිපයකට පෙර පැවසුවේ තම පියා පන්සලට නොයන බවයි. එය සාමාන්‍යයෙන් පිරිමි පන්සල් නොයෑමට වඩා වෙනස් වූවක්. තමන්ට යම් යක්‍ෂ සම්භවයක් තිබෙන බවත් මගේ මිතුරා මා සමග කියා සිටියා.

 

මහා විහාරය එනමින් හඳුන්වන්න පටන් ගත්තේ කවදා ද? එයට මහා යන්න පටබැඳුනේ කවදා ද? ඒ මිහිඳු හිමියන්ගේ හරි දේවානම්පිය තිස්ස රජුගේ හරි නම් කිරීමක් වෙන්න බැහැ. මහා විහාරය රත්නවල්ලි අතීතය අමතක කරන්න උත්සාහ ගෙන ඇති බව පේන්න තියෙනවා. රත්නවල්ලි යන්න ස්වර්ණමාලි නොවූවත් රුවන්වැලිය රුවන්මැලියක් ලෙස කිසිවකු නොකීවත් අදත් උගතුන් ප්‍රබුද්ධයන් අතර ගීත ගැයෙනවා ස්වර්ණමාලි දෙවඟනක් ගැන.

 

මහා වංසය අමනුෂ්‍යයන් ලෙස නම් කරන්නේ යක්‍ෂයන් පමණක් බව කියන්න පුළුවන්. නාගයන් ගැන එලෙස කියන්නේ නැහැ. බුදුහාමුදුරුවන් නාගයන් වෙනුවෙන් මෙරටට වැඩම කළ කතා මහාවංසයේ සඳහන් වෙනවා. දේවයන් ගැනත් ඇත්තේ සුහද ආකල්පයක්. සුමන දේවයන් සුමන සමන් නමින් දේවත්වයට නගා හිටවලා. ඒ දෙවියන්ට සමන් කියා එකතුවක් ඇත්තේත් තමන්ගේ ම කර ගැනීමට ද?

 

මා මියන්මා දේශයට පැමිණියේ බොහෝ දේ කිරීමේ බලාපොරොත්තුවෙන්. මගේ අදක්‍ෂකම නිසා වෙන්න පුළුවන් ඒ එකක්වත් ඉටුකර ගන්න බැරි වුණා. මා හිස් අතින් ආපසු එනවා. එහෙත් මගේ හිතේ දෝංකාර නැගෙන ප්‍රශ්න ගැන යම් පිළිතුරක් ගොතා ගන්න මට මියන්මාහි දී හැකි වුණා.

 

මියන්මා දේශයට නැත්නම් වඩා පැහැදිලිව කියනවා නම් පහළ මියන්මාවට බුදුදහම ලැබී ඇත්තේ අශෝක රජු දවස සෝණ හා උත්තර රහතන් වහන්සේගෙන් බව සඳහන් වෙනවා. පහළ මියන්මා කිවුවත් ඒ දේශය ස්වර්ණභූමි නමින් වත්මන් තායිලන්තය කරා විහිදෙනවා. පහළ මියන්මාවට රාමඤ්ඤ දේශය කියාත් කියනවා. එහෙත් අශෝක රජු දවස සිට පැවතෙන බුදුසමයක් ගැන කියැවෙන්නේ නැහැ. මියන්මා දේශයට නැත්නම් පහළ මියන්මාවට බුදුදහම ලැබී ඇත්තේ තුන්වැනි හතරවැනි සියවස්වල දකුණු ඉන්දියාවෙන් බවයි කියැවෙන්නේ. මේ සමග ඇති සිතියමේ ආන්ද්‍ර ප්‍රදේශය, ලංකාවේ ත්‍රිකුණාමලය (ගෝකන්න)  හා දකුණු බුරුමය පිහිටා ඇති ආකාරය සලකන්න.  පසුව විජයබා රජු දවස ලංකාව සමග සම්බන්ධකම් ඇති කර ගන්නා තෙක් රාමඤ්ඤයේ (බුරුමයේ කියා කියමු) සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ දකුණු ඉන්දියාව ඇසුරෙන්.

 

මෙහි දී ලංකාවේ මියන්මා තානාපතිතුමා මා සමග කී කරුණක් මට මතක් වෙනවා. මගේ මෝඩකමට මා එතුමාගෙන් ඇසුවා බුරුම බස හා පාලි බස අතර සම්බන්ධයෙක් තියෙනවා ද කියා. ඔහු ගත් කටට ම කිවුවේ බුරුම භාෂාවට ඇත්තේ දකුණු ඉන්දීය සම්බන්ධකම් කියා. බුරුම අකුරු ඉතා රමණීයයි. බුරුම අකුරුවල මෙන් ම සිංහල අකුරුවලත් රවුම් බවක් තියෙනවා. එය තල්පත්වල ලිවීම නිසා ගත් හැඩයක් වෙන්න පුළුවන්.

 

එහෙත් එය දකුණු ඉන්දීය ආභාසය නිසා හැඩ ගැසුණක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ම තෙලගු (ආන්ද්‍ර ප්‍රාන්තයේ)  හා කන්නඩ (කර්ණාටක ප්‍රාන්තයේ) අක්‍ෂර සමග සම්බන්ධයක් තියෙන බව බැලූ බැල්මට පේනවා. භාෂාවේදියකුට මේ ගැන අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් හොඳයි, සමහරවිට චිත්‍ර ශිල්පියකුටත් අකුරුවල හැඩය සම්බන්ධයෙන් ඒ කළ හැකි වන්න පුළුවන්. 

 

දකුණු ඉන්දියාවේ තුන්වැනි සියවසේ පමණ සිට හයවැනි සියවස දක්වා ථෙරවාදය පැවතිලා තියෙනවා. ඒ අතර මහායානය සහ තවත් ප්‍රභේදයන් තිබී තියෙනවා. දකුණු ඉන්දියාවටත් බුදුසමය මුලින් ම ලැබී ඇත්තේ මිහිඳු හිමියන්ගෙන්. උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර දකුණු ඉන්දියාවේ දහම් දෙසා තියෙනවා. එහි උන්වහන්සේ අශෝක රජුගේ  සොහොයුරකු ලෙස හැඳින්වෙනවා. කෙසේ වෙතත් බුරුමයේ මෙන් ම දකුණු ඉන්දියාවේත්  බුදුසමය ගැන කියැවෙන්නේ තුන්වැනි සියවසෙන් පසුව.

 

එහෙත් ලංකාවේ බුදුසමය ගැන මිහිඳු හිමියන් වැඩම කිරීමටත් පෙර සිට කියැවෙනවා. මෙය නොසලකා හැරිය හැකි කරුණක් නො වෙයි. හෙළ අටුවා ගැනත් කියැවෙනවා. මේ බුදදහම හා තුන්වැනි සියවසේ දකුණු ඉන්දියාවේ හා බුරුමයේ බුදුදහම අතර වෙනසක් නැති බව කියැවෙනවා. ඒ බව බුරුමයේ අනවරත රජු දවස (එනම් විජයබා රජ දවස) කළ විමසීමකින් පැහැදිලි වෙනවා.

 

තුන්වැනි සියවසෙන් පසුව ලංකාවේ  බුදුසමයේ යම් වෙනසක් සිදු වී තිබෙන බව පේනවා. එය හතරවැනි පස්වැනි සියවස්වල වර්ධනය වී තිබෙනවා. මේ වෙනස බුදුදහම සම්බන්ධයෙන් නොවෙයි. බුදුසසුන සම්බන්ධයෙනුයි. තුන්වැනි සියවසෙන් පසුව දකුණු ඉන්දියාවෙන් බුරුමයට මෙන් ම ලංකාවට ද නැවතත් බුදුසසුනක් ලැබී තියෙනවා. මේ බුදුසසුන මිහිඳු හිමියන්ගේ බුදුසසුනට වෙනස්. අපි පසු දවසක එ ගැන තවදුරටත් කතා කරමු. යක්‍ෂයන් විරුද්ධ වී ඇත්තේ මේ බුදුසසුනට බවයි මගේ විශ්වාසය.

 

මහාවංසය දකුණු ඉන්දීය බුදුසමය ගැන කියන්නේ නැහැ. එය සම්පූර්ණයෙන් ම මෙන් වහනවා. ඇතැමුන් හිතන්නේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට වූ ආක්‍රමණ නිසා එසේ ඉතිහාසය වසන් කරනවා කියා. ඒ අය ගැන දැන ගැනීමට අතිපූජ්‍ය හිස්සැල්ලේ ධම්මරතන හිමියන්ගේ දකුණු ඉන්දියාවේ බුද්ධාගම (Buddhism in South India) කෘතිය කියවන්න. එහෙත් මා හිතන්නේ වෙනත් දෙයක්. ලංකාවේ ඇත්තේ දකුණු ඉන්දියාවෙන් තමන්වහන්සේගේ පුරෝගාමින් ගෙනා බුදුසසුන බව කීමට පස්වැනි සියවස වන විට මහා විහාරය අකමැති වී ඇති බවයි පෙනෙන්නේ. ඒ වෙනුවට මිහිඳු හිමියන්ගේ ධර්ම ප්‍රචාරය ගැන විස්තරාත්මක ව කියනවා.     

 

මට මෙවැනි දේ කීමට ඉතිහාසය පිළිබඳ මා ලබා ඇති දැනුම ප්‍රශ්න කිරීම තේරුමක් නැහැ. මා ඉතිහාසය ඉගෙන ගත්තේ කණිෂ්ඨ පංතිය තෙක් පමණයි. අපේ පාසලේ එකල තිබූ ක්‍රමය අනුව නවවැනි ශ්‍රේණිය හඳුන්වනු ලැබුයේ කණිෂ්ඨ පංතිය ලෙසයි. ඉන්පසු දහවැනි ශ්‍රේණියේ දී අපි සාමාන්‍ය පෙළට පෙනී හිටියා. මා ඉතිහාසය පිළිබඳ පාසලේ කණිෂ්ඨ ත්‍යාගය නම් දිනාගෙන තියෙනවා. එහෙත් මට ඇති සුදුසුකම එය නො වෙයි. නවවැනි ශ්‍රේණියේ දී මා ලැබූ සමස්ත අධ්‍යාපනයයි. අප ඉතිහාසය වගේ ම ගණිතය භෞතික විද්‍යාව රසායන විද්‍යාවත් වෙන ම විෂය ලෙස ඉගෙන ගත්තා. ලතින් පාලි භාෂාත් ඉගෙන ගත්තා. එය සමස්ත අධ්‍යාපනයක්. පෙරපරදිග අධ්‍යාපනයක්. එවැනි අධ්‍යාපනයක් දැන් කිසිවකුට ලැබෙන්නේ නැහැ. ඒත් ඒ සියල්ලට ම වඩා වැදගත් ගුරුවරුන් අප ප්‍රශ්න කිරීමට යොමු කිරීමයි. අදත් මා ප්‍රශ්න කරනවා. ප්‍රශ්නවලට පිළිතුරු ගොතන්න උත්සාහ කරනවා.