Main Logo

Tuesday 31 August 2021

මරණ භය, එන්නත, සංස්කෘතිය හා බටහිර වෙද මහත්තුරු

 

මරණ භය, එන්නත, සංස්කෘතිය හා බටහිර වෙද මහත්තුරු

 

මිනිසුන්ට මරණ භය දැනිලා. ඒ කොච්චර ද කියනවා නම් එන්නත ලබා ගන්න ගිහින් මරා ගන්න හදනවා. මේ භය අර අත්‍යාවශය සේවා කියමින්  අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන අයට නැත්තේ මොකද කියන එක ප්‍රශ්නයක්. මෙහි බිමන් කියන්නේ විමන් කියා සමහරු කියනවා. අපේ භාෂාවේත් සමහර ඉන්දියානු භාෂාවලත් ව ම අකුරු මාරුවෙනවා.  වංග දේශය බංග දේශය නැත්නම් බංගල දේශය වන්නේ ඒ අයුරින්. ඒත් වමා කියන එක බමා වෙන්නෙ නැහැ. ඒ කොහොම වුණත් විමන් යන්නේ විමානවලින් අහසින් කියාත් කියනවා. කාට හරි කියන්න බැරි නැහැ බිමින් යන නිසා බිමන් වෙලා තියෙනවා කියාත්.

 

අත්‍යාවශ්‍ය හා අනවශ්‍ය අතර අකුරු සම්බන්ධයෙන් ගත් කල ඇත්තේ පොඩි වෙනසක්. ඒත් අර්ථය හැටියට ගත්ත ම ලොකු වෙනසක්. පුහු වීරයන්, ලොක්කන් බව පෙන්වීමට තැත් කරන බොක්කන් හා බක්කන් ආදීන් තමයි අනවශ්‍ය ගමන් අත්‍යවශ්‍ය ගමන් ලෙස පෙන්නන්නේ. ඔවුන්ට මරණ භය ඇති වන්නේ නැද්ද?

 

ආණ්ඩුවට මේ අනවශ්‍ය  ගමන් නවත්වන්න බැහැ. එහෙම කරන්න පූර්ණ ඇඳිරි නීති දැම්මත් බැහැ. පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ පොලීසිය රඳවන්න බැහැ. සුළු පිරිසක් තමයි මේ අනවශ්‍ය ගමන්වල යෙදෙන්නෙ. ඒත් ඒ සුළු පිරිස කරන හානිය අතිවිශාලයි.

 

මිනිසුන්ට මරණ භය ඇති වෙලා එන්නත ගන්න ගියත් ඇතැම් තැන්වල ඒ පිළිවෙළකට කෙරෙන්නේ නැහැ. අපට ඉංගිරිසින්ගෙන් ඉගෙන ගන්න බැරි වුණු ඒත් අද සමාජයට අවශ්‍ය ඇතැම්  දේ තියෙනවා. ඒ එකක් තමයි කළමනාකරණය. කළමනාකරණය පමණක් නොවෙයි බටහිර විද්‍යාවත් අපට ඉගෙන ගන්න බැරි වෙලා. ඒවා විශ්වවිද්‍යාලවල උගන්නන්න පුළුවන් දේ නො වෙයි. විශ්වවිද්‍යාලවල දත්ත හා තොරතුරු කියා දෙන්න පුළුවන්. ඒත් එය ඇඟට යන්නේ නැහැ.

 

මෙරට මිනිසුන් දන්නේ විද්‍යාත්මක ව අරක කරන්න මේක කරන්න කියන්න විතරයි. ඒත් බටහිර විද්‍යාවට කළමනාකරණයට හා පොදුවේ බටහිර දැනුමට අවශ්‍ය චින්තනය සංස්කෘතිය සාමාන්‍යයෙන් ආසියාතික අප්‍රිකානු රටවල නැහැ. ඉන්දියාවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ එය තරමක් තියෙනවා. මෙයින් කියන්නේ අපට පිළිවෙළක් කළමනාකරණයක් නැතිවා නො වෙයි. අපි පන්සලේ පින්කම විතරක් නොවෙයි නුවර පෙරහැර වැන්නක් වුවත් හොඳින් කළමනාකරණය කරනවා. ඒ වෙන ම සම්ප්‍රදායක, වෙන ම චින්තනයක.

 

පෝලිමේ ඉන්න එක්සත් ජනපදවල කියන්නාක් මෙන් පේලියේ ඉන්න අප දන්නේ නැහැ. මෙහි දී තම වාරය එන තුරු බලා සිටීමක් කියැවෙන්නේ. ඒ පෞද්ගලික දෙයක්. අප පන්සලේ දී සමූහයක් හැටියට ක්‍රියා කරනවා. අපේ සංස්කෘතියේ සාමූහිකත්වය පෞද්ගලිකත්වයට වඩා වැඩියි. ඒත් බටහිර ක්‍රමයට කටයුතු කරන විට පෞද්ගලිකත්වයට තැන දෙන්න වෙනව. මේ පෞද්ගලිකත්වයට තැන දීම යුරෝපයේ පහළොස්වැනි සියවසෙන් පසුව ඇරඹී දහසයවැනි සියවසේ මාටින් ලූතර් තහවුරු කළ දෙයක්. ඔය පෞද්ගලිකත්වය අපට අපේ සංස්කෘතියට අවශෝෂණය කරගන්න බැරි වෙලා. ඒ නිසා පෞද්ගලිකත්වය මුල් වෙන අවස්ථාවල අප ඇණ කොටා ගන්නවා. අද වැට ඉන්නට සහෝදරවරුන් මිනී මරා ගන්නවා. 

 

විධික්‍රමය ආදිය අපේ පොතට පතට සීමාවෙන සංකල්ප. සංස්කෘතියක නැති බාහිර දෙයක් අදාළ සංස්කෘතියට අවශෝෂණය නොකර අනුකරණය කරන්න ගිය විට අපට මුහුණ පාන්න වන ප්‍රශ්න එන්නත්කරණයේ දීත් පීසීආර් පරීක්‍ෂණවල දීත් අප දැක්කා. ජෙප්පන් හරිණි හරිමින් ඉන්නවා කියා මා මේ දිනවල හිතන් හිටියේ. එහෙමත් නැහැ. හරිණි හරිබරි ගැහෙමින් එන්නත්කරණයේ දෝෂ කීමට ඇවිත්. ජෙප්පන් කුමුදේශ්ලා සහ ඇතැම් බටහිර වෙද මහතුන් කියන දේ ම තමයි හරිණි අත හරින්නෙත්. එහි කිසිම උපදේශයක් නැහැ. මරණ භය ඇති ජනතාවගේ පෝලීම නැත්නම්  පේලිය හදන හැටි කියනවා ද?

 

ඒත් ඇතැම් බටහිර වෙද මහතුන්ට හමුදාව එක්ක මහා ඇරියස් එකක් තියෙන බව පොනවා. ඔවුන් එන්නත්කරණය තමන්ට ඉල්ලනවා. එයින් කියන්නේ බටහිර වෙද මහතුන් ජනතාවට එන්නත ලබා දෙන බව ද? මා හිතන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් ද හෙදියන් හා වෙනත් පුහුණු අය යොදා ගන්නවා ඇති. හමුදාවේත් ඒ පුහුණුව ලැබූ අය ඉන්නවා. අනෙක් අතට හමුදාච සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ හෙදියන් ද යොදා ගන්නවා. මෙහි දී හමුදාව කරන්නේ සේවාවක් සැපයීම පමණයි.

 

එන්නත්කරණය පීසීආර් පරීක්‍ෂණ කිරීම ආදිය සම්බන්ධයෙන් හමුදාවට කරන්න බැරි බටහිර වෙද මහතුන්ට වෙද හාමිනේලාට පමණක් කරන්න පුළුවන් කටයුත්ත කුමක් ද? කවුරු හරි ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙනවා ද? මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක ඉතා අමාරු සමහර විට බැරි වැඩක් බව මා අත්දැකීමෙන් දන්නවා. කමක් නැහැ උත්සාහ කරල බලන්න. පළමු නිවැරදි පිළිතුරට ඇඹිලිපිටියෙන් රන්වන් රන් තෑග්ගක් ලබා දෙනවා.

 

මෙරට හමුදාවේ නොවන බටහිර වෙද මහතුන් කොවිඩ් ගැන දන්නා දේ හමුදාවේ බටහිර වෙද මහතුන් නොදන්නේ ද? ඔය මොන බටහිර වෙද මහතාත් අද කොවිඩ් 19 ගැන දන්නා දැනුම පැය කිහිපයක් ඇතුළත බැරි නම් සතියකට අඩු කාලයක දී අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒකට කනින්හම් තබා බ්‍රවුනිං ඇන්ඩ් ජෝසෆ්වත් කියවල තියෙන්න ඕන නැහැ. බටහිර වෙද මහතුන් තමන්ට පමණක් ෆයිසර් එන්නත්කරණය ලබා දෙන්න කියන්නේ හමුදාවත් එක්ක ඇති ඇරියස් බේරා ගන්න ද? ඒත් අපි දන්නවා එන්නත්කරණය බටහිර වෙද මහතුනට පැවරූ අවස්ථාවල සිද්ධ වෙච්ච දේ.