Main Logo

Monday 23 August 2021

කොවිඩ් අස්සෙන් කැරොල්

 

කොවිඩ් අස්සෙන් කැරොල්

 

මා ඊයේ (අගේස්තු 22) ඇසූ ප්‍රශ්නයේ ඔවුන්ගේ නම් සඳහන් කළත් ඩලස් අලහප්පෙරුම පැරණි මාධ්‍යවේදියාගෙන්ගෙන් හරි අද දේශපාලනඥයන් වී සිටින එකල  සිරසේ මහාරාජා විසින් පුම්බනු ලැබූ ඊනියා මාධ්‍යවේදීන්ගෙන් හරි මා ඊනියා විද්‍යාත්මක ක්‍රමය කුමක් දැයි දැනගැනීමට අදහස් කෙළේ නැහැ. මරික්කාර් මනුෂ වැන්නන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම විද්‍යාත්මක දැයි කාට හරි අහන්න පුළුවන්.  කෙසේ වෙතත් එවැන්නකු හරි වෙනත් පඬියකු හරි අපට විද්‍යාත්මක ක්‍රමය කුමක් දැයි කියා දී නැහැ. ලංකාවේ කෙසේ වෙතත් එක්සත් ජනපදවල, එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවේ ඊනියා විද්‍යාත්මක රට වැහීමකට (ලොක්ඩවුන්) විරුද්ධ පිරිස් ඉන්නවා. පසුගිය දා මෙල්බර්න් නුවර එවැනි විශාල පිරිසක් පොලීසිය හා ගැටුණා. ට්‍රම්ප් සමහර ඊනියා විද්‍යාත්මක නිගමනවලට විරුද්ධ වුණා. ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි ඉඩක් ලැබුණොත් පසුව කියන්නම්.

 

මා පසුගිය දා කිං බානට්ගේ ලිපියක් කියෙවුවා. ඔහු එය ලියා තිබුණේ බූරුවො තුන්දෙනකුට පිස්සු මැයෙන්. බූරුවන් කවුද කියා මා කියන්නේ නැහැ. ඔවුන් බූරුවන් ද කියාත් මා දන්නේ නැහැ. ඒත් මා දන්නා දෙයක් තියෙනවා. ඇතැමුන් කොවිඩ් අස්සෙන් කැරොල් ගයනවා. ඔවුන්ට අවශ්‍ය ලංකාවේ අර කර ගන්න බැරි වුණු අරාබි වසන්තය ඇති කරන්න.

 

ලාල්කාන්ත මහත්තයා සාධාරණ මනුෂ්‍යයෙක්. ඔහු කියා තිබුණා දවසකට පීසීආර් පරීක්‍ෂණ ලක්‍ෂයක් කරන්න කියා. ඔහු පීසීආර් පරීක්‍ෂණ දෙලක්‍ෂයක් කරන්න කියා නොඉල්ලීමෙන් ඔහුගේ සාධාරණකම කැපී පෙනෙනවා. ඒත් මට දැනගන්න ඕන දෙයක් තියෙනවා. ජ වි පෙ අවුරුදු කිහිපයක් ආණ්ඩුවක සිටියා. ඔවුන් වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරන බව කිව්වා. මට දැන ගන්න ඕන එයින් වැව් කීයක් ප්‍රතිසංස්කරණය කළා ද කියල. අනුර මහත්තයාට කියන්න පුළුවන් ද?

 

පසුගිය සමයේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් කතා කළ රවි කුමුදේශ්ලා සහ තවත් අය පූර්ණ රට වැහීමක් අවශ්‍ය කියන්නේ රටේ අපනයන නැති කර රටට ලැබෙන සොච්චම් විදේශ විනිමයත් නැති කරන්න. එවිට ආණ්ඩුවට එන්නත ගේන්න තියා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නවත් බැරි වෙනවා. මේ අය බලාපොරොත්තු වන්නේ ඒ මගින් වර්ජන රැල්ලක් ඇති කර රට අරාජික කර මෙරට අරාබි වසන්තයක් ඇති කර මා කලින් කියා ඇති හතරේ කල්ලියට (එක්සත් ජනපද, ඕස්ත්‍රේලියාව, ජපානය හා ඉන්දියාව) රටට එන්න කියන්න ද? අර සෙඩෙක් ආයතනයේ සේවය කළ වර්ජක ජෝසෆ් ස්ටැලින්ටත් එහි භූමිකාවක් තියෙනවා නම් මා පුදුම වෙන්නේ නැහැ. ඒත් මට තරමක ප්‍රශ්නයක් වුණේ කාදිනල්තුමා හරියට ම මේ දවස්වල කළුකොඩි උස්සපු එක. අගෝස්තු 21 හා අප්රේල් 21 අතර සම්බන්ධය 21 වීම පමණක් ද? මාස හතරෙන් හතරට කළුකොඩි උස්සනවා ද? දෙසැම්බර් 21 නත්තලට කිට්ටු වැඩි නැද්ද? අර කොටි සංවිධානය වෙනුවෙන් වැඩ කළ බිෂොප්ලාට හා පූජකවරුන්ට කාදිනල්තුමා සමාව දුන්න ද?

 

අද ඇතැමුන් පැනියට හා ඊනියා අවිද්‍යාත්මක දේට හිනහවෙනවා. පළමු අවස්ථාවල කොවිඩ් පාලනය කළ හැකි වුණේ රට වැහීමෙන් පමණක් ද? එකල පැනිය තිබුණා. පිරිත් කීව්වා. ආධ්‍යාත්මික කටයුතු කෙරුණා, ගෙවල්වල දුම් හට්ටි ඇල්ලුවා, වෙනිවැල්ගැට කොත්තමල්ලි බිව්වා. දැන් මෙයින් කුමක් ඊනියා හේතුව වුණා ද කියා දැන ගැනීමට අර විිද්‍යාත්මක සම්පරීක්‍ෂණයක් කරමු ද? කුමුදේශ්ලා මොක ද කියන්නෙ. උදවු කරනවා ද?

 

ඒ කොහොම වෙතත් ජනාධිපතිතුමා සිසිර ජයකොඩි රාජ්‍ය ඇමතිතුමාට උපදෙස් දී තිබෙනවා ගෙවල්වලට දේශීය ඖෂධ ලබා දෙන්න කියා. චන්න ජයසුමන රාජ්‍ය ඇමතිතුමාත් එයට උපකාර කරන බවට සැකයක් නැහැ. ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. දේශීය ඖෂධ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. ඊටත් වඩා හොඳයි අපේ ක්‍රමයේ ම සිටිමින් විමධ්‍යගත ව ඒ ඒ දිස්ත්‍රික්කවල හරි තෝරාගත් ප්‍රදේශවල හරි ඖෂධ නිෂ්පාදනය කෙරෙනවා නම්.

 

අප අර අරාබි වසන්තකාරයන් නොවී රටට ඩොලර් එකතු කරන ක්‍රම ගැන හිතමු. ඩොලර් එකතු කරන්න නම් ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න ඕන. අරාබි වසන්තකාරයන් කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. අප විශාල මුදලක් ආහාර ආනයනය සඳහා වියදම් කරනවා. අද අප පරිප්පුවලට අනවශ්‍ය තරමට ඇබ්බැහි වෙලා. පරිප්පු ආනයනය කරන්න පටන් ගත්තෙ කොයි කාලෙද කියල මා දන්නෙ නැහැ. ඒත් අප පරිප්පුවලින් ඈත්වෙන්න හිතන්න ඕන. නැත්නම් හොඳ පරිප්පුවක් කන්න වේවි. අපට මුං ඇට ආදී වෙනත් ධාන්‍ය වර්ග තියෙනවා. එවැනි දේ වගා කිරීමට, ඉක්මණින් ප්‍රතිඵල ලබාගත හැකි බතල වැනි දේ ගෙවතුවල ඉන්දවන්න කටයුතු කරන්න ඕන. ඒ අතර තුනපහ ආහාරයට එකතු කරන්න. කරාබු නැටිත් හැකි අවස්ථාවල එකතු කරන්න.  කරපිංච කුරුඳු පොතු ආදිය ඉවත නොදමා අනුභව කිරීම ගුණදායකයි.  ඒත් මා කලින් කියා ඇති පරිදි වගාව කෙරෙන්න ඕන ඊනියා කෘෂිකර්ම උපදේශකවරුන් නැතුව. දේශීය ගොවිකම දන්න අය රටේ විසිරී ඉන්නවා.

 

වගාවට තැන දෙන අතර තොරතුරු තාක්‍ෂණය මගින් විදේශ විනිමය උපයා ගැනීමටත් කටයුතු කරන්න පුළුවන්. මා දන්නා පරිදි ලංකාවේ අය ඔය තාක්‍ෂණයෙහි දක්‍ෂයන්. ඔවුන් ඉන්දියානුවන් මෙන් කතා කර තම හැකියාව අලෙවි කරන්නන් නොවන්න පුළුවන්. ඒත් ආණ්ඩුවට හරි සමාගමකට හරි පුළුවන් නම් තොරතුරු තාක්‍ෂණයට අත දෙන්න අපට ඉන්දියානුවන් පරදා විදේශ විනිමය එකතු කර ගන්න හැකි වේවි.

 

වගාව හා තොරතුරු තාක්‍ෂණය ඩොලර් එකතු කිරීම සඳහා ක්‍රම දෙකක් පමණයි. තවත්  ක්‍රම තියන්න ඕන. අද කළ යුත්තේ වර්ජන කරමින් කළු කොඩි උස්සමින් පීසිආර් පරීක්‍ෂණ ගැන කියවමින් එන්නත්කරණය දුර්වල (ආසියාවේ ඉතා ප්‍රශස්ත ව කෙරෙන රටක් වුවත්) යැයි කියමින් ආණ්ඩුවට වෙට්ටු දමා අරාබි වසන්තයකට මග පාදා රට හතරේ කල්ලියට භාර කිරීම නොව ඩොලර් එකතු කරන ක්‍රම සොයා බැලීමයි.

 

ඒ අතර තවත් කරුණක් කියන්න ඕන. විකෘතිය හා වික්‍රියාව අතර ඇති වෙනස තේරුම් ගන්න ඕන. විකෘතිය (mutation) කියන්නෙ මොකක් ද වික්‍රියාවක් (strain) කියන්නෙ මොකක් ද කියන එක ඇතැම් බටහිර වෙද මහත්තුරුන්ටත් වෙද හාමිනේලාටත් කියා දෙන්න වෙලා වගේ. ප්‍රභේදය කියන එක වයිරස සම්බන්ධයෙන් යොදන්නෙ විකෘතීන්ටමයි. විකෘතියක ප්‍රභේදය කියන එක තේරුමක් ඇති දෙයක් නොවෙයි. මට තේරෙන විධියට නම් ලංකාවේ ඩෙල්ටා විකෘතියේ වික්‍රියා තුනක් තියෙනවා. හතරවැන්නක් ද තියෙන බවට සැක පහළ වෙලා තියෙනවා. අප වචන හරියට පාවිච්චි නොකළොත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වේවි.