Main Logo

Saturday 28 August 2021

රූකඩ නටවන සර්පයා

 

රූකඩ නටවන සර්පයා

 

අද විපක්‍ෂය ඇත්තේ දරුණු අර්බුදයක. එයට නායකයකු නැහැ. ප්‍රතිපත්තියකට ඇත්තේ ආණ්ඩුව මොනව කළත් එය විවේචනය කරමින් විරුද්ධ වීම පමණයි. විපක්‍ෂය කොවිඩ් 19 වැළඳී දුස්සාධ්‍ය වූවකුට වඩා අසරණයි. එක් අතකට කියන්න පුළුවන් විපක්‍ෂය කොවිඩ් වැළඳී විපක්‍ෂ නායක කාර්යාලයේ කර කියා ගන්න දෙයක් නැතිව වැටී ඉන්නවා කියා.

 

ඔවුන්ට කොවිඩ් සම්බන්ධයෙන් කළ හැකි යෝජනාවක් නැහැ. රට වහන්න කියන එක ප්‍රායෝගික නොවන දෙයක්. ඔවුන්ට උපදෙස් දෙන්න බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා කැසපට ගසා ගෙන සාරිපොට අතින් ගෙන හිටියත් ඔවුන්ටත් දෙන්න උපදෙසක් නැහැ. රට වහන්න කියන එක පුස් කෑ උපදෙසක් බව ඒ අයටත් තේරෙන්නේ නැහැ.

 

මා හිතන්නේ මේ මස අවසානය වන විට අවුරුදු තිහට වැඩි අය සියල්ලන්ට ම පාහේ එන්නත මාත්‍රා දෙක ම දී අවසන් වේවි. ඉන් සති දෙකකින් පසු කුමක් ද කරන්නේ. වර්ධක එන්නතක් (booster) දෙනවා ද? අවුරුදු දහඅටෙන් වැඩි අයට එන්නත් දීම ආරම්භ කරනවා ද? ජනාධිපතිතුමාට උපදෙස් ගන්න සිද්ධවෙලා තියෙන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද?

 

මෙරට දේශීය වෙදකමට තැනක් දීමට එතුමා තීරණය කර තිබීම වැදගත්. අද දේශීය ප්‍රතිකාර කිහිපයක් ගැන කියැවෙනවා. වයිරසය එක්කෝ බාහිර ක්‍රමවලින් (දුම්හට්ටිය ඇල්ලීම ආදියෙන්) නැති කරන්න ඕන එහෙම නැත්නම් සිරුරේ වා පිත් සෙම් තුලනය කිරීමෙන් (වෙනත් වචන නැති කමින් ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කිරීමෙන්) නැති කරන්න ඕන. ඒ අතර ආධ්‍යාත්මික ගුණවගාවත් අවශ්‍යයි. 

 

රෝගය බෝවීම වැළැක්වීම සඳහා ඉතාමත් දැඩි ව පරෙස්සම් වෙන්න ඕන. බොරු වීරයන් ලොක්කන් වීමට ගොස් රටට විපතක් කරන්න එපා. මගේ පරෙස්සමේ අඩුවක් වීමෙන් වෙන්න ඕන මටත් රෝගය වැළඳුනා. බටහිර වෙදකමේ කියන විධියට නිදන්ගත රෝග තියෙන අය වඩා පරෙස්සම් වෙන්න ඕන. මේ රෝගය මට තේරෙන විධියට වඩා වැළඳෙන්නේත් වැළඳුුනු පසු වඩා අමාරු වන්නේත් සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ කියන විධියට සෙම වැඩි අයටයි. එබැවින් සෙම වැඩි අයත් වඩා පරීක්‍ෂා වෙන්න ඕන. 

 

ඒ පුද්ගලයන් සම්බන්ධයෙන්. විපක්‍ෂයට වැළඳී ඇති රෝගයට ප්‍රතිකාර කරන්නේ කවුද? එක්සත් ජනපදවල රොබට් ඔරිස් බ්ලේක් ද? කලක් ලංකාවේ එක්සත් ජනපද තානාපති ව සිටි ඔහු මෙරට හැඳිනේවෙන්නේ රොබටො බ්ලේක් ලෙස. ඔහු දකුණු හා අග්නිදිග ආසියාව පිළිබඳ විශේෂඥයෙක්. විපක්‍ෂයට වැඩි වාතය ද පිත ද සෙම ද? කවුද කිවුව විපක්‍ෂය වාතයක් කියලා. 


ඒ කොහොම වුණත් විපක්‍ෂයේ වෛද්‍යවරයා කවුරුන් වුණත් නැවතත් සර්පයා තුඹසෙන් එළියට ඇවිල්ල. මේ සර්පයා රූකඩ නැටවීමට ද සමත්. සර්පයාට ඇත්තේ එක ම එක ප්‍රතිපත්තියක් පමණයි. කෙසේ හෝ බලයට පත්වීමයි. ඒ සඳහා මිනිසුන් රූකඩ මෙන් නැටවීමටත් අවශ්‍ය තැන දී දෂ්ට කිරීමටත් ඔහු සමත්. සර්පයා වැඩ කරන්නේ විපක්‍ෂයට නායකත්වය දීමේ අරමුණෙන්. ඒ සඳහා ඔහු අද විවිධ පැතිවල බඩගානවා. 

 

ඔහු දේශපාලනය පටන් ගත්තේ ඊනියා නිර්ධන පංති වමෙන්. පසුව ඔහු ජාතිකත්වයට නැඹුරු වුණා. කෙටිමං සොයන ඔහු සිඳුලා මෙන් හඳට අපේ ගමින් අඩි පාරවල් හොයන්නකු නො වෙයි. සිඳු නාට්‍යයේ රූකඩ මාමා මෙන් අහිංසකයකු ද නොවෙයි. ඔහු අනෙක් අයගේ ගෙලෙහි මාල බැඳ ගෙල කපා දා මාල ආපසු ගන්නෙක්. මළ තැනැත්තා දන්නේ නැහැ මාලයට  කුමක් වුණා ද කියා. ජාතිකත්වය අත්හැර ඔහු ඊනියා පශ්චාත්නූතනවාදීන්ගේ මාතොටට කෙලින් ම එකතු නොවුණත් මාතොට ගියා. ජාතියට මාල දැමූ ඔහු ජාතියේ ගෙළ සිඳින්න උත්සාහ කළා. ඔහු සිතුවේ ජාතිය මැරිලා කියා. ඒ නිසා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. 


ශ්‍රී ල නි පක්‍ෂය සමග ඇයි හොඳයිකම් පැවැත්වීමෙන් බලයට පැමිණීමට නොහැකි බව තේරුම් ගත් ඔහු රණසිංහ ප්‍රේමදාස අනුව යමින් එ ජා පක්‍ෂයත් සමග ගණුදෙනු කරන්න පටන් ගත්තා. රනිල්ගේ නායකත්වය පිළිගත්තා. ඒත් අද මාතොට නැහැ, පශ්චාත්නූතනවාදය පශ්චත්තාප ව සුසුම් හෙළනවා. රනිල් ලෙව්කේ මුදලි මෙන් පාර්ලිමේන්තුවේ තනිවෙලා. ඔහුගේ නීරස විහිළුවලට හිනහ වෙන්නවත් කිසිවකු නැහැ. සර්පයා නිතර හැව අරිනවා. ඒ හැව සමහර විට සිවූරු හැඩේ. තවත් සමහර විට ලෝගු හැඩේ. ඒත් දළ එහෙමමයි.  

 

අද දේශීය වෙදකමට නව පණක් ලැබීමත් සමග සර්පයා නැවතත් ජාතික සංවිධාන දෙස බලනවා. ඒ සඳහා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් සාකච්ඡා කරවනවා. ඒ අතර තම පැරණි සගයන් එකතු කර ගන්න උත්සාහ කරනවා.  ඒ එක් පැත්තක්. අනෙක් පැත්තෙන් ඔහු පල්ලියට ඇදී ගිහින්. ඔහු පල්ලිය සමග සම්බන්ධකම් පවත්වන්නේ අද ඊයේ නො වෙයි. ඔහුට පේරුලන්ද වගේ ම කොල්ලුපිටියත් හුරුයි. ඇත්තට ම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කවුද?

 

පාස්කු ප්‍රහාරය ගැන මා ඒ දිනවල ම ලියා ඇති. එය අවසාන වශයෙන් ගත්ත ම චීන නව සේද මාර්ගය කඩා කප්පල් කරන්න ගත්ත එකක් ලෙසයි මට පෙනෙන්නෙ. ඒක පිටිපස්සෙ රොබට් ඕ බ්ලේක් ඉන්නවා කියා මා කියන්නේ නැහැ. එහෙම කියන්න මට සාක්‍ෂි නැහැ. ඒත් මට එකක් කියන්න පුළුවන්. කවුරු කළත් ඒ පාස්කු ප්‍රහාරය සිදු කරන්න ලංකාව තෝරා ගත්තේ යහපාලන ආණ්ඩුවේ දුර්වලකම නිසා. ඒ වන විට යහපාලනය අපේ බුද්ධි අංශ අඩපණ කරලා. ඉන්දියාවෙන් ලැබුණු තොරතුරුවත් ප්‍රයෝජනයට ගන්න බැරි වුණා.  යහපාලනය කෙළේ ඇතැම් බුද්ධි අංශ ප්‍රධානීන් හිර ගෙදර යැවූ එකයි. සර්පයා ඒ දිනවල සිරිකොතේ. යහපාලනයේ වැඩවලට සර්පයාත් වග කියන්න ඕන. ඒ තේරුමෙන් පාස්කු ප්‍රහාරයට ඔහුත් වග කියන්න ඕන.

 

පාස්කු ප්‍රහාරය ගැන හොඳට හොයන්න ඕන. ඒක කඩිමුඩියේ කරන්න පුළුවන් දෙයක් හරි ඕන දෙයක් හරි නො වෙයි. එයට මුස්ලිම් අන්තවාදය යොදා ගෙන තියෙනවා. මුස්ලිම් අන්තවාදය යොදා ගත්තේ කවු ද? අප මේ සියල්ල දැන ගත යුතුයි. පාස්කු ප්‍රහාරය ගැන පරීක්‍ෂණ ඉක්මන් කරන්න කියන්නේ කවුද? කොල්ලුපිටියෙන් එන බලපෑමක් ද? අර පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍ය  සංදර්ශනයක් පැවැත් වූ තරුණයා කවු ද? ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් කවුද


මා කොවිඩ් නිසා මරණයේ එළිපත්ත පාගා පැමිණි අයකු වුණත් මැරී උපන්නකු නො වෙයි. ඔය එක් නීතිඥයකු ගැන මා දන්නේ ඔහු ශිෂ්‍යයකු වී සිටි කාලයේ සිට. ඔහු මට විරුද්ධව එක් මන්ත්‍රීවරයකු ලවාත් නඩුවක් දැම්මෙවුවා. මන්ත්‍රීවරයා අද කොහේ ද කියා දන්නේ නැහැ. ඒ මන්ත්‍රීවරයා 2015 දී ඊනියා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා මහින්දලා අධෛර්යමත් කරන්න උත්සාහ කළා.

 

සර්පයා කොල්ලුපිටියේ පල්ලිවල ඇදෙනවා දකින්න පුළුවන්. පස්කු ප්‍රහාර පරීක්‍ෂණය ඉක්මන් කරන්න කියන්නේ ආණ්ඩුවට පහර දීම සඳහා පමණයි. අද බටහිර බලවතුන් විවිධ ආකාරයෙන් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා. සර්පයා මෙන් ම සර්පයාගේ මව් කුසත් යොදා ගන්නවා. වර්ජනත් කරවනවා. කොවිඩ් අස්සෙන් සමහරු එක විට කැරොල් ද සොකරි ද නටනවා.