Main Logo

Monday 1 November 2021

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

ලෙනින් මෙහෙයවූ ධනවාදී ඔක්තෝම්බර් විප්ලවය

 

මේ ලිපිය ඔක්තෝම්බර් 29 වැනි දා පළවූ වමාලාට වම නැති වීම ලිපිය හා සම්බන්ධයි. පනස් හයේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. එදා තිබූ ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුව පිහිටුවා බණ්ඩාරනායක මහතා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කෑමයි. ඒ තමයි සිංහල බෞද්ධ අච්චාරු සංස්කෘතිය. සිංහලයන්ට සංස්කෘතික අවශෝෂණය තේරෙන්නේ නැහැ. ඔවුන් අනුකාරකයන් පමණයි. කඨින පෙරහැරේ මැණිකේ මගේ හිතේ වාදනය වන්නේ ඒ අනුවයි. අද බොහෝ පෙරහැරවල කාවඩි නටනවා, වෙන වෙන ගීතත් වාදනය කෙරෙනවා. ඒ සම්න්ධයෙන් වරදකරුවන් අතරට මෙරට බොහෝ සංගිතඥයන් කියන අය ද එක්වෙනවා. ඔවුන් කරන්නේ ලෝකයේ විවිධ සංගීත අනුකරණය කිරීම පමණයි. ඊනියා සාහිත්‍යකරුවන් හා විද්‍යාඥයන් ද කරන්නේ අනුකරණය පමණයි. අප රටින් නිර්මාණශීලීන් නැති වී බොහෝ කල්.

 

මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවත් අච්චාරුවක්. එහි විවිධ මතිමතාන්තර තිබුණා. වමෙන් එකතු වූ ඊනියා සමාජවාදී අදහස් ද එහි තිබුණා. එය ඇතැම් විටෙක වාමාංශික ආණ්ඩුවක් ලෙස ප්‍රගතිශීලි ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලැබුවා. ශ්‍රී ල නි ප ජාතිකත්ව පක්‍ෂයක් වුණත් එයත් ප්‍රගතිශීලි ලෙස සහතිකයක් ලබා ගත්තා. එ ජා පක්‍ෂය ප්‍රතිගාමි වුණා. ප්‍රගතිය කියන එකෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න අදත් බොහෝ දෙනකු දන්නේ නැහැ. මාක්ස්වාදී සමාජවාදය ඇති වෙන්නෙ ධනවාදය වර්ධනය වීමෙන් පසුව. ඒ නිසා ධනවාදී දියුණුවත් ප්‍රගතියක් වෙන්න ඕන.

 

ඒ කොහොම වුණත් ලෝකයේ කිසිම ඊනියා දියුණු රටක අර කම්කරු පංති විප්ලවය ඇති වුණේ නැහැ. වැඩවසම් සාර් රුසියාවෙත් ඇති වුණේ නැහැ. මේ දිනවල සිහි කරන ඔක්තෝම්බර් (විප්ලවය ඔක්තෝම්බර් වුණෙ  රුසියාවෙ විසිවැනි සියවස මුලත් භාවිතා වූයේ ජුලියන් දින දර්ශනය නිසා. එය ග්‍රෙගරියානු දින දර්ශනය අනුව සිදු වුණෙ නොවැම්බරයෙ) විප්ලවය  මූලික වශයෙන් ගත් කල ධනවාදී විප්ලවයක්. රුසියන් වැඩවසම් ක්‍රමය නැති කර රුසියන් ජාතික චින්තනයට අනුකූලව ධනවාදය ඇති කිරීම තමයි ලෙනින්ගෙ බෝල්ෂෙවික් පක්‍ෂය කෙළේ. මේ රුසියන් ජාතික චින්තනය කියන යෙදුම අන්ද්‍රයෙප් නමැත්තකුගෙන් ගත් එකක්. අමරසේකර ඒ අදහස තමයි මෙරටටත් ජාතික චින්තනයක් අවශ්‍යයි යනුවෙන් කතාබහට ලක් කෙළෙ. අන්ද්‍රයෙප් සඳහන් කෙළෙ නැහැ ලෙනින් ධනවාදයක් ඇති කළා කියල. බොහෝ දෙනා අදත් හිතන්නෙ ලෙනින් ඊනියා සමාජවාදී රජයක් පිහිටෙවුවා කියල.

 

ඒත් ට්‍රොට්ස්කි ඒක නිකම් ම පිළිගන්න කැමති වුණෙ නැහැ. මාක්ස්වාදී සමාජවාදය ඇති වෙන්න ඕන ධනවාදය වර්ධනය වුණාට පස්සෙ. යුක්රේනියානු යුදෙවු බුද්ධිමතකු වූ ට්‍රොට්ස්කි ධනවාදය නැතුව සමාජවාදය ඇති කිරීම ගැන අලුත් කතාවකුත් ගෙතුවා. එය නොනවතින විප්ලවය නමින් හැඳින්වෙනවා. ඉතා කෙටියෙන් කිවුවොත් ඉන් කියැවෙන්නෙ ධනවාදය බිහි වීම ප්‍රමාද වූ රටක කම්කරු පංතියට බලය ලබා ගැනීමට අවශ්‍ය වන බව. කම්කරු පංතියට සිදු වෙනවා ධනවාදී විප්ලවය ද කිරීමට.

 

මාත් කලක් ට්‍රොට්ස්කිවාදියෙක්. මා හිතන්නේ ලියොන් ට්‍රොට්ස්කි යම් දෙයක් තේරුම් ගන්නට උත්සාහ කළා කියලයි. ඔහු තම නොනවතින විප්ලව කතාව (ප්‍රවාදය) සමග තනි රටක සමාජවාදය ඇති වීම ගැනත් කිවුවා. ඔහු කියා සිටියේ රුසියාව වැනි රටක සමාජවාදය ඇති වීමට නම් අර සාම්ප්‍රදායික මාක්ස්වාදය අනුව ගොස් ඊනියා දියුණු රටවල කම්කරු පංති විප්ලවය සිදුවිය යුතු බව. ජෝසෆ් ස්ටැලින්ට එවැනි තේරුම් ගැනීමක් අවශ්‍ය වුණේ නැහැ. කොයි ජෝසෆ් ස්ටැලින්ටත් තේරුම් ගැනීමේ වුවමනාවක් නැහැ. ඔවුන් වැඩ පෙන්නන්න හදන වැඩ බැරි ටාසන්ලා. කෙහොම හරි ඊනියා දියුණු රටවල කම්කරු පංති විප්ලවය ඇති වුණේ නැහැ. ස්ටැලින්ගෙ ඊනියා සමාජවාදය ඇති වුණෙත් නැහැ.

 

ට්‍රොට්ස්කි මාක්ස්වාදියෙක්. ඔහුට රුසියන් විප්ලවය මාක්ස්වාදය අනුව තේරුම් ගන්න අවශ්‍ය වුණා. ලෙනින්ට එහෙම වුවමනාවක් තිබුණෙ නැහැ. කෙසේ වෙතත් ට්‍රොට්ස්කි කී දෙය අපට අද වෙනත් ආකාරයකින් තේරුම් ගන්න පුළුවන්. මාක්ස්වාදය පට්ට ම පල් බොරුවක්. ට්‍රොට්ස්කිට එය ගලවා ගන්න බැහැ. රුසියාවෙ සිද්ධ වුණෙ ධනවාදය ඇති වීම ප්‍රමාද වූ රටක රජය මැදිහත් වී ධනවාදය ඇති කිරීමයි. එයට රාජ්‍ය ධනවාදය කියනවා ද වෙනත් නමක් කියනවා ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. ධනවාදය ඇති කිරීම සඳහා ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්‍ෂය රාජ්‍ය බලය අතට ගත්තා. අද පුටින් රුසියාවෙ ජාතික චින්තනය අනුව ධනවාදය ක්‍රියාත්මක කරනවා. ඔහුට තියෙන ධනය ගැන අර පැන්ඩෝරා පත්‍රිකාවල තියෙනවලු. 

 

මා මේ කියන දෙය ඊනියා සමාජවාදීන් පිළිගන්න එකක් නැහැ. ඇතැමුන් හිතන්නෙ ශ්‍රී ල නි පක්‍ෂයත් සමාජවාදී පක්‍ෂයක් කියල. එය ජාතිකත්ව පක්‍ෂයක්. ඒ පක්‍ෂය ඇති වීම නිසා මෙරට වම නැති වුණා. සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට අනාගතයක් නැති වුණා. මෙරට ඉතිහාසයේ 1964 වැදගත් වර්ෂයක්. එ අවුරුද්දෙ තමයි ලංකා සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වී සභාග ආණ්ඩුවක් පිහිටෙවුවෙ. සමසමාජ කොමියුනස්ට් පක්‍ෂවලට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. පක්‍ෂවල ආයුෂ ඉවර වෙලා.

 

1964 සමසමාජ පක්‍ෂය සභාග ආණ්ඩුවකට යෑම ඇතැම් සුපිරි විප්ලවවාදීන්ගේ විවේචනයට ලක් වුණා. එඩ්මන්ඩ් සමරක්කොඩි මෙරිල් ප්‍රනාන්දු බාලා තම්පො වැනි අය සමසමාජ  පක්‍ෂයෙන් ඉවත් වුණා. ඔවුන් විප්ලවවාදී පක්‍ෂය ගොඩ නගන්න උත්සාහ කළා. විප්ලවවාදී පක්‍ෂය ගොඩ නොනගා ම ඔවුන් මිය ගියා. විජේ ඩයස් ඒ වැඩේ දිගට ම කරගෙන යනවා. ඔහුට දීර්ඝායුෂ පතනවා. සමසමාජ පක්‍ෂය මෙන් ම කොමියුනිස්ට් පක්‍ෂයත් සභාගයට කිට්ටු වුණා. ෂන්මුගදාසන් වැනි කොමියුනිස්ට්වාදීන් චීන කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගත්තා විප්ලවය කිරමට.

 

ට්‍රොට්ස්කිවාදී හා ස්ටැලින්වාදී සුපිරිවිප්ලවවාදීන් මේ කැඩීමෙන් පසු දෙවිධියකටයි විප්ලවය කරන්න ගියේ. අපි එය පසු දවසක කතා කරමු. සමහරු තවමත් විප්ලවය හොයනවා. සමහරු නම් විප්ලවය අත්හැරලා.