Main Logo

Tuesday 16 November 2021

ස ජ බ පැටලීම

 

ස ජ බ පැටලීම

 

මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා. ඒ වැරදි නිවැරදි කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කුමක් වුණත් අප ආණ්ඩුව පෙරළා දාන්න ඕන ද? ආණ්ඩුව පෙරළා අප බලයට පත් කර ගත යුත්තේ කවුරුන් ද? පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබුණා මේ ආණ්ඩුව ප්‍රතික්‍ෂෙප කරනවා නම් හිටපු අය පත් කර ගත යුතු නැහැ කියල. ඇතැමුන්, ඒ කියන්නෙ ජ වි පෙ හිතවාදීන් හිතුවෙ ඒ ජ වි පෙ බලයට පත්කරන්න කිවුව කියලා. එහෙම හිතා ගත්තට කමක් නැහැ. කාටත් හීන දැකීමේ අයිතිය තියෙනවා.

 

ජ වි පෙ නායක අනුර රනිල්දාස කියල තියෙනවා ඔවුන් අතිනුත් වැරදි සිදුවෙලා තියෙනවා කියා. ඒ වැරදි මොනවා ද කියා ඔහු කියා නැහැ. ජ වි පෙරමුණ එක්ක විවිධ කාලවල හිටි අය අද දේශපාලනයේ ඉහළ තැන්වල ඉන්නවා. ඇමතිවරුන් හිටපු ඇමතිවරුන් ඒ අතර ඉන්නවා. අනුර රනිල්දාස කියන්නෙ ජ වි පෙ වැරදි කරල තියෙන්නෙ ඒ අය ජ වි පෙරමුණෙන් ගියාට පස්සෙ කියලා ද? ඒත් ජ වි පෙ වැරදි කරල තියෙන්නෙ එය පිහිටුවපු දවසෙ ඉඳල ම. ඒ කාටවත් ඒ වැරදිවලින් බේරෙන්න බැහැ. 

 

විජේවීර කියපු නිර්ධනයන්ට රාජ්‍ය ක්‍රමය වෙනස් කරනවා තියා ආණ්ඩුවක් වෙනස්කරන්නවත් බැහැ. ධනපති ක්‍රමය ඇති කෙළෙ කිසිවක් නැති අය නො වෙයි. විජේවීර විප්ලව කරන්න නිර්ධනයන් හොයා ගෙන ගියෙ ඔහු තම බුද්ධියේ තරමට මාක්ස්වාදය තේරුම් ගෙන හිටි ආකාරයට. පොලීසිවලට ගහල එක දවසෙන් විප්ලව කරන්න කල්පනා කිරීම ම බුද්ධිමත් ක්‍රියාවක් නො වෙයි. 1971ත් 1987-89 කාලයෙත් සිදුවුණෙ ජන ඝාතන පමණයි.

 

ඊනියා විප්ලවවාදීන් (කලක් - අවුරුදු දහඅටක් පමණ - මා ද ඒ ගණයට ඇතුල් වුණා) හිතාගෙන හිටියට කොහේවත් නැති කම්කරු පංතියකට ධනපති ක්‍රමය පෙරළා දාන්න පුළුවන් කමක් නැහැ. ලෝකෙ කොහේවත් එහෙම පෙරළා දැමීමක් වෙලා නැහැ. ඔය වෙලා තියෙනවා කියන ලෙනින්ගෙ මාඕගෙ කස්ත්‍රෝගෙ විප්ලව ධනවාදී රාජ්‍ය නොතිබි රාජ්‍යවල ධනවාදය ඇති කරන්න කරපු විප්ලව පමණයි. විජේවීරටවත් ඩිව් ගුණසේකරටවත් තිස්ස විතාරණටවත් වෙනත් කාටවත් මෙරට කරන්න විප්ලවයක් තිබුණෙ නැහැ. ඉංගිරිසින් අපට ධනවාදය බලයෙන් පටවල තිබුණෙ.

 

ජනාධිපති වෙනත් පිරිසක් බලයට පත්කරන්න කීමෙන් අදහස් කෙළෙ ජ වි පෙ බලයට පත්කරන්න කියන එක නම් නො වෙයි. ජ වි පෙ හිතවාදීන් එහෙම හිතා ගත්තට කමක් නැහැ. අනෙක් අතට ජ වි පෙරමුණත් මෙරට ආණ්ඩුවලට සහභාගි වුණු පක්‍ෂයක්. ඔවුන් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ හිටියා. අර වැව් දාහ තාම හදනවා. රනිල්ගෙ ආණ්ඩුවෙත් පැත්තෙන් හිටියා. රනිල්ගෙ ආණ්ඩුව වෙනුවෙන් යටත්විජිත මොන තරම් දෙයක් කළා ද?  එදා අර දින පනස්දෙකේ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් භාර දීමට යටත්විජිත පාර්ලිමේන්තුවෙ දිවුව දිවිල්ල ම මදැයි.

 

දැන් නම් ජ වි පෙ රනිල්ගෙන් විතරක් නොවෙයී සජිත්ගෙනුත් ටිකක් ඈත්වෙලයි ඉන්නෙ. ජ වි පෙ අද ස ජ බ සමග කොළඹ එන එකක් නැහැ. සජිත්ගෙ ස ජ බ මහා දේශප්‍රේමින් වෙලා. අද යම් පිරිසක් ආණ්ඩුව එක්ක කළකිිරිල. ඒ නිසා තරමක පිරිසක් කොළඹ එක්ක එන්න අමාරු වෙන එකක් නැහැ. ස ජ බ කට්ටිය රට වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් ලෑස්තියි. ඒත් ඒක ගන්න කවුරුන්වත් නැහැ. සිරිසඟබෝ රජුට නම් දුගියකු හිටියා.

 

ස ජ බ මේ සියල්ල කරන්නෙ ජනතාවට තියෙන සැලකිල්ලට මිසක් බලයට තියෙන කැමැත්තකට නොවෙයි කියාවි. ඔය හැමෝ ම කියන්නෙ බලය ගන්නෙ ජනතාවට සේවය කරන්න කියා. චම්පක ඒ දවස්වල ඉඳන් ම කියන්නෙත් බලය ගන්න ඕන බව. ඔහු මා කෙරෙන් පිරිස් බින්දෙවුවෙ මා බලය ගැනීම සඳහා දේශපාලනයක් නොකරන බව කියමින්. දේශපාලනය කරන්නෙ බලය ගන්න ම නො වෙයි. මොන දේශපාලනයටත් මතවාද අවශ්‍යයි.

 

අද තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නයක්. ස ජ බ සාමාජිකයන් අනුගාමිකයන් ඒකෙ වාසිය ගන්න බලනවා. පිරිපහදුව වහල තියෙන්නෙත් ඩොලර් නැති කම නිසා. ඒක වහපු පළමු වතාව කියල කී තැනැත්තා දැන් කියනවා වැඩියෙන් ම වහලා තියෙන්නෙ වර්තමානයෙ කියල. ඔහු ඉන්නෙ රනිල් එක්ක ද නැත්නම් සජිත් එක්ක ද කියන එක වැදගත් නැහැ. අද දේශපාලනයෙ ඉන්න අයත් එක්ක චේතිය රජුට තරග කරන්න බැහැ.

 

මෙරට ජනතාවට විචාරයක් නැහැ. ඔවුන් උගතුන්. පිරිපහදුවෙන් අප ගන්නෙ ඉන්ධන සුළු ප්‍රමාණයක්. පිරිපහදුව වැහුව කියල ඉන්ධන හිඟයක් ඇති වෙන්නෙ නැහැ. ඒත් ජනමාධ්‍ය විශේෂයෙන් ම සමාජයීය මාධ්‍ය නිසා උගතුන් කලබල වෙලා. වාහන හිමියන් තම ටැංකි තෙලෙන් පුරවනවා. එවිට ඉන්ධන හිඟයක් ඇති වෙනවා.  සමහරු වෙනත් තෙලකින් ද පුරවා ගන්නවා. ඔවුන් හිතන්නෙ ඒක ලොකු දෙයක් කියලා.

 

මා ඊයේ (නොවැ 15) කී පරිදි ඩොලර් ප්‍රශ්නයට රනිල්ල ප්‍රේමදාසල ජේ ආර්ල සේනානායකලා කොතලාවල ආදීනුත් වග කියන්න ඕන. වසංගතය මගින් ප්‍රශ්නය උග්‍ර කෙරුණා පමණයි. වසංගතය නාවත් තව අවුරුදු කිහිපයකින් ඩොලර් ප්‍රශ්නය එන්න තිබුණෙ. අපි ණයට කන ජාතියක්. අපේ තේමා පාඨ වන්නෙ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා, නැව ගිලුනත් බෑන් චූන් ආදිය. අපට චූන් පාන් පිහිටයි.  වමත් (දැන් වමක් නැහැ. එකල තිබූ වම) මෙයට වග කියන්න ඕන. අපි ආණ්ඩුවෙන් හැම දේ ම බලා ඉන්න පිරිසක්. ඊනියා සුබසාධන රාජ්‍යය කියන්නෙ අප නැති කරන රාජ්‍යයක්. වම අපට පුරුදු කෙළෙ ඊනියා අයිතිවාසිකම් දිනා ගන්න මිසක් යුතුකම් ඉටු කරන්න නො වෙයි.

 

ස ජ බ අද කොළඹට එන්නෙ තමන්ටත් විරුද්ධ ව.  අද තියෙන පෝලිම්වලට හැමෝ ම වග කියන්න ඕන. ජේ ආර්ලා රනිල්ලා සජිත්ලා වැඩියෙන් වග කියන්න ඕන. සජිත්ලාට පැටලීමක් වෙලා. තමන්ට ම විරුද්ධ ව වැටලීම් කරන අය ඉන්නවා ද? බණ්ඩාරනායක මැතිණිය ඇති කළ කර්මාන්තශාලා වැහුවෙ ජේ ආර්ලා ප්‍රේමදාසලා හා දුව දුව ගිය චන්ද්‍රිකා දුව. ස ජ බ යම් විධියකින් බලයට පත් වුණොත් ඩොලර් ප්‍රශ්නය විසඳන්නෙ කොහොම ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසි සහිත ව ණය අරගෙන ද? අර කර්මාන්ත ශාලා වැහුවෙ කාගෙ උපදෙස් මත ද?

 

විවිධ පට්ට කාණු ආර්ථික විද්‍යාඥයො ජනමාධ්‍යයට ඇවිත් සංදර්ශන පසවත්වනවා. ඒත් ඔවුන්ටත් ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නැහැ. බණ්ඩාරනායක මැතිණියගෙ කාලෙ වගේ පෝලිම් යුගයකට යන්න ද හදන්නෙ කියල කොළඹ කුලපති හාමුදුරුවො අහනවා. උන්වහන්සෙ කොළඹ කුලපතිකමට සුදුසු බව ඒකෙනුත් පැහැදිලි වෙනවා. එදා පෝලිම්වල හිටිය නම් අද පෝලිම්වල ඉන්න වෙන්නෙ නැහැ.

 

ස ජ බ යළි ඉපදිලා (බෝන් අගේන්) ද?  අපි නම් මැරිල ඉපදිලා නැහැ. කිරිඇල්ල නීතිඥයෙක්. ඒත් ඔහු පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වූ බවක් කිසිවකු කියන්නෙ නැහැ. අද සාමාන්‍ය පෙළ අසමත් කී දෙනකු නීතිඥයන් ආචාර්ය උපාධිධාරීන් වෙලා ඉන්නවා ද? පාර්ලිමේන්තුවේ ම කී දෙනකු ඉන්නවා ද? මන්ත්‍රීවරයකු වෙන්න සාමාන්‍ය පෙළ සමත් විය යුතු යැයි මා කියන්නෙ නැහැ. මන්ත්‍රීිකමට අවශ්‍ය වෙනත් සුදුසුකම්. ඒ මොකක් වුණත් කිිරිඇල්ල හොඳ මනුස්සයා. ඔහුට බොරු කියන්නෙ නැති දිවක් තියෙනවා. ඔහු පාර්ලිමේන්තුවෙ දි පිළිගත්තා පර්පෙචුවල් සමාගමේ හොර සල්ලි තිබුණ බව. හොර සල්ලිත් ඩොලර් ප්‍රශ්නයට හේතුවක්. කිරිඇල්ල කොහොමත් පටලවා ගන්නවා.  ස ජ බ පැටලීමට ආණ්ඩුවේ නොවන ජනමාධ්‍ය හොඳ ප්‍රචාරයක් දේවි. ජනමාධ්‍යවේදීන් මධ්‍යස්ථ මතධාරී පඬියන්. ස ජ බ පැටලීම ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් දැක ගැනීමට මා බලා සිටිනවා.