Main Logo

Wednesday 17 November 2021

ඩොලර් වෙනුවෙන් තොණ්ඩුව දා ගන්නවා ද?

 

ඩොලර් වෙනුවෙන් තොණ්ඩුව දා ගන්නවා ද?

 

අපට ඇත්තේ අනෙක් අයගේ වැරදි කියන සම්ප්‍රදායක්. එය අපේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා. සිංහල සංස්කෘතියට විරුද්ධ ව කතා කරන අය අතරත් ඒ අගුණය තියෙනවා. ඒ අය අතර ඇතිවන ඊනියා සංවාදවල දී කෙරෙන්නේ අනෙක් අයගේ වැරදි පෙන්වීමයි. අනෙක් අයගේ වැරදි පෙන්වන එක වරදක් නො වෙයි. වරද එසේ වැරදි පෙන්වා ඒ වැරදි නිවැරදි කර ගැනීමට නොව අනෙකාගේ දොස් දැකීමට පමණක් කටයුතු කිරීමයි.

 

අප ගෙවල් හැදීමක දී එක් කාර්මිකයකු අස්කර වෙනත් අයකු සේවයට ගතහොත් දෙවැන්නා කරන පළමු කාර්යය පළමුවැන්නාගේ දොස් දැකීමයි. එලෙස දොස් දැකීම දේශපාලනඥයන් අතර බහුලයි. විරුද්ධ පක්‍ෂය කියන්නේ ආණ්ඩු පක්‍ෂයට විවේචනාත්මක සහාය දෙන කණ්ඩායමකට නොව ආණ්ඩු පක්‍ෂය පතුරු ගහන කණ්ඩායමකට. අප මේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගෙන ඇත්තේ එංගලන්තයෙන්. එහි විරුද්ධ පක්‍ෂය කියන්නේ ඔවුන්ගේ රැජිනගේ විරුද්ධ පක්‍ෂයට. ඒ සංකල්පයේ ඇත්තේ විවේචනාත්මක සහාය දීම මිස පතුරු ගැසීම නො වෙයි.

 

අද ආණ්ඩුව අර්බුදයක ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. අර්බුදය මේ ආණ්ඩුවේ නිර්මාණයක් නො වෙයි. ඒ පසුගිය අවුරුදු හැත්තෑතුනේ දී බලයට පත් වූ බොහෝ ආණ්ඩුවල විජාතික ගැති ප්‍රතිපත්ති නිසා ඇති වූවක්. වසංගතය අර්බුදය මතුපිටට ගෙනාවා. අපේ නිෂ්පාදනයක් ගැන උනන්දු වූ ආණ්ඩු තිබුණේ ටිකයි. ඔවුන් ඇති කළ කර්මාන්ත ශාලාත් අනෙක් අය විනාශ කළා. එ ජා පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩු කෙළේ වැඩි වැඩියෙන් ණයට ගැනීමත් ජාතික සම්පත් විකිණීමත් ඒ ලැබෙන මුදලින් මධ්‍යම පංතියේ අපේක්‍ෂාවන් සපුරාලීමට කටයුතු කිරීමත්.

 

මා ඒ බව පවසන්නේ එ ජා ප හා එහි අනුප්‍රාප්තික ස ජ බ හා ඔවුන් සමග සිටින ජ වි පෙ, ජා හෙ උ,  ජාතිවාදී මුස්ලිම් හා දෙමළ පක්‍ෂ පතුරු ගැසීමට නො වෙයි. ඒ වැරදි නැවත නොකිරීමටයි. රනිල් වික්‍රමසිංහ නැවත නැවත කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට යෑමටයි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ අප දැන් දශක ගණනාවක් ඔවුන්ගෙන් ගත් උපදෙස් හා ණය නිසා තොණ්ඩුවේ තව තවත් හිරවීමයි. දැන් අපට හුස්ම හිර වී තියෙනවා. නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ටිකක් ලබා ගෙන මධ්‍යම පංතිය තාවකාලික ව සතුටු කරන්න පුළුවන්. එහෙත් ඉන් පසු අප ඒ ණය ගෙවන්න ඕන. ණය ගෙවීම වෙනත් ආණ්ඩුවලට වැඩියෙන් පැවරෙනවා.

 

රනිල් වික්‍රමසිංහ තවත් කියනවා මූල්‍ය විනයක් තියෙන්න ඕන කියලා. මූල්‍ය විනය ගැන රනිල් කියන විට මතක් වන්නේ මහා බැංකුව හා අර්ජුන් මහේන්ද්‍රන්. කිරිඇල්ලත් කියනවා පර්පෙචුවල් සමාගමේ හොර සල්ලි තිබුණු බව. රනිල් දක්‍ෂයකු බව කියන්නේ කිවුවේ මංගල සමරවීර වැන්නන්. ජාතික වූ නිෂ්පාදනයක් ගැන අප යොමු නොවීමත් අපේ අපනයන ටිකට පවා ලැබිය යුතු ඩොලර් විශාල ප්‍රමාණයක් එතෙර ම රැඳවීමට අපනයන කරුවන් කටයුතු කිරීමත් ඩොලර් හිඟයට බලපා තියෙනවා.

 

දින පනස්දෙකේ ආණ්ඩුව වැට්ටවීමෙන් උද්දාමයට පත් බටහිරයන්ට මේ ආණ්ඩුවත් වැට්ටවීමට අවශ්‍ය වෙලා. ඔවුන්ට ලංකා වසන්තයක් අවශ්‍යයි. සදාම් හුසේන් ඝාතනයෙන් පසු එරට වැසියන්ට සිදු වූයේ දුෂ්කරතාවලට මුහුණ පෑමට. සජිත් කිරිඇල්ල චම්පක හකීම් සුමන්තිරන් අනුර ආණ්ඩුවකින් අපට සුගතියක් බලාපොරොත්තු වන්න බැහැ. ජනතාව ඔවුන් නැවත බලයට පත් කරාවි කියා හිතන්න බැහැ. ඊයේ (නොවැ 16) පැටලීමෙන් කළ කොළඹ වැටලීම අසාර්ථකයි. ඒ ආණ්ඩුව බස් කිහිපයක් හරවා යැවීම නිසා නො වෙයි. ඒ බස් සියල්ල ආවත් 25000කට වඩා සෙනගක් ගේන්න බැහැ. එහෙත් එයට වඩා වැදගත් ඒ පැමිණිය අය අර හවුලට කොහොමටත් ඡන්දය දෙන්නන් බව පහැදිලි වීම. සාමාන්‍ය ජනතාව වැටලීමට සහභාගි වුණේ නැහැ. ඔවුන් වැටලීමේ පැටලීම දන්නවා. ඔවුන් ආණ්ඩුව ගැන කළකිරී සිටියත් සජිත් හවුලට ඡන්දය දෙන්න සූදානම් නැහැ. සජිත් වෙනුවට වෙනත් අයකු නායකයා වුණත් එහි වෙනසක් සිදු වන්නේ නැහැ.   බටහිරයන්ට ලංකා වසන්තය උදා කර ගැනීම ඒ තරම් පහසු නැහැ.

 

රනිල් සජිත් අනුර චම්පක හකීම් බද්‍යුද්දීන් සුමන්තිරන් හවුලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැම හැර ඩොලර් ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැහැ. පට්ට ආර්ථික විද්‍යාඥයන්ට තබා සියල්ල දත් ජනමාධ්‍යවේදීන්ටත් ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒත් බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් නගරශෝභිනියන් සිටි බව කියමින් ඩොලර් උපයා ගැනීමට මෙරට ගණිකා මඩමක් කළ යුතු නැහැ. මහාකාරුණික බුදුහාමුදුරුවන් නගරශෝභිනියන්ට අනුකම්පා කළා මිස  නගරයට ඔවුන් අවශ්‍ය යැයි දේශනා කෙළේ නැහැ. අර කුකුල්මස් පිටරට යැවීමට අනුබල දීමත් සුදුසු නැහැ. බුදුහාමුදුරුවන් නොකළ යුතු වෙළඳාම් ගැන සඳහන් කර තියෙනවා.

 

ඩොලර් ඉපයීමට රටේ දේපළ විකුණන එකත් වැරදියි. අප ලෝක වෙළෙඳපොළට නිෂ්පාදනය කළ යුතුයි. අපට හදිසියෙන් ඩොලර් අවශ්‍යයි. කර්මාන්ත ඇති කරන්න ඕන. කෙටි කාලයකින් ඉදි කළ හැකි කර්මාන්ත ශාලා මොනවා ද? ඒ නිපැයුම් ලෝක වෙළෙඳපොළට අවශ්‍ය ඒවාත් විය යුතුයි. අපට සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි ද? තොරතුරු තාක්‍ෂණයෙහි අපට යමක් කළ හැකි ද? අපට ඇති එක ම සන්නාමය සිලෝන් ටී යන්න ද? සිලෝන් ටී එකල එංගලන්තයේ හරි ජනප්‍රියයි.

 

අවුරුදු පනහකට පමණ පෙර සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අප මසකට වරක් රාජකීය තාරකාවිද්‍යා සංගමයේ මාසික රැස්වීමට හා සම්මන්ත්‍රණයට සහභාගි වීමට ලන්ඩන් ගියා. එයට එංගලන්තය පුරා විසිරී සිටි තාරකා විද්‍යාඥයන් ද අප වැනි ශිෂ්‍යයන් ද සහභාගි වුණා.  සම්මන්ත්‍රණයෙන් පසු මගේ උපදේශක මහාචාර්ය මැක්‍රේ තම මිතුරන් සමග තේ බීම සඳහා ලන්ඩන්හි සිලෝන් ටී අවන්හළට යෑමට පුරුදු ව සිටියා. ඇතැම් දවසක ඔහු මට ද ආරාධනය කළේ ඔබේ තේ කෝප්පයක් බීමට යමු කියමින්.  ඒ අවන්හළ දැන් තියෙනවා ද දන්නේ නැහැ. කොහොමටත් ඒ කාලෙ සිලෝන් ටී සඳහා රසායනික පොහොර භාවිතා කෙළේ නැහැ.

 

අද බටහිර රටවල කාබනික ආහාර සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. කාබනික ගොවිතැන ගැන කිනම් මතයක් දැරුව ද ලංකා කාබනික ආහාර සන්නාමයක් අපට ඇති කර ගන්න පුළුවන්. ඒ සඳහා ගොවීන් උනන්දු කරන අතර තරුණ තරුණියන්ට හැකි ඉක්මණින් ඉඩම් ලබා දී ඔවුන් ගොවිතැනට යොමු කරන්න පුළුවන්. ඒ ගොවිතැනට යම් කාර්මික ඥානයක් ද අවශ්‍ය වේවි.  අවශ්‍ය යන්ත්‍ර නිපදවීමට හැකි අය රටේ විවිධ පළාත්වල ඉන්නවා.

 

අපට ඇති එක් ප්‍රශ්නයක් නම් විශාල ප්‍රාග්ධනයක් හිමි අය මෙරට නොමැති වීම. අපට ප්‍රාමාණික උගතුන් මෙන් ම ධන කුවේරයන් ද නැහැ. මියන්මා ධන හිමියන් සමග සැසඳීමේ දී අපේ ධනපතියන් දුප්පතුන්. මියන්මා දේශයටත් ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. අප දෙරට එකතු වුණොත් යමක් කළ හැකි ද? පඬි නැට්ටකු කියාවි මා ධනවාදයට ආවඩනවා කියා. ඔවුන් සදාකාලික නැට්ටන්.

 

අපේ බටහිර රෝහල් සිංගප්පුරු මට්ටමට නැති වෙන්න පුළුවන්. අපේ සුවපතිලා සිංගප්පූරු යන්නෙ ඒ නිසා නෙ. ඒත් සිංගප්පුරු යන්න බැරි එහෙත් ඊට වඩා අඩු වියදමකින් ලංකාවේ ප්‍රතිකාර ගැනීමට හැකි අය අපට ගෙන්වා ගැනීමට හැකි වේවි. එහි දී ලෝකයේ වෙන කොහේවත් නැති පාරම්පරික සිංහල වෙද ගෙදරක් ද විදේශිකයන් ද ඉලක්ක කර ගෙන ඉදි කරන්න ඕන. එමෙන් ම අපේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනවලට පිටරට සිසුන් බඳවා ගැනීම ගැන සොයා බලන්න පුළුවන්. එමෙන් ම අපේ ආයතනවලට වෙනත් රටවල ශාඛා ඇති කරන්නත් පුළුවන්.

 

මා මියන්මාහි තානාපති ව සිටිය දී  අප දෙරට අතර විවිධ කරුණු සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ නමුත් වසංගතය නිසා සංචරණ සීමා වීම හේතුවෙන් ඒ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. ඒ කටයුතු මියන්මා දේශයට පමණක් සීමා විය යුතුත් නැහැ. 

 

ථෙරවාදය ලෝකයට ඉගැන්වීමේ මධ්‍යස්ථානය ලංකාව බවට පත් කර ගන්න ඕන.  අප ථෙරවාදය විචාරශීලි ව හදාරන්න ඕන. අප අටුවාවට සීමා විය යුතු නැහැ. මා  හිතන්නේ නාගර්ජුනපාදයන් ථෙරවාදී සම්ප්‍රදායේ කියා. මගේ ලෝකයේ නාගර්ජුනපාදයන් මෙන් ම ක්වොන්ටම් භෞතිකය ද දකින්න පුළුවන්.  මගේ ලෝකය බර කරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමක් නො වෙයි. අප සිකුරාදාත් අනුරාධපුරේ යනවා. ඒත් බරකරත්තයෙන් නො වෙයි.