Main Logo

Saturday 27 November 2021

අලි හෙම්බිරිස්සාව දැනුම හා ජඩමාධ්‍යවේදියෝ

 

අලි හෙම්බිරිස්සාව දැනුම හා ජඩමාධ්‍යවේදියෝ

 

දැනුම ගැන බොහෝ දේ කියන්න තියෙනවා. ඊයේ (නොවැ 27) එක කතාවක් කිවූවා. ඒ ඕස්ත්‍රේලියාවේ මුල් වැසියන්ගේ දැනුම පිළිබඳ ව එරට යුරෝපීය සම්භවයක් ඇති විද්‍යා ගුරුවරයකු කී කතාවක්. එයට යහපත් ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණා. අනුජ මංචනායක හා සරත් අනුර හේවගේ ඒ ගැන සංවාදයක යෙදී තිබුණා. පඬි නැට්ටන් නම් මොකුත් කියා තිබුණේ නැහැ. ඔවුන් සියල්ල දන්නා අය. ඒ නිසා බටහිර දැනුම පමණක් විශ්වාස කරන එහි ආධිපත්‍යය යටතේ ආතල් ගනිමින් ජීවත් වන අය. ඔවුන් වෙනත් දැනුමක් තියෙන බවවත් දන්නේ නැහැ. ඔවුන්ට බටහිර නොවන අනෙක් දැනුම් මිථ්‍යා විශ්වාස. පඬි නැට්ටන් නොදන්නවාට බටහිර දැනුමට වඩා විශ්වාසයක් තවත් නැහැ.

 

අනුජ හා අනුර (අපි එහෙම කියමු) අන්දමන් දූපත් වැසියන් සුනාමියෙන් බේරුණු හැටිත් ඒ ගැන බටහිර ජඩමාධ්‍යවේදියකු කරන ලද සාකච්ඡාවක දී එකී වැසියන්ට සමච්චල් කළ සැටිත් කියා තිබුණා. දූපත් වැසියන්ට අනුව එය ගොඩ දෙවියන් හා මුහුදු දෙවියන් අතර වූ ආරවුලක් නිසා ඇති වූවක්. එමෙන් ම ඔවුන් ඒ බව කලින් දැන සිට තියෙනවා. බටහිර විද්‍යාවට එය කල් තියා දැන ගන්න බැරි වුණා. එහෙත් ලංකාවෙත් සතුන් ඒ ගැන දැන සිටි බවට තොරතුරු තිබුණා.

 

ලෝකයේ විවිධ දැනුම් තියෙනවා. පඬි නැට්ටන් ඒ බව පිළිගන්නේ නැහැ.  දැනුම ලබා ගැනීමේ දී විවිධ ආකාරයට මිනිසුන් ක්‍රියා කරනවා. ඔවුන්ට විවිධ කතන්දර තියෙනවා. මුහුදු දෙවියා හා ගොඩ දෙවියා පිළිබඳ කතාවත් එවැන්නක්. ජඩමාධ්‍යවේදීන් එයට හිනාවෙනවා. ලංකාවේ ජඩමාධ්‍යවේදීන් ද එහෙමයි. ඔවුන් සුපිරි බුද්ධිමතුන්. තාර්කිකයන් හේතුවාදීන්. එහෙත් බොහෝ දෙනකු සාමාන්‍ය පෙළෙන් එහාට විද්‍යාව හදාරා නැහැ. ඇතැමුන් උසස් පෙළට විද්‍යාව හැදෑරීමට ගොස් බැරුව මානව ශාස්ත්‍ර හැදෑරූ අය. ජඩමාධ්‍යවේදීන්ට අනුව මා අතාර්කික මිථ්‍යා විශ්වාස කරන්නෙක් පමණයි. ඔවුන් මට හිනාවෙනවා.  මා බටහිර විද්‍යාව මානව ශාස්ත්‍රවලට වඩා උසස් ලෙස සලකනවා නො වෙයි. බටහිර වියුක්ත දැනුම් සියල්ල පට්ටපල් බොරු.

 

දැනුම ලබා ගැනීමට භාෂාවක් අවශ්‍ය නැහැ. සතුන්ටත් දැනුම තියෙනවා. පටිච්ච සමුප්පාදය මිනිසුන් ගැන පමණක් නො වෙයි. සියලු දැනුම් සාපේක්‍ෂයි. දැනුම භාෂාවටත් සාපේක්‍ෂයි. සිංහල භාෂාව ක්‍රියා පද මුල් කර ගත් භාෂාවක්. ඉංගිරිසිය නාම පද මුල් කර ගත් භාෂාවක්. සිංහලයේ ශක්තිය කියන්නෙ ඉංගිරිසියෙ energy කියන එකට නො වෙයි. කර්ම ශක්තිය මොන එනර්ජියක් ද? 

 

මා විද්‍යාඥයකුවත් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා සිංහල බෞද්ධයෙක් පමණයි. මා දන්නේ දැනුම ඇතිවන්නේ අවිද්‍යාව නිසා බව. ඒ දැනුමත් අවිද්‍යාව නිසා ඇති වන්නක්. ඒ සියලු දැනුම් බොරු. එයින් වියුක්ත දැනුම් පට්ටපල් බොරු. දැනුම් බොරු බව පසක් කිරීම තමයි නිවන් සම්මාබෝධය. එහෙත් ඒ සඳහාත් දැනුමක් අවශ්‍යයයි. ඒ දැනුමට මා සම්‍යක් දැනුම කියා කියනවා. සම්‍යක් කියන්නේ නිවැරදි යන්න නො වෙයි. සම්‍යක් දැනුමත් දෘෂ්ටියක්. නිවන් සම්මාබෝධයේ දී එයත් ඉවත දාන්න ඕන. අර පාරුව කරේ තබා ගෙන යන්නෙ නැතිව විසි කරනවා වගේ. 

 

නිවන සම්මාබෝධයට ඒ කතාව අවශ්‍ය නැහැ. තණ්හාව නැති කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. තණ්හාව ඇති වන්නෙ මා කියා කෙනකු ඉන්න බව හිතන නිසා. මා මටත් මගේ කියන වස්තුවලටත් කැමතියි. තවත් වස්තුවලටත් කැමතියි. ඒ මගේ කර ගන්න ඕන. තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව ඇති වන්නෙ මේ බොරු දැනුම නිසා. මා ඉන්න බව හිතන නිසා, නැත්නම් දන්න නිසා. තණ්හාව නැති වන විට මා නම් බොරු දැනුම ද නැති වෙනවා. මෙරට සිංහල බෞද්ධයන් මා කියා කෙනකු පුද්ගලයකු නැති බව කියනවා. ප්‍රත්‍යක්‍ෂ නොකළත් මා බොරු බව පිළිගන්නවා. ඒත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුව ම ආයුධ අතට ගන්නවා.

 

ඒ මොනව වුණත් අලි හෙම්බිරිස්සාවෙ අලුත් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙ තියෙනව කියනවා. ඒකට සංකේතයකුත් තියෙනවා. B. 1 මොකක් ද එකක් කියනවා. ජනමාධ්‍යවේදීන් නම් එය කට පාඩමෙන් කියාවි. දි අයිලන්ඩ් පූවත්පතට අනුව විශේෂඥයකු වූ රවි කුමුදේශ් කියල මේ අලුත් ප්‍රභේදයෙන් බේරෙන්න ගුවන් තොටුපොළේ කෙරෙන පරීක්‍ෂා දැඩි කරන්න කියා. ඒක කියන්න විශේෂඥ රවි කුමුදේශ්ටත් පුළුවන්. එතනින් එහා යන දෙයක් කියන්න වෙනත් විශේෂඥයකුටත් බැහැ. ඒත් අපේ වෛද්‍ය ආධිපත්‍යය තියෙන්නෙ බටහිර වෙදකමට. ජඩමාධ්‍ය ප්‍රසිද්ධිය දෙන්නෙත් රවි කුමුදේශ්ට සහ සෙසු විශේෂඥයන්ට.

 

බටහිර වෙදකම කඩා වැටිලා. ඒත් අප ඒක පිළිගන්න ලැහැස්ති නැහැ. සිංහල වෙදකමේ අලි හෙම්බිරිස්සාවට බෙහෙත් තියෙන බව වෙදමහත්තුරු කියනවා. ඔවුන් සියලු දෙනා ම බොරු වෙදුන් හැටියට සලකන්න අප සූදානම්. ඒත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුව ම අවි අමෝරා සටන් වදිනවා.  ඔය වෙද මහත්තුරු ගෙන්නල අලි හෙම්බිරිස්සාවට මොකක් ද කරන්නෙ කියන එක සාකච්ඡා කරන්න. අපේ කෑමවලත් ඖෂධීය ගුණ තියෙනවා. කෑමට තුනපහ  දාන එක හොඳයි. කරාබු නැට්ටක් හපන්න පුළුවන් නම් ඔය ඊනියා ඔක්සිජන් මට්ටම හොඳින් තියේවි.  බටහිර වෙදමහතුන් එක්ක කොච්චර කතා කළත් පරෙස්සම් වීම හැරෙන්න වෙන දෙයක් කියන්නෙ නැහැ. ඒක අහගන්න ඔච්චර ගෙවන්න ඕන ද? ඔවුන්ට හැමදාමත් එකම දේ කියන්න ජඩමාධ්‍ය විවෘත කරන්නෙ ඇයි?

 

අවශ්‍ය නම් එන්නත විදගන්න. ඒත් එය ප්‍රතිකාරයක් නො වෙයි. ධම්මික පැණියට හිනාවුණු ජඩමාධ්‍යවේදීන් එන්නත විද ගැනීමෙන් පසුවත් මිය ගිය අය ගැන කටවත් පෑනවත් හොලවන්නේ නැහැ. ධම්මික පැණිය බී කී දෙනකු මැරුණා ද? බටහිර රටවල ෆ්ලූ ෂොට් කියා එන්නතක් ඔය හෙම්බිරිස්සාවකට විද ගන්නවා. ඒත් ඊළඟ වසරේත් එය විද ගන්න වෙනවා. අලි හෙම්බිරිස්සා එන්නත් මට පේන විධියට මාස හයෙන් හයට වගේ විද ගන්න වෙයි. බටහිර ඇතැම් වෙද මහතුන් ම කී දෙයක් තමයි එන්නත නිසා එයට ඔරොත්තු දිය හැකි නව ප්‍රභේද ඇති වෙන බව. දකුණු අප්‍රිකානු ප්‍රභේදයත් එවැන්නක් ද?

 

එන්නත කරන්නෙ ලෙඩේ සුළුවෙන් හදලා ප්‍රතිදේහ නිපදවීමක්. එය ප්‍රතිශක්තිය වර්ධනයක් කියල කියනවා. මේ immunity කියන දෙයට ප්‍රතිශක්තිය කියන්න පුළුවන් ද? කොහොමත් ප්‍රතිශක්තිය කියන වචනය සිංහල වෙදකමට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා එය සිංහල සංස්කෘතියට ගැලපෙන්නෙත් නැහැ. ප්‍රතිදේහ ප්‍රතිශක්තිය වැනි සංකල්ප ඇලොපති සංස්කෘතියෙ වචන මිසක් සිංහල වෙදකමේ සංකල්ප නො වෙයි. කලින් සඳහන් කළ ආකාරයට ශක්තිය කියන චචනය සිංහල සංස්කෘතියෙ යෙදෙන්නෙ වෙනත් අරුතකින්.

 

අපේ වෙදකමේ වා පිත් සෙම තුලනය කිරීමක් වෙන්නෙ. අලි හෙම්බිරිස්සාව සෙම කෝප වීමෙන් ඇති වෙන්නක්. කෝප වෙනවා කියන එක ඉංගිරිසියෙන් කියන්න බැහැ. මේ කෝපය තුලනය කරන්න ඕන. ඒ සඳහා ඖෂධ තියෙනවා කියනවා. තුනපහ සුදුළුෑණු රතුළුෑණු ආදියත් සෙම් කෝපය තුලනය කිරීමට යොදා ගන්න පුළුවන් කියනවා. දැන් කියන්න එපා පොහොර ගෙන්වීම නතර කර තිබූ නිසා ඒ ආහාර වෙළෙඳපොලේ නැහැ කියා. සකර්බර්ග් අනාථ කඳවුරේ ඒ කතා ඇහෙන්න පුළුවන්. කොහොමටත් මේ කරුණු ගැන සිංහල වෙදමහතුන්ගෙන් ම දැන ගන්න එක හොඳයි.

 

දැන් ඔය දකුණු අප්‍රිකානු ප්‍රභේදයටත් අලුත් එන්නතක් නිපදවනවා ද? සකර්බර්ග් අනාථ කඳවුරේ වමාලා හිතනවා ඇති බටහිර විද්‍යාව හා බටහිර වෙදකම ඊනියා වාස්තවික කියාත් ධනවාදය ඒ සමග බැඳී නැහැ කියාත්.  බටහිර එන්නත් ඖෂධ නිපදවන්නෙ ඊනියා සමාජවාදීන් නො වෙයි. ධනවාදය මෙන් ම බටහිර විිද්‍යාව ද එක ම චින්තනයක බිහි වූ දේ. ඒ එකිනෙකට බැඳිලා. වෙදකම ගැන මෙන් ම ගොවිකම ගැන ද කියන්න තියෙන්නෙ එක ම කතාව.