Main Logo

Saturday 13 August 2022

බොරුවෙන් උපන් දරුවෝ හා රාජ්‍යාධිකාරය

බොරුවෙන් උපන් දරුවෝ හා රාජ්‍යාධිකාරය

 

ඊයේ අගෝස්තු 12 වැනි දා. හර්තාලයට අවුරුදු 69යි. ඒ ගැන වමාලටත් අමතක වෙලා. කමක් නැහැ ලබන අවුරුද්දෙ හර්තාලයෙ හැත්තෑවැනි සංවත්සරයත් අරගලයේ පළමුවැනි සංවත්සරයත් එකට ආතල්ගම භූමියේ දී ම සමරන්න පුළුවන්. අර සරසවිය තිබුණු තැන විද්වත් මඬුල්ලක් කැඳවල දේශන පවත්වන්න පුළුවන්. මාක්ස්වාදීන්ට පශ්චාත් මාක්ස්වාදීන්ට පශ්චාත් නූතනවාදීන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්නත් පුළුවන්.

 

හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස ජෝන් කොතලාවල අගමැති වුණා. පරගලයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ජෝන්ගෙන් පස්සෙ ජාතිකත්වයට තැනක් ලැබුණ. රනිල්ගෙන් පස්සෙ ජාතිකත්වයට විශේෂ තැනක් ලැබේවි. ඒත් ඒ අප ජාතිකවාදීන් ව්‍යාජ ජාතිකවාදීන්ගෙන් වෙන් කර ගත්තොත්.  ජාතිකත්වය කසිකබල් මාක්ස්වාදය සමග මුසු කළා හොඳට ම ඇති. ඒ වගේ ම ඩලස් ජී එල් ඇතුළු සකලවිධ සුවාදීනයන් දේශපාලනයෙන් ඉවත් කිරීමටත් කාලය එළඹිලා.

 

හර්තාලය  කෙළෙ ඩඩ්ලි එලවල ජෝන් අගමැති කරන්න නො වෙයි. එය සමසමාජ පක්‍ෂය මූලික වෙලා පවත්වපු විරෝධතාවක පමණයි. සමසමාජ පක්‍ෂයට විප්ලවයක් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හාල් සේරුවක මිල සත විසිපහේ සිට හැත්තෑව දක්වා වැඩිකිරීම තමයි මූලික ප්‍රශ්නය වුණෙ. සුබසාධන රාජ්‍යය පවත්වාගෙන යෑම වෙනුවෙනුයි හර්තාලය පැවැත්වුණෙ. ඒ මිස විප්ලවයක් කරන්න නො වෙයි.

 

ඒ සුබසාධන රාජ්‍යය එතැන් සිට අවුරුදු හැත්තෑවක් පවත්වාගෙන ගියාට පස්සෙ දරුණු ආර්ථික අර්බුදයක් ඇති වෙලා. නිෂ්පාදනයක් නැතිව සුබසාධන රාජ්‍යය දිගින් දිගට ම පවත්වාගෙන යෑමත් ආර්ථික අර්බුදයට හේතුවක් වුණා. අපි ජීවත්වෙන්නෙ ණයට අරගෙන. අදත් අපි කල්පනා කරන්නෙ ණය ගන්න විධි. ඒ කොහොම වෙතත් හර්තාලය වගේ නොවෙයි පරගලය කෙරුණෙ රනිල් ජනාධිපති කරන්න.

 

ඔය එක් එක් පරගලකාරයන්ගෙ ගිණුම් පරීක්‍ෂා කරන්න අවශ්‍යතාවක් නැහැ. එහෙත් පරගලය මෙහෙයවුණෙ බටහිරින් හා ඉන්දියාවෙන්. ඔවුන් තමයි දැන සිටියෙ රනිල් ජනාධිපති කරන බව. පරගලකාරයන්ට කිවුවෙ ගෝඨාභය එළවන එක පමණයි. ඒ ගෝඨාභය හොරා කාල ආර්ථික අර්බුදය ඇති කළා කියන බොරුව මත. ඔය පරගලකරුවන්ට හොඳ නමක් මගේ මිතුරකු යෝජනා කළා. ඔවුන් හිතන්නෙ තමන් වෙනස් පරම්පරාවක් කියල. මගේ මිතුරා කියනවා ඔවුන් තමන් ගැන ඉහළින් හිතුවත් ඔවුන්ට හොඳ ම නම බොරුවෙන් උපන් දරුවෝ කියල.

 

ඔවුන්ට විශ්වාස කරන්න තිබුණෙ සරල දෙයක්. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරා කෑම. ඒ නිසා ගෝඨාභය ගෙදර අරින්න ඕන. එවිට අනෙක් රාජපක්‍ෂලාත් ගෙදර යවන්න පුළුවන් කියා කිවුව ද දන්නෙ නැහැ. බොරුවෙන් උපන් දරුවන්ගෙන් ඇහුව ම ගෝඨා ගෙදර ඇරලා කාවද පත්කරන්නෙ කියල ඔවුන් දැනගෙන හිටියෙ නැහැ ඒ කවුද කිය. එ නිසා අර ගිනිගන්න රෙද්ද කඩන එක වගේ පඬි කතා කිවුවා. එත් පරගලය මෙහෙයවපු අය නම් දැන ගෙන හිටිය රනිල් ජනාධිපති කරන බව. ඒ එක්ක ම ඔවුන් දැන සිටියා සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති විශේෂ තැන නැති කරන්න රාජපක්‍ෂලා අයින් කරන්න ඕන කියල. කාදිනල්තුමාට අර ලෙඩේ හැදිල නිසා විස්තරයක් දැන ගන්න විධියක් නැහැ. බැසිල් මේ ගැන මොකද කියන්නෙ. නරක ද අගමැතිතුමා සමග කතා කළා නම්.

 

ඒත් දැන් රනිල්ට ප්‍රශ්නය. බටහිරයන් එතරම් මුදලක් (ණයක් හැටියට) දෙන්න සූදානම් නැහැ. ඉන්දියාව තවත් ආධාර දෙන එක සැක සහිතයි. ජාමුල කියනවා පළමුව ණය ප්‍රතිව්‍යුහගත කරන්නලු. විශේෂයෙන් චීනයත් එක්ක කතා කරල චීන ණය ගෙවන එක කල්දාගන්නලු. රනිල් ඉන්දියාවෙ යන්නෙ නැතුව චීනයට යන්නෙ ඔය ප්‍රශ්නය ගැන කතා කරන්න මිසක් චීන මහා ප්‍රාකාරය බලන්නවත් යැන්ග්ට්සි නදියෙ සුඛොපභෝගි නැවක යන්නවත් නො වෙයි. අවශ්‍ය නම් එන ගමන් තිරුපති යන්න පුළුවන්. ජාමූල කරන්නෙ උප්පරවැට්ටියක්. චීනය පිටින් දාල තම නොහැකියාව වහගන්න.

 

ඒ අතර ඉන්දියාව බටහිරත් සමග එකතු වෙලා අර චීන නැව එන එකට අකුල් හෙලනවා. මා චීනයට කියා විශේෂ ලැදියාවක් නැහැ. ඔවුන් රණවිරුවන්ට දඬුවම් කරන්න කියන්නෙ නැහැ. ඊනියා යුද්ධාපරාධ ගැන කියන්නෙත් නැහැ. බටහිරයන් වගේ ඔවුන් තමන්ගෙ සංස්කෘතිය අපට පටවන්න හදන්නෙත් නැහැ.  ඒත් ආර්ථික වශයෙන් තම ග්‍රහණයට ගන්න හදනවා.  වරාය නගරයට මොක ද වෙන්නෙ. හම්බන්තොට වරාය ඔවුන් බදු ගත්තා. ඒත් ඉන්දියාව කියනව නැවට එන්න දෙන්න එපා කියල. අද රනිල් ඉන්නෙ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයක. නැවට එන්න දුන්නොත් බටහිරයන් හා ඉන්දියාව අවි අමෝරා ගන්නවා. එන්න නුුදුන්නොත් චීනය ණය ගැන කිසිම බුරුලක් දෙන එකක් නැහැ. ඔය වරාය බද්දට දුන්නෙ රනිල්. දැන් වරාය බද්දට දීල  නැවට දත නියවනවා.

 

කොළඹ වරායෙ අර පර්යන්තය, මේ පර්යන්තය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි තව මොනව ද විකුණන්න බදු දෙන්න තියෙන්නෙ. සීගිරිය විකුණමු ද? මා ළඟදි දැක්ක ග්‍රීකයෝ හා මෞර්යයෝ පොතේ පරණවිතාන මහතා ඉඟි කරනවා අර පොළොන්නරුවෙ තියෙන ප්‍රතිමාව විජයබාහු රජුගෙ හරි පරාක්‍රමබාහු රජුගෙ හරි රාජ්‍යත්වය දක්වන පිළිමයක් කියල. අශෝක රජුගෙ එවැනි පිළිම තිබුණ කියනවා. අර දෑතේ පුස්තකය වගේ තියෙන්නෙ රාජ්‍යාධිකාරය කියලයි කියන්නෙ. දැන් ලංකාවෙ රාජ්‍යාධිකාරය තියෙන්නෙ කාගෙ අතේ ද?