Main Logo

Tuesday 23 August 2022

වසන්ත හා ලංකා වසන්තය

 

වසන්ත හා ලංකා වසන්තය

 

පරංගි පරගලකරුවන් හීනෙන්වත් හිතන්න නැතුව ඇති තමන් අත්අඩංගුවට පත්වීමට ඉඩක් තියේ ය කියලා. ඒ දවස්වල මොන තරමේ ජන අරගලයක් ද තිබුණෙ. මා හිතන විධියට කිවුවත් මට මතක තියෙන විධියට පරගලයට ජන අරගලය කියන නම පටබැඳුණෙ දෙරණින්. ගෝඨාභය කවද හරි ලංකාවට ඒවි. එදාට දෙරණ ප්‍රධානීන් ගිහින් ගෝඨාභය පිළිගන්නවා ද?

 

අර කලාලකරුවන් මොන තරම් සහයෝගයක් පරගලයට දුන්න ද? ඔවුන් මොන තරම් නැවු කතා ආතල්ගම දි කෙරුව ද? නැහැ මා කියන්නෙ අර විමලනාදන්ගෙ නැවු කතා නො වෙයි. පරගලකරුවන් දිරි ගන්වන නැවු කතා.  මොන තරම් පිරිසක් සහෘදයන් ද කවුද කියන්න මා දන්නෙ නැහැ ඒ කලාලකරුවන්ට කලාලකාරියන්ට ආදරය කළා ද? මේ ආදරය කියන වචනය මට දැන් තේරෙන්නෙ නැහැ. ඒ මගේ වයස හින්දා නො වෙයි. සිංහල භාෂාවේ විකාශය මට ඔරොත්තු නොදෙන තරමින් ඉදිරියට හරි පස්සට හරි යන නිසා. ඒ දවස්වල නම් මිනිස්සු ඒ ඒ කලාලකරුවන්ට කලාලකාරියන්ට කැමැත්ත දැක්වූවා. දැන් ආදරය කරනවා. ඕක කොතනින් නවතියි ද දන්නෙ නැහැ.

 

ඔය හැම කලාලකරුවෙක් ම කලාලකාරියක් ම මැන ගන්න අවස්ථාවක් පරංගි පරගලයෙන් ලැබුණා.  පඬියන් එකිනෙකා සමග තරග කළා වඩත් ම ප්‍රබුද්ධ කියන නාමය ලබා ගන්න. හැබෑට ම රටේ වඩාත් ම ප්‍රබුද්ධ කලාලකරුවා කවුද? අර කුරුසයක් කර තබාගෙන ආතල්ගමට ආපු හාදයා ද? එහෙමත් නැත්නම් ආතල්ගමින් යන්නෙ නැහැ කියපු අවසානයේ දී ආතල්ගමින් ගියාට කොහාට හරි යනව කිවුව කලාලරත්න නෝන ද? ඒ නෝන කොහෙද ගියෙ. ජඩමාධ්‍යකරුවන් නම් ඔවුන්ට ආදරය කරනවා ඇති.

 

ආතල්ගමට ආව ගිය කාදිනල්තුමාත් එතුමාගේ දෑගසවුවනුත් දැන් වැඩිය දකින්න නැහැ. එදා ආතල්ගමට විරුද්ධ ව කටක් ඇරියෙ නැති පරගලයට මූලික තල්ලුව දුන් සමහර දේශපාලනඥයන් අද එහි විජාතික බලපෑම ගැන ජනාධිපති විමර්ෂණයක් ඉල්ලනවා. ඒක නම් හොරාගෙ අම්මගෙන් පේන ඇහීම වගේ වැඩක්. කවුරු හරි විමර්ශනයක් පවත්වන්න ඕන ඔය විමර්ෂ ඉල්ලන අය ගැන. ඒ අයගෙ ඊනියා සුවාදීන වීම ගැන. දැන් අලුත් පක්‍ෂ හැදීම ගැන.

 

පරංගි පරගලයෙ නායකයන් ඇරෙන්න අනෙක් පරගලකරුවන් බොහෝ දෙනකු රැල්ලට ගිය අය. මා කියන්නෙ ගාලු මුවදොර ඉන්දියන් සාගරයෙ රැල්ල පා ගන්න ගියා කියන එක නො වෙයි. ඔවුන්ට ප්‍රශ්න තිබුණා. ජීවන වියදම ඉහළ ගිහින්. ඔවුන්ට ඒත්තු ගන්වල තිබුණෙ ඔක්කොම ප්‍රශ්නවලට හේතුව ගෝඨාභය කියල. ඒක ජයට ම කෙරුණා. සකර්බර්ග්ගෙ මෙටාව හොඳින් ප්‍රයෝජනයට ගැණුනා. අර එක් පක්‍ෂයකටවත් මෙටා ලකුණ දෙමු ද? අනෙක් පක්‍ෂයට කොම්බුව දෙමු ද?

 

ඒත් නායක නායිකාවන් නම් ක්‍රමය වෙනස් කරන්න ගියෙ. ක්‍රමය කියන එකෙන් එක් එක්කෙනා එක් එක් දෙය තේරුම් අරගෙන. ඇතැම් පඬියන් පඬි නැට්ටන් සෝවියට් සභා පිහිටුවන්න කතා කළා. අර ආතල්ගම විශ්වවිද්‍යාලෙ විප්ලව කතා කියල දීල. දැන් ආණ්ඩුව හිතනව එතැන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් තිබුණ කියා. කුමන්ත්‍රණයක් නම් තිබුණෙ නැහැ. එත් ජෙප්පන් සෙප්පන් හා ඔවුන්ට ආවඩන පඬි නැට්ටන් නම් මේ ධනපති ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමයක් ඇති කරන්න කතා කරන අය. එය දැනට පවතින රාජ්‍ය ක්‍රමය වෙනස් කරන්න කතා කිරීමක්. ඒ කියන්නෙ රාජ්‍යයට විරුද්ධ ව ක්‍රියා කිරීමක් කියල ආණ්ඩුව හරි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරි හිතනව නම් එහි වගකීම ඊනියා විප්ලව ගැන කතා කරන ජෙප්පන් සෙප්පන් හා පඬි නැට්ටන් භාර ගන්න ඕන. 

 

පඬි නැට්ටන්වත් ඔය පක්‍ෂ නායකයන්වත් නැවු කතා කිවුවට ඉදිරියට යන අය නොවෙයි. මෙටාවෙ නැවු පදවන අය. ඔවුන් සමහරකු වෙනත් අය ඉදිරියට යවල හැංගුන ගෝනි බිල්ලන්. අර වසන්ත මුදලිගේ දෙවන වරටත් අත්අඩංගුවට අරගෙන. ඔහු මාස තුනකට රඳවා ගන්නවලු. ඔහු දඹාන පැත්තෙ කියල කියනවා. සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. එහෙම වුණත් දඹානෙන් විශ්වවිද්‍යාලයට ආ පළමු තැනැත්තා ඔහු නො වෙයි. ඔහු ලංකා වසන්තය නවත්වන්න තිබුන තැන දැනගෙන හිටියෙ නැහැ වගේ.

 

ඔහු නමින් වසන්ත වුණත් ලංකා වසන්තය සැලසුම් කෙරුණෙ එංගලන්තයේ. ලංකා වසන්තය ගෝඨාභය ගෙදර යැවීමෙන් හා රනිල් බලයට පත් කිරීමෙන් පසු අවසන්.   ඔය අන්තරේ ගැන මා අවුරුදු පනහක පමණ කාලයක ඉඳන් දන්නවා. ඔවුන් කරන්නෙ තරුණ තරුණියන් හා වෙනත් අයට මරණය උරුම කිරීම පමණයි. අද වමාලට ඉතිරි වෙලා තියෙන්නෙ අන්තරේ විතරයි. එදා අන්තරේට විරුද්ධ වුණු සෝවියට් සභා කාරයොත් අද වැලේ වැල් නැතුව විප්ලවයට අන්තරේ යන්තරේ හොයනවා. අන්තරේ අවසන් වශයෙන් කරන්නෙ ජාතිකත්වයට එරෙහි වීමක් පමණයි. මා කියන්නෙ නැහැ අන්තරේ තමයි රනිල් බලයට ගෙනාවෙ කියල. ඔවුන් ඒ ලංකා වසන්ත ක්‍රියාවලියෙ හිටියා. 

 

ඒත් මට මතක් වෙන්නෙ දැන් සති කිහිපයකට කලින් ඔය වසන්ත අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ ජාතික රූපවාහිනිය ප්‍රචාරය කළ රූහඬ පටය. එහි කියැවුණු අන්දමට දවසක් පාන්දර වසන්ත ත්‍රිරෝදයකින් යමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ රූහඬ පටයෙ පොලිස් නිලධාරියකුත් හිටියා. ඒ රඟපෑමක් ද? ජාතික රූපවාහිනිය ඉන්පසු නිහඬ වුණා. සමහර විට අප නෙදැනුවත් ව වසන්ත මුදලිගේ එවර ඇප මත නිදහස් වෙන්න ඇති. ජාතික රූපවාහිනිය මොකද කියන්නෙ. එය රඟ පෑමක් ද? කොහොමටත් ජෙප්පන් හා සෙප්පන් කරන්නෙ රඟ පෑම්.