Main Logo

Monday 22 August 2022

ගෝඨාභය දරුවන් සන්දා දැඩි සිත සින්දා

 

ගෝඨාභය දරුවන් සන්දා දැඩි සිත සින්දා

 

හිටපු ඇමති එස් එම්   චන්ද්‍රසේන අනුරාධපුරයේ දී රනිල්ගේ පිට කසන්න ගිහින් මහින්ද හා ගෝඨාභය බිිංදුවට ඇද දමලා. මන්ත්‍රීවරු ඔය වගේ රැස්වීම්වල කියන දේ එතරම් ගණන් ගත යුතු නැති වුණත් මෙය තරමක බරපතල කීමක්. චන්ද්‍රසේන කියා තිබුණේ පරංගි පරගලය පරාජය කිරීම කොටි පරාජය කිරීමට සමාන බවයි.  කොටි පරාජය කිරීම සමග පරගලය පරාජය කිරීම සමාන කළ හැක්කේ එක ම එක අර්ථයකින් පමණයි. මා හිතන්නේ නැහැ චන්ද්‍රසේන එය කල්පනාවට ගන්න ඇතැයි කියා. කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කෙළේත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව. පරගලයට ආධාර කෙළේත්  ඒ අයමයි. පරගලය ඇති කෙළේ ආර්ථික අර්බුදයක් නිසා නො වෙයි. පරගලය ඇති කෙළේ ම කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද හා ගෝඨාභය ගෙදර ඇරීමට.

 

ආර්ථික අර්බුදය මෙන් ම විමල් උදය වාසු ත්‍රිත්වය බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයකට හැරවීමත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට පරගලය ඇති කිරීමට උපකාර වුණා. එමෙන් ම පසුව ජී එල් ඇතුළු ආචාර්ය මහාචාර්යවරු ඩලස්ගේ නායකත්වයෙන් විමල්ලා මෙන් ම සුවාදීන වීමෙනුත් පරගලයට උදවු කළා. ඒ අතර චන්ද්‍රසේනලා ගෝඨාභය රැක ගැනීමට කෙළේ කුමක් ද? ඔය සුවාදීන වුණු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් හිතුවේ ඊළඟ මැතිවරණයෙන් තම ආසනය රැක ගැනීම ගැන මිසක් ගෝඨාභය රැක ගැනීම ගැන නො වෙයි. 

 

මෙහි තවත් පැත්තක් තියෙනවා. කොටි ත්‍රස්තවාදය එක රැයකින් ඇති වූවක් නො වෙයි. එය අවුරුදු තිහකට වැඩි කාලයක් තිබුණා. දෙමළ ජාතිවාදය හැටියට ගත්තොත් නම් සියවසකට වැඩියි. අර අවුරුදු තිහ ඇතුළත රනිල් කිහිප වතාවක් අගමැති වුණා. ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කෙළේ කුමක් ද? ඔහු කෙළේ ඊනියා ගිවිසුම් සටන් විරාම මගින් කොටි ශක්තිමත් කිරීම පමණයි.

 

චන්ද්‍රසේනට තේරුම් නැති වුණත් මහින්ද හා ගෝඨාභය කොටි පරාජය කිරීම, කොටි පරාජය කිරීමට නොහැකි වූ රනිල් අර කොටි පරාජය ආපසු හැරවීමට තමන් ගෙන ඒම සඳහා සංවිධානය කරන ලද පරගලය තරමක් බටහිරයන් අපේක්‍ෂා කළ තරමට වඩා එහාට ගෙන යෑමට ජෙප්පන් හා සෙප්පන් එකිනෙකා සමග තරග වැදුණු විට එය පරාජය කිරීම සමග සංසන්දනය කළ හැක්කේත් එපමණකට පමණයි.

 

එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ගෝඨාභයට පරගලය පරාජය කිරීමට නොහැකි වූයේ ඇයි. මහින්ද කියා තිබුණා ගෝඨාභය දේශපාලනඥයකු නොවේය කියා. මා නම් එය පිළිගන්නේ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දේශපාලනඥයකු නොවූවා. ඇය එකල රාජ්‍ය නායිකාව බවට පත්කෙරුණේ හේන්පිටගෙදර ඥානසීහ හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංග රත්නයේ මෙහෙයවීමෙන්. එනම් එකල ජාතික බලවේගයේ අවශ්‍යතාවට. බණ්ඩාරනායක මහත්මියට මහින්ද රාජපක්‍ෂ වැන්නන් පවා පුහුණු කිරීමට හැකි වුණා.

 

මහින්ද තවත් කරුණක් ගෝඨාභය ගැන කියා තිබුණා. ඒ තමයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභයගේ තිබූ දැඩි බව වෙනුවට ජනාධිපති ගෝඨාභයගේ තිබුණේ මෘදු බවක් කියා. එය නම් පිළිගන්න පුළුවන්. එහෙත් අප තේරුම් ගත යුත්තේ ජනාධිපති ගෝඨාභය මෘදු වූයේ ඇයි කියා. ජනාධිපති ගෝඨාභයට ඔය පරගලය දවස් දෙකෙන් පරාජය කරන්න තිබුණා. එහෙත් ඔහු එසේ කළේ නැහැ. ඔහු විවිධ තානාපතිවරුන් දුන් උපදෙස්වලට ඇහුම්කන් දුන්නා.

 

ජාතික බලවේග එදා බණ්ඩාරනායක මැතිණිය මෙරට රාජ්‍ය නායිකාව කළ පරිදි ගේඨාභය රාජ්‍ය නායකයා කෙළේ මෘදු වීමටවත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම යොදා ගැනීමටවත් නො වෙයි. බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ දී තමයි විජේවීර ඉතා බුද්ධිමත් ලෙස එක් රැයකින් පොලීසිවලට පහර දී විප්ලවය කිරීමට බලාපොරොත්තු වුණේ. එදා මැතිණියගේ ගේ ගිනි තිබ්බෙ නැති වුවත් ඉතා බුද්ධිමත් ය කියන පුද්ගලයන් එතුමිය අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියා. එහෙත් පරගලය මෙන් ම ඒ එක් රැයේ විප්ලවය ද පරාජය කෙරුණා.

 

එහි දී බණ්ඩාරනායක මැතිණිය මෘදු වුණෙත් නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා අනුගමනය කෙළෙත් නැහැ. ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල පමණක් යොදා ගනිමින් එක් රැයේ විප්ලවය පරාජය කළා. අණට පිටින් ගිය මනම්පේරි සිද්ධිය වැනි සිදුවීම් ගැන පසුව  නීත්‍යානුකූල ව කටයුතු කළා. එහෙත් එ ජා ප ආණ්ඩු ජේ ආර්ගෙ මෙන් ම ප්‍රේමදාසගේ ද ආණ්ඩු විජේවීරගේ දිග් ගෑසුණු විප්ලවය පරාජය කෙළේ නීතියෙන් ලැබුණු සීමාවෙන් පිටට ගොස්. මේ වෙනස ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩු හා එ ජා ප ප්‍රධාන ආණ්ඩු අතර තියෙනවා.

 

එහෙත් ඒ කිසිවකින් ගෝඨාභය මෘදු වීම තේරුම් ගන්න බැහැ. ඔහු මෘදු වුණේ දරුවන් සන්දා බව අප කලින් කියා ඇති. සුප්පා දේවි කිවුවේ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා. ගෝඨාභය දරුවන් සන්දා දැඩි සිත සින්දා. ඒ නිසා තමයි වෙඬරුවේ උපාලි අනුනාහිමියන්ට සිද්ධ වුණේ හිට්ලර් කෙනකු වීමට කියන්න. උන්වහන්සේ එයින් අදහස් කෙළේ මිනී මරන්න නොවන බව පඬි නැට්ටන්ට හැරෙන්න අනෙක් අයට අවබෝධ වුණා. එහෙත් ගෝඨාභය ඒ අනුශාසනාව පිළිගත්තේ  නැහැ. ඔහුට එහි විපාකය විඳින්න සිදු වුණා.  ඔහු පූර්ණ ආරක්‍ෂා සහිත ව ආපසු ගෙන්වා ගැනීමට රනිල්ට බල කිරීම චන්ද්‍රසේනලාගේ කාර්ය භාරය වෙන්න ඕන.