Main Logo

Friday 19 August 2022

ඊනියා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව

 

ඊනියා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව

 

දේශපාලනයෙදි තනි තනි සිද්ධි ලෙස බලා තීරණ ගැනීම සුදුසු ක්‍රියාවක් නො වෙයි. එය එක් සිද්ධි දාමයක් ද නො වෙයි. සිද්ධි දාම රාශියක් දේශපාලනයෙහි වෙයි. එහි අවසානයක් කියා දෙයක් නැහැ. විශ්වය විකාශයෙහිත් සිංහල බෞද්ධයනට නම් ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ. ආරම්භ අවසාන ඇත්තේ ආගම් අදහන්නන්ට. ඒ ආගම් අදහන්නන්ට බටහිර විද්‍යාව, ඇරිස්ටෝටල් න්‍යාය අනුගමනය කරන්නන් ද අයත්වෙනවා. ආගම්වල ආරම්භය තේරුම් ගැනෙන්නේ නැහැ. ආරම්භය හැම විට ම උපකල්පනයක් පමණයි. රේඛීය චින්තනවල ආරම්භ තියෙනවා. 

 

විශ්වය ගැන ලියූ ලිපි කිහිපයෙහි විශ්වය අනන්ත හා අපරිමිත බවත් කල්ප විනාශ පමණක් සිදුවන බවත් සඳහන් කළා. විශ්වය හැමදාමත් අනන්තයි අපරිමිතයි. බුදුහාමුදුරුවන් මා දන්නා තරමින් දේශනා කර නැහැ විශ්වය කාලයක දී අනන්ත හා අපරිමිත වන බවත් තවත් කාලවල දි එසේ නොවන බවත්. එහෙත් කල්ප නම් ඇති වෙනවා නැති වෙනවා. මෙයින් කියන්නේ නැහැ විශ්වය වෙනස් නොවන බවක්. කල්ප වෙනස් වීම නිසාත් විශ්වය වෙනස් වෙනවා. විශ්වයටත් ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.

 

දේශපාලනයේත් ආරම්භයක් කෙළවරක් නැහැ. ක්‍රියා දාම තියෙනවා. ක්‍රියා දාම කිවුවට එක් එක්කෙනාගේ ක්‍රියා දාම වෙනස්. එක් ක්‍රියාදාමයක් එක් එක් අය වෙනස් ආකාරයකට දකිනවා නො වේ. ඒ අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාවාදය.  ඒ කොහොම වුණත් අප දකින ආකාරයයි මෙහි සඳහන් වන්නේ. අද මෙරට ප්‍රධාන දේශපාලනය බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් නිදහස් වීමයි. නිදහස් වී සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත පිහිටුවීමයි. එහෙත් එය අවසානය වන්නේ නැහැ. අවසාන ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදීන්ට. අනෙක් මාක්ස්වාදීන් මොකක් දෝ එකක් බලාගෙන වැඩ කරනවා. එය වෙනව ද නැද්ද කියා දන්නේ නැහැ. ඒවා සකර්බර්ග් අනාථ කඳවුරේ කතා කර කර ඉන්න දේ පමණයී.  අනාථ කඳවුර ගැන සකර්බර්ග් මගෙන්  ඇහුවා කියා හිතන අයත් කඳවුරේ ඉන්නවා. නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පොල් වැටෙන්න පුළුවන් කිවුව නම් බටහිර භෞතික විද්‍යඥයන් මොනච කියයි ද?

 

අපට ඊනියා නිදහස දී ඉංගිරිසින් ආපසු ගියේ නැහැ. ඔවුන් අපට දුන් අධ්‍යාපන ආයතන මගින් ඔවුන් අප පාලනය කරනවා. ඊනියා නිදහස ලැබෙන විටත් මෙරට ඔවුන් ඇති කළ දෙමළ ජතිවාදයට තරමක කාලයක්. 1947 රාජාසන කතා විවාදයේ නාගනාදන් කියා හිටියේ දැන් සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දෙමළ ජනකොටස් සිංහලයන්ගෙන් නිදහස ලබාගත යුතු බවත්. ඒ ඊනියා නිදහස ලබා ගැනීමට ඔවුන්ගේ අනුප්‍රාප්තිකයා ප්‍රභාකරන් ආයුධ අතට ගත්තා.

 

අප මෙන් නොව යුද්ධ විශේෂඥයන් වූ රොහාන් ගුණරත්න වැන්නන් ද බටහිරයන් ද කියා සිටියේ ප්‍රභාකරන් පරදවන්න බැරි බවයි. ඔහු අනභිබවනීය යුද්ධ නායකයකු ලෙසයි හඳුන්වනු ලැබුයේ. ප්‍රභාකරන්ලා සටන් කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමටත් රටෙන් කොටසක ඊළම පිහිටුවීමටත්. එහෙත් එය අසාර්ථක වුණා. ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී එලොව ගියා. මා හිතන්නේ නැහැ ඔහුගේ සසර කෙළවර වුණා කියා.

 

ඉංගිරිසින් ඒ සටන දිගට ම ගෙනි යනවා. එහි දී ඔවුන් ඊනියා දෙමළ ඩයස්පෝරාවක් පිහිටෙවුවා. එය නඩත්තු වුණේ ඉංගිරිසි පවුම්වලින්. අප අපේ නිදහස් සටනත් දිගට ම ගෙන යනවා. එහි එක් පියවරක් ලෙස ගෝඨාභය සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති කෙරුණා. වසංගතය නිසා අපට ඩොලර් අර්බුදයක් ආවා. ඒ වසංගතය නිසා ඩොලර් නොලෑබීමත් අවුරුදු හැත්තෑවක පමණ අපේ ජීවන රටාව හේතුවෙන් කොහොමටත් ආදායමට වඩා වියදම වැඩි වීම හේතුවෙන්. ඉංගිරිසින් ඒ ප්‍රයෝජනයට ගත්තා. විමල්ලා බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කිරීම නිසා එංගලන්තය ආර්ථික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කළා.   

 

ඔවුන් පරංගි පරගලයක් ඇති කරා. එයට මුදල් ලැබුණු ආකාරය දැන් දැන් හෙළි වෙනවා. ඒ මුදල් ඊනියා ඩයස්පෝරාව හරහා එංගලන්තයෙනුත් ඇතැම් අරාබි රටවලිනුත් ලැබී තිබෙනවා. පරගලයේ අරමුණ වුණේ ගෝඨාභය ගෙදර යවා රනිල් ජනාධිපති කිරීම. එය හරිණිලා දැන සිටියේ නැහැ. මොනව කරන්න ද? ඔවුන්ට ඔවුන් කියන විධියට එය කියව ගන්න බැරි වෙලා. ඔවුන් වෙන වෙන දේ කියව කියව හිටියා.

 

රනිල් අවශ්‍ය වන්නේ නන්දිකඩාල් ආපසු හරවන්න. ඔහු ඒ වැඩේ පටන් අරන්. අද රනිල් ඊනියා ඩයස්පෝරාවට නොයෙකුත් දේ ලබා දෙනවා. අර කතාවක් තියෙන්නෙ සුද්දො ආවෙ රට කරන්න කියලා. දැන් ඩයස්පෝරාව එන්නෙ රට නගා සිටුවන්න. එත් කොන්දේසි සහිත ව. සිරකරුවන් නිදහස් කිරීම, දෙමළ ජාතිවාදී සංවිධානවල තහනම ඉවත් කිරීම, උතුරේ හා නැගෙනහිර ඉඩම් හමුදාවෙන් ලබා ගැනීම ආදිය ඒ අතර වෙනවා.

 

ආණ්ඩුව අපට කොකා පෙන්නන්න හදනවා. දෙමළ ඩයස්පෝරාව කියන නම යොදන්නෙ නැතිලු. දැන් ශ්‍රී ලංකා ඩයස්පෝරාව කියනවලු. එයට විදේශගත සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයකුට සහභාගි වෙන්න පුළුවන්ලු. ඒකට ඩයස්පෝරාව කියන්න ඕනෙ නැහැ. ඩයස්පෝරාව කියන එකට අද මෙරට දේශපාලනයේ වෙන ම අර්ථකථනයක් තියෙනවා. ඔය අයගෙ එක ම අරමුණ රට සංවර්ධනය කිරීම නම් ඒ සංවිධානයට විදේශගත ශ්‍රී ලාංකිකයන් කියන්න පුළුවන්.

 

ඔවුන් සංවර්ධනය කරන්න කොන්දේසි පනවන්නෙ අහවල් දේකට ද? ඔවුන් හිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් ලබා ගැනීම, ව්‍යවස්ථා සංශෝධන, ආදිය ඉල්ලන්නේ ඇයි? ඔවුන්ට ආයෝජනය කරන්න ඕන නම් රටට ආදරයක් තියෙනව නම් වෙනත් ආයෝජකයන් මෙන් ආයෝජනය කරන්න බැරි ඇයි?  ඔවුන්ටත් ආයෝජනය කරන්න වෙන්නෙ ලංකාණ්ඩුවෙ අධීක්‍ෂණය යටතේ නැත්නම් ඒ ආයෝජනයෙන් වැඩක් නැහැ. ඔය මොන ආයෝජන කතා කිවුවත් ඉංගිරිසින් අපට දෙමළ ජාතිවාදීන් මගින් දෙන්නෙ සොච්චම් මුදලක්. 

 

ඉංගිරිසින් රනිල් ජනාධිපති කෙරෙවුවෙ මීයක් කඩල අත ලෙව කන්න නො වෙයි. මේ නන්දිකඩාල් ආපසු හැරවීමක් හා සිංහලයන්ගෙ කණට ගැහීමක්. පරගලය ආශ්‍රිත ක්‍රියාකාරකම් ඊනියා ජනතා අරගලයක් විප්ලවයක් ලෙස හඳුනාගත් වමාලා හා තවත් අය එය එලෙස නොවීම යන්නෙන් කියන්නෙ තමන්ගෙ කතන්දරය වැඩ කරන්නෙ නැති බව තේරුම් ගන්න එකක් නැහැ.  ඔවුන් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවනවා.

 

ඒ කොහොම වුණත් ඉංගිරිසින් රනිල් ගෙනැවිත් තියෙන්නෙ සිංහලයන්ගෙ හොඳකට නො වෙයි. එහෙත් තවමත් බොහෝ සිංහලයන් ඉංගිරිසින් හඳුන ගෙන නැහැ. ඉංගිරිසින්ගෙ අධ්‍යාපනයෙන් අප පුහුණු කරන්නෙ ඉංගිරිසින්ට අවශ්‍ය විධියටයි. අප තරම් ඒ අධ්‍යාපනය ව්‍යාප්ත කළ පිරිසක් ආසියාවෙ හා අප්‍රිකාවෙ තවත් නැතුව ඇති.