Main Logo

Friday 5 August 2022

ඒ සරත් හා මේ සරත් - දෙවැනි කොටස

 

ඒ සරත් හා මේ සරත් - දෙවැනි කොටස

 

මෙහි පළමුවැනි කොටස කලකට ඉහත පළවූවා. මේ දෙවැනි කොටසයි. සමහර විට තව කොටස් ඉදිරියේ පළවෙන්න පුළුවන්.

 

මේ සරත් හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියා තිබුණේ ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බවත් ව්‍යවස්ථාවෙන් පිටගොස් අරගල කර ජයගත යුතු බවත්. එයට අමතර ව ඔහු කියා තිබුණා අරගලකරුවන්ට වෙඩි තිබ්බොත් විස්සක් තිහක් මියගිය හැකි බවත් එසේ කළහොත් විදේශීය හමුදා පැමිණ හමුදා මුලස්ථාන සුණු විසුණු කළ හැකි බවත් එබැවින් හමුදා ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත්.

 

මෙය හොඳ කතාවක්. ව්‍යවස්ථාවට අනුව අරගල කරන්න බැහැ. ඒක ඇත්ත. අරගලකරුවන් ව්‍යවස්ථාවට පිටින් ගිහින් ජයගන්න ඕන. හමුදාව ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න ඕන. ඒකත් ඇත්ත. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. ව්‍යවස්ථාවට අනුව වැඩ කරන හමුදාව ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න ඕන. එවිට ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන අරගලකරුවන්ගෙන් ව්‍යවස්ථාව ආරක්‍ෂා කරගන්න ඕන. ව්‍යවස්ථාවට අනුව  හමුදාවට ඇතැම් අවස්ථාවල ව්‍යවස්ථාවට පිටින් යන අරගලකරුවන්ට වෙඩි තියන්නත් පුළුවන්.

 

මේ සරත් කියන්නේ එහෙම පුළුවන් වුණත් හමුදාව වෙඩි නොතැබිය යුතු බව. ඒ විදේශීය හමුදා මෙරට හමුදා මූලස්ථාන සුණු විසුණු කරන්න පුළුවන් නිසා. ඒක ඔය කියන තරම් ලෙහෙසි නැහැ. මේ සරත්  කියන විධියට අපේ හමුදා අපේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න කටයුතු කළහොත් විදේශීය හමුදා එයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නෙ විදේශීය හමුදා අපි අපේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට විරුද්ධ ව හමුදා  එවන්න පුළුවන් කියන එකයි.

 

එතකොට අප වැඩ කරන්න ඕන කාගෙ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න ද? එදා දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළේ අපේ ව්‍යවස්ථාවට විරුද්ධ ව. අපේ ව්‍යවස්ථාව අනුව මෙරට ඇත්තේ ඒකීය රාජ්‍යයක්. ඒ සරත් හමුදාවට නායකත්වය දුන්නේ ඒ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න. අප ඒ ගැන ඔහුටත් පොදුවේ රණවිරුවන්ටත් ගෞරව කරනවා. එදත් දෙමළ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය විධියට අපේ ව්‍යවස්ථාව කඩන්න හදපු විදේශීය රටවල් තිබුණා. ඔවුන් අපට විවිධ බලපෑම් කළා.

 

ඒ බලපෑම්වලට චන්ද්‍රිකා රනිල් යටවුණා. ඔවුනුත් ව්‍යවස්ථාව කඩන්න ඕන කියන මතයෙ ඉන්න ඇති. ඔවුන් අර  විදේශිකයන්ගෙ වුවමනාවට සාකච්ඡා මගින් දෙමළ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය දේ දීමට කටයුතු කළා. එහෙත් අද කාටත් අමතක වුණත් මහින්ද අර  නාකි මයිනා ඒ විදේශික බලපෑම්වලට යට නොවී දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළා. අර බටහිරයන්ගෙ ඕනෑකමට රටින් යන්න සලස්සපු ගෝඨාභය ආරක්‍ෂක ලේකම් හැටියට හමුදා මෙහෙයුම් කටයුතු සංවිධානය කළා. ඒ සරත්  යුද්ධ හමුදාව ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

 

මහින්ද හා ගෝඨාභය විදේශීය හමුදා පැමිණ අපේ හමුදා මූලස්ථාන සුණු විසුණු කරාවිය යන මතය උඩ හමුදා මෙහෙයුම්වලට අණ නුදුන්නා නම් සංවිධාන කටයුතු නොකළා නම් මොකක් ද වෙන්න තිබුණෙ. ඒ සරත් එදා හමුදාව මෙහෙයවූවා. මේ සරත් අද හමුදාවට කියනවා ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න එපා කියලා. ඒ සරත් එදා ව්‍යවස්ථාව ආරක්‍ෂා කළා. මේ සරත් අද කියනවා ව්‍යවස්ථාවට පිටින් යන්න කියා. ව්‍යවස්ථාව තමයි රටේ උත්තරීතර නීිතිය. ඒ නීතියට පිටින් යන්න කීියා කියනවිට අනෙක් නීති ගැන මොනවා කියන්න ද? 

 

ඒ සරත් එදා රට වෙනුවෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාව මෙහෙයවූවා. අද මේ සරත් රටට විරුද්ධ ව අරගල කරනවා. ඒ සරත් විදේශීය හමුදා එයි කියල බය වුණේ නැහැ. මේ සරත් විදේශීය හමුදා කලක් තමන් මෙහෙය වූ හමුදාවේ මූලස්ථානය සුණු විසුණු කරාවිය කියා කතාවක් පතුරවනවා. හමුදාව බය කරන්න හදනවා.

 

අගෝස්තු 9 වැනි දා පාරට බහින්න කියා මේ සරත් ඊනියා ජනතාවට කියනවා. එදාට දුම්රිය දුවවන්න බටහිර තානාපතිවරු ඉදිරිපත් වේවි ද? අර රනිල් වෙනුවෙන් නුවර මුලු දුම්රියට ම ප්‍රවේශ පත්‍ර මිල දී ගත් පින්වතා මෙවරත් මේ සරත් වෙනුවෙන් එ කාර්යය කරාවිඳ? අපි බලා ඉඳිමු.