Main Logo

Wednesday 10 August 2022

මනෝ මූලික පරංගි පරගලය

 මනෝ මූලික පරංගි පරගලය

 

පරංගි පරගලය ඉවරයි. ඉවරයි කියන්නේ නිල වශයෙන් ඉවරයි. පරගලය ඉවර වෙලා කාලයක් වෙනවා. දින 125කට පස්සේ පරගලකාරයන් ආතල්ගම අත්හැරලා ගිහිල්ල. මා බොහොම ඉහත දි ලිවුවා ලොව නොසෙල්වූ දස දවස කියල. එතකොට ආතල්ගමට දින දහයක් පිරිලා තිබුණෙ නැහැ කියලයි මගේ මතකය. ලොව සෙල වූ දින දහය (Ten days that shook the world) කියන්නෙ 1917 රුසියන් විප්ලවය ගැන ඇමරිකානු ජනමාධ්‍යවේදියකු වූ ජෝන් රීඩ් ලියු පොත. ඒ කොහොම වුණත් පරගලය දින 125ක් ඇදගෙන ගියා.  ඒ වටලප්පන් බිරියානි හා බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන්. සකර්බර්ග්ගෙ මුහුණු පොතෙන් ඒ සඳහා හොඳ සහායක් ලැබුණ. සකර්බර්ග් ඒ වගක් දන්නෙ නැතුව ඇති. අන්තිමේ දි වතුරෙන් හැදෙන ලුණු වතුරෙන් නැතිවෙනව වගේ රනිල්ගෙ අනුග්‍රහයෙන් කෙරුණු අරගලය රනිල් ම නැති කෙරුවා. දින 125 නුත් ලොව සෙලවුනෙ නැහැ.

 

තවමත් පරගලය තියෙනව කියල දමිතා අබේරත්න හා ඇතැම් වමාලා හිතන් ඉන්නවා. ඔවුන්ට අනුව පරගලය භෞතීය ව ආතල්ගම අත්හැර ගිහින්. දැන් එය තියෙන්නෙ දමිතා අබේරත්නගෙ හා අර වමාලාගෙ හිතේ මනසේ පමණයි. එය භෞතිකවාදී ද මනෝමූල ද කියල මගෙන් අහන්න එපා. ජෙප්පන් හා සෙප්පන් මොකද කියන්නෙ. සෙපි නායකයා කිවුවෙ ඔවුන් යන්නේ නැහැ කියලත් රනිල් බයගුල්ලකු කියලත්.

 

බටහිරයන් පරගලය සැලසුම් කෙළෙ නන්දිකඩාල් සමග. එහි විවිධ පියවර තිබුණ. යහපාලනය, දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටීම, සර් ෆේල් ව්‍යාපෘතිය, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීම, හොරා ව්‍යාපෘතිය, රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවීම, ආර්ථික අර්බුදය ඇති වීම හා හොරා කෑම කතාව, ආර්ථික අර්බුදයේ හේතු වසං කිරීම, පරගලය නිර්මාණය කිරීම. එහි දී විමල් උදය වාසු ත්‍රිත්වය බැසිල්ට විරුද්ධ අරගලය, ආණ්ඩු විරෝධී අරගලයක් බවට පත් කිරීමත් සුවාදීන වීමත් පරගලය නිර්මාණය කිරීමට ආධාර වුණා. බැසිල් විරෝධය නිසාම පොහොට්ටුවේ යම් පිරිසක් ද ශ්‍රී ල නි ප යම් පිරිසක් ද සුවාදීන වෙලා පරගලයට දර දිය ඇද්ද.

 

බටහිරයන්ට ඕන කෙළෙ මහින්ද හා ගෝඨාභය යැවීමයි. බැසිල් යැවීම නො වෙයි. සුවාදීනයන්ට අවශ්‍ය වුණෙ බැසිල් යවන්න. ඒ සඳහා ඔවුන් පළමුව මහින්ද යවන්න පෙළ ගැහුණා. අද වෙලා තියෙන්නෙ මොකක් ද? මහින්ද හා ගෝඨාභය ගිහින් බැසිල් ඉන්නවා. බැසිල් වජිර එක්ක වැඩ. මා අවුරුදු හැටකට පමණ පෙර විශ්වවිිද්‍යාල ප්‍රවේශයට ඉගෙන ගන්න කාලෙ  අත්හැර දැමූ රසායන විිද්‍යාවෙ රසායනික ප්‍රතික්‍රියාවල මට මතක හැටියට උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාවෙදි වැඩ කෙරෙනවා නමුත් ප්‍රතික්‍රියාව අවසානයෙ එහෙම ම තියෙනවා. බැසිලුත් ඒ වගේ. අප අමතක කළ යුතු නැහැ 2015 ආණ්ඩුව පරාජය වීමට බැසිල්ගේ හා මහේන්ද්‍ර පුත්‍රයන්ගේ වැඩ කිඩත් හේතු වුණු බව. මහින්දත් ගෝඨාභයත් නැති වුණාට බැසිල් මෙන් ම නාමල් ද තවමත් ඉන්නවා.

 

ඔවුන්ගේ මීළඟ වෑයම කුමක් ද? ශීරන්ති මොකද කියන්නෙ. ගෝඨාභයගෙ අපේක්‍ෂකත්වයට රාජපක්‍ෂ පවුල  කැමති වුණෙ නැහැ. ඔහු ජනාධිපති වූ පසු එතරම් සහායක් දුන්නෙත් නැහැ. ගෝඨාභය 2024 දිත් දිනාවි ද කියා ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණ ද? නැහැ මට නාථ දෙවියන්ගෙන් මේ එකක්වත් අහන්න ඕන නැහැ. පරගලයෙන් රනිල් ජනාධිපති වෙන බව මට කිවුවෙ නාථ දෙවියන් නො වෙයි.

 

මහින්ද අගමැති කමෙන් ඉවත් වුණාට පස්සෙ අපි කිවුවෙ දිනේෂ් ගුණවර්ධන හරි සරත් ෆොන්සේකා හරි අගමැති කරන්න. ඒ ගෝඨාභය ශක්තිමත් කරන්න. එහෙත් ගෝඨාභය හිතුවෙ වෙනත් විධියකට. ඔහුට ඕන කෙළෙ ඩොලර්. ඔහු හිතුවෙ රනිල්ට ඩොලර් ගේන්න පුළුවන් කියලා. වෙනත් අය බොරු කතා කිය කිය වැඩේ කර ඇරිය. ගෝඨාභය රනිල් අගමැති කරා. ඒ වෙලාවෙ ඔහුට ඔහුගෙ වැඩේට වෙනත් විකල්පයක්  තිබුණෙ නැහැ. එහෙත් රනිල්ට ඕන වුණෙ වෙනත් දේ. විජේදාස රාජපක්‍ෂ ආණ්ඩුව වෙනුවෙන් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති බලතල එතරම් කැපෙන්නෙ නැහැ. ඒක දහනවේ දිය කරපු එකක් කියල සජිත්ටත් තේරුණා.

 

රනිල් පරගලයට මුල ඉඳන් සහාය දුන්න. අප කියා ඇති ඔහු ආතල්ගම පැත්තෙවත් නොගිහින් තමා පරගලයෙ ඉන්න බව වසං කළා කියලා. ආණ්ඩුව (ගෝඨාභය) රනිල්ට නියම කරපු ඩොලර් සෙවීම වෙනුවට ඔහු ව්‍යවස්ථාව ගැනයි අරගලය ගැනයි කියව කියව හිටිය. ඔහු රුවන් විජේවර්ධනට කිවුව පරගලකාරයන් රැක බලාගන්න කියලා. ගෝඨාභය ඉවත් වෙන තුරුම ඔහු පරගලකාරයන් විවේචනය කෙළෙ නැහැ. ඔහු අගමැති වීමෙන් පසව තමයි පරගලකරයන් ජනාධිපති මැදුරට කඩා වැදුනෙ. කොහොමටත් ඔවුන් දිගට ම ජනාධිපති කාර්යාලට ඇතුල්වීම අවහිර කරල තිබුණෙ. රනිල් විරුද්ධ ව වචනයක් කිවුවෙ නැහැ. ඒ බලහත්කාරකම් ප්‍රචණ්ඩ වැඩ. ආයුධ තිබීම ප්‍රචණ්ඩත්වයට අනිවාර්ය නැහැ.

 

ඒත් ඔය වෙලාව වෙන කොට සෙප්පන් ද පරගලයට ඇවිත්. ඔවුන්ට තියෙන්නෙ අන්තරේ විතරයි. ඔය තරුණයන් ගැන මා පේරාදෙණි කාලෙ ජෙපි සමයෙ  ඉඳන් දන්නවා. ඔවුන්ට ඕන රැඩිකල් සටන් පාඨ හා සෝබන වීර ක්‍රියා. රනිල්දාසට වඩා ගුණරත්නම්ට ඒක කරන්න පුළුවන්. අද කෝ ගුණරත්නම්. ඔහු උපක්‍රමශීලීව පසු බැහැල ද? ගෝඨාභය එළවීමෙන් පසු රනිල් වැඩ බලන ජනාධිපති වුණා. බැසිල් එක්ක වැඩ කරන වජිර පාර්ලිමේන්තු ආවා. රනිල් වැඩි ඡන්දෙන් ජනාධිපති වුණා. ඩලස්ට දෙනව කිවුව ඡන්දවත් ලැබුණෙ නැහැ. ඒ වෙලාවෙ ඩලස් ජනාධිපති වුණා නම් තවමත් පරගලකාරයො ජනාධිපති මැඳුරෙ, ගුණරත්නම් ආතල්ගමේ වස් වසපු හාමුදුරුවරුන්ට දානෙ දෙනවා. හැබෑට ම ඒ හාමුදුරුවරුන්ට ආතල්ගමේ වස් වසන්න ආරාධනා කෙළේ කවුද? ගුණරත්නම් ද? අපරාදෙ ඒ හාමුදුරුවරුන්ගෙ වස් කැඩිලා.

 

කොහොමටත් සෙප්පන්ගෙ වැඩ නිසා රනිල්ට ඔවුන් පළවා හැරීමට හදිසි නීති හා හමුදාව අවශ්‍ය වුණා. එතනදි බටහිර තානාපතිලා හා රනිල් අතර තරමක මතභේදයක් ඇති වුණා. බටහිරයන්ට අවශ්‍ය වුණෙ තමන්ගෙ ලංකා වසන්තය බොහොම සාමකාමී ව උදා කරන්න. ඒත් රනිල් එහෙම බැරි බව දැන හිටියා. ඔහුට සිද්ධ වුණා බටහිර තානාපතිලට ටිකක් තදින් කතා කරන්න. එහෙම කතා කරපු එකත් සෙප්පන් පළවා හැරීමත් හොඳයි. අවසාන ප්‍රතිඵලය ලෙස රනිල් බලවත්වීම හොඳ නැති වුණත් ඒ වැඩේ හොඳයි. ඒත් රනිල් අරගලකරුවන් හා කැරළිකරුවන් අතර දක්වන වෙනසට අප එකඟ වෙන්නෙ නැහැ. ඔවුන් ඔක්කොම පරාජය කළ යුතුව තිබූ පරගලකරුවන්. ගෝඨාභය දරුවන් සන්දා ඒ නොකළ බැවීනුයි ඔහුට යන්න සිද්ධ වුණේ. එහෙත් අද ඔහුට දරුවන් ළඟට යන්නත් බැහැ. ඔහු පරගලකරුවන් ගෙදර යැවුව නම් ඔහුට ගෙදර යන්න වෙන්නෙ නැහැ.

 

දැන් රනිල් පූර්ණ බලැති ජනාධිපති. විසි එක ගෙනාවත් එකයි නැතත් එකයි. බටහිර තානාපතිලත් දැන් රනිල් අනුමත කරනවා. එංගලන්තෙ  රැජනත් රනිල්ට සුබ පතලා. ඒ නොහොඳ නෝක්කඩු බත් හැලිය ඉදෙනකම් විතරයි. දැන් මොකද කරන්නෙ. වමාලගෙ විප්ලවය පැරදුණාට ජාතිකත්වය පැරදිල නැහැ. වමාලගෙ විප්ලවය කවදාවත් කොහේවත් දිනපු එකක්වත් දිනන එකක්වත් නො වෙයි. රනිල්ට ආර්ථික අර්බුදයට පිළියම් නැහැ. බටහිරයන් ජාමුල ඩොලර් දෙන්නෙත් නැහැ. තෙල් ප්‍රශ්නය විදුලිය ප්‍රශ්නය නැවතත් උග්‍ර වෙනවා.

 

සජිත් එන්න එන්න ම දුර්වල වෙනවා. ඕවල් ක්‍රීඩාංගනයෙ කේන්දරකාරයො රනිල්දාස ඔසවන්න හදනවා. රනිල් හා පොහොට්ටුව අතර දැන් ජාතික ආණ්ඩුවක් තියෙනවා. ඒත් ඒක ව්‍යවස්ථානුකූල ජාතික ආණ්ඩුවක් පමණයි. අද යම් ආකාරයක ජාතිකත්වයක් ඇති ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි. ව්‍යාජ ජාතිකවාදීන්ටවත් ඩලස් ජී එල් වැනි පැකේජ්කරුවන්ටවත් එවැනි ජාතික ආණ්ඩුවක් හදන්න බැහැ. අද අවශ්‍ය ඊනියා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්වත් සර්ව පාක්‍ෂික වැඩ පිළිවෙළක්වත් නොවෙයි, ජාතික වැඩ පිළිවෙළක් හා ජාතික ආණ්ඩුවක්.