Main Logo

Wednesday 17 August 2022

සිංහලයන්ට රනිල්ගෙන් කෑමක්

 

සිංහලයන්ට රනිල්ගෙන් කෑමක්

 

හරිණි අමරසූරිය බුද්ධිමත් කාන්තාවක්. ඇය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. සමහර විට මහාචාර්යවරියක් වෙන්නත් පුළුවන්. ඇය රනිල්දාසගෙ පක්‍ෂයෙන් පත් කෙරෙණු මන්ත්‍රීවරියක්. පාර්ලිමේන්තුවේ උගතුන් බුද්ධිමතුන් නැතැයි කිවුවට ජී එල්ගෙන් පටන් ගත්ත ම විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරු කථිකාචාර්යවරු කී දෙනෙක් ඉන්නවා ද? ඔවුන් වැඩිය කැමති සුවාදීන වෙන්න. විශ්වවිද්‍යාලත් සුවාදීන ආයතන නොවැ. ඒත් හරිණි එහෙම නැහැ. ඇය සුවාදීන නැහැ.

 

ඇය කියා තිබුණා පරගලයේ දුර්වලකම වුණේ ගෝඨාභය ගිය පසු පත් කරන්නේ කවුද කියන එක ගැන එකඟත්වයක් නොතිබීම කියා. මොන විකාර එකඟත්වයක් ද? පත් කරන්නේ කවුද යන්න තීරණය කිරීම රනිල්දාසටවත් පැවරීමට බටහිරයන් එකඟ වෙයි කියල හරිණි හිතනවා ද? ඒක ඔවුන් තීරණය කරල තිබුණෙ. හරිණිල හැරල තමයි ගෝඨාභය යවන්නත් රනිල් එවන්නත් බටහිරයන් තීරණය කරල තිබුණෙ. රනිල්දාසලාට ක්වොන්ටම් පරාජයගොඩලාට තිබුණෙ නායකත්වය දෙන බවට රඟපාන්න පමණයි.

 

මුළු පරගලය ම එක ම එක අරමුණක් වෙනුවෙන් කෙරුණෙ. ඒ නන්දිකඩාල් පරාජයේ පළිය ගෙන සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන පරාජය කරන්න. ඒ සමග මහින්ද හා ගෝඨාභය ගෙදර යවන්න. අද ගෝඨාභය රටින් රට යන්නකු බවට පත් කරලා. ඔහු ඉවත් කිරීම තමයි බටහිරයන්ගෙ ප්‍රධාන ඉලක්කය වුණෙ.  සර් ෆේල් සිට ගෝඨා ගෝ හෝම්  දක්වා තිබුණෙ සැලසුමක් ඇතුව සකස් කළ සටන් පාඨ. හරිණිලට තිබුණෙ ඒවා වැමෑරීම පමණයි. වමාලා කියන්නෙ කොහොමත් වමාරන්නන් පිරිසක් පමණයි. ඔවුන් වැමෑරීමට දේශපාලනය කරනව කියා කියනවා.

 

අද රනිල් තමන්ගෙ නියම පාට පෙන්නන්න පටන් අරන්. ගෝඨාභය රටින් පිටමං කරල ඔහු හෝටල් අඩස්සියෙ තියල රනිල් බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්තය හා ඉන්දියාව සමග එක්වෙලා විසුරුණු දෙමළ ජනයාගෙ එහෙමත් නැත්නම් අර බයිබල් සම්ප්‍රදාය අනුව ඊනියා ඩයස්පෝරාවට දොර අරින්න සූදානම්. එහි මූලික පියවරක් ලෙස දෙමළ ජාතිවාදී සංවිධාන හයක තහනම ඉවත් කරලා. ඩයස්පෝරා කියන එක පරණ තෙස්තමේන්තුවේ යෙදෙන්නෙ නිජභූමියෙන් පිටමං කෙරුණු ජනයා යන අර්ථයෙන්. ඒ මිසරයේ නැත්නම් ඊජිප්තුවේ පලස්තීනයෙන් පිටමංව සිටි යුදෙවුවන් හැඳින්වීමට යොදාගත් වචනයක්. ඔවුන්ට ආපසු යෑමට මග පෙන්වූයේ මෝසෙස්.

 

අද ඊනියා මෝසෙස්ල වැහි වැහැල. අර එම්මානුවෙල් පූජකවරයා සුමන්තිරන් ආදී පිරිසක් මෝසෙස්ලා වෙලා. නැහැ රනිල් මෝසෙස් කෙනකු නො වෙයි. ඔහු සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔහු එංගලන්තයට අවශ්‍ය විධියට වැඩ කරන්නකු පමණයි. පරගලයට එකතු වෙච්ච  බොරුවෙන් උපන් දරුවන් මේ කිසිවක් දන්නෙ නැහැ. හරිණි බුද්ධිමතී නොදන්න කොට ඔවුන් දන්නෙ කොහොම ද? ඔවුනුත් අර බටහිරයන් උගන්නපු විධියට ගෝඨා හොරා කිවුව එක පමණයි කෙළෙ.

 

රනිල්ට ඩොලර් දෙන්න ඉන්නෙ ඔය තහනම ඉවත් කරපු දෙමළ ජාතිවාදී සංවිධාන පමණයි. ජාමුලෙ එතරම් දෙයක් දෙන්නෙ නැහැ. ගෝඨාභය කළ මෝඩකමක් වුණෙ රනිල් මුදල් ඇමති හා අගමැති කිරීම. ඔහු හිතුවෙ රනිල්ට ඇතැයි කියන ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් උඩ ඩොලර් හොයා ගන්න පුළුවන් වේවි කියල. අප කියා සිටියෙ රනිල් අගමැතිකමෙන් අස් කරන්න කියලා. අප කියාපු දේ රාජපක්‍ෂලා ඇහුව නම් මේ රටට මෙවිපත සිදු වන්නෙ නැහැ.

 

රනිල් ඩොලර් ලබාගැනීම සඳහා දෙමළ ජාතිවාදී සංවිධානවල කාර්යාලයක් විවෘත කරන්න යනවා. පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන් එයට එකඟ ද? ඔය දෙමළ ජාතිවාදීන් වෙස්සන්තරලා ද? ඔවුන් ඩොලර් කොපමණ දෙනවා ද? ඒ සඳහා ඔවුන් ඉල්ලන්නේ මොනවාද? රට බෙදීම ද? සහසන්ධීය රාජ්‍යයක් ද? ඒ කුමක් ද කියා රනිල්වත් දන්නවා ද? ඒ සියල්ල තීරණය කෙරෙන්නේ එංගලන්තයේ. රනිල් බටහිරයන්ගේ වුවමනාවට ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කරන්න කිලිනොච්චි එක්කන් ගියේ එවකට නෝර්වේ තානාපතිවරයා.

 

පොහොට්ටුව අද ගෝඨාභය මහින්ද ප්‍රතිපත්ති අත්හැරලා ද? බැසිල් මොකද කියන්නෙ. පරගලයේ ක්‍රිස්තියානි පසුබිම දැන්වත් තේරෙනවා ද? එයට මුස්ලිම් සහයකුත් තිබුණා. සිංහලයන් වටලප්පන් බිරියානි කාලා ගෝඨාභය යැවුවා. දැන් දෙමළ ජාතිවාදීන් ගේනවා. පරගලයට අවශ්‍ය වුණෙ බොරු කියල ගෝඨාභය යවල සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විය යුතු විශේෂත්වය නැති කරන්න. මේ සියල්ලට බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කරමින් පරගලයට පාර කැපූ විමල් උදය වාසු ත්‍රිත්වයත් වග කියන්න ඕන.

 

මේ බොරු බේගල් නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ ගැනත් ඉංගිරිසින් ලියල තියෙන්නෙ බොරු බව පැහැදිලි වෙනවා. බොරු ප්‍රචාරයෙන් රටවැසියන් රජු කෙරෙහි කළකිරවල රජු අල්ලා පිටරට යැවීමට කටයුතු කළා කියා හිතන්න පුළුවන්. ඒත් මා හිතන්නෙ නැහැ ඇහැළෙපොළ රනිල් කෙනකු කියා. ඇහැළෙපොළ ඉංගිරිසින්ගෙ උදවුවෙන් රජකම ගන්න ගියේ ඉංගිරිසින්ගෙ තරම නොදැන. රනිල් එහෙම නොවෙයි. ඔහු ඉංගිරිසින් විසින් තම අපේක්‍ෂා ඉටු කර ගැනීම සඳහා ජනාධිපති පදවියට පත් කරනු ලැබූවෙක්.   රාජසිංහ හා රාජපක්‍ෂ හොඳ සංසන්දනයක් වේවි. 

 

රනිල් තව තවත් සිංහලයන්ට විරුද්ධව ක්‍රියා කරන තෙක් බලා නොසිට ඔහු ඉවත් කරන්න ඕන. එහෙත් ඒ සඳහා සිංහලයන්ට යම් කැප කිරීමක් කරන්න වේවි. රනිල් හිටියත් ඔහුගෙන් එතරම් කැමක් බීමක් අධිපරිභෝජක බොරු ෂෝක් කරන බොරු උගත්  සිංහලයන්ට ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට හොඳ කෑමක් නම් ලැබේවි.  නැහැ ලන්ච් එකක් නොවෙයි.