Main Logo

Saturday 14 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 8


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 8





විජය රජු හා පිරිස මෙරටට පැමිණෙන විට සිටි ජනයා ගැන මහාවංසය යමක් නිවැරදි ව නොපැවසීම දෙමළ ජාතිවාදීන් විවිධ අර්ථකථන සඳහා උපයෝගී කර ගන්නවා. නාගයන් දෙමළ යැයි කීම එක් කරුණක්. එහෙත් ඇසෑමයේ නාගයන් දෙමළ නොවීම ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැහැ. මා සිංහල ඉතිහාසයට එබී බැලීමක් යන ලිපියෙන් කියා ඇත්තේ විජය රජු හා පිරිස වෙනත් ජනවර්ගයක් මෙරට ඇති නොකළ බවත් ඔවුන් මෙරට සිටි ජනයා සමග මිශ්‍ර වී යම් සංස්කෘතික වෙනස්කම් පමණක් ඇති කළ බවත්.




මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙරත් මෙහි බෞද්ධයන් සිටි බව දැන් පිළිගත් කරුණක්. ඒ සඳහා සෙල්ලිපි ද ලෙන් ද ඊනියා සාධක ලෙස පෙන්වන්න පුළුවන්. මේ සාධක හමුවන්නට පෙරත් මේ බෞද්ධ කතාව මෙරට තිබුණා. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම (මහාවංසය පමණක් නොව වර්ගපූර්ණිකාවත් ඒ ගැන සඳහන් කරනවා. එමෙන් ම දැන් දැන් සෙල්ලිපි ද හමුවෙනවා.) තපස්සු භල්ලුක සිද්ධිය, ආදිය හේතුකොට ගෙන කතාවක් නිර්මාණය වී තිබුණා. ඒ කතාවට ජනප්‍රවාදයෙන් ලැබුණු කරුණුත් එකතු වී තිබුණා. එපමණක් නොව පෘතුගීසි සමයේදීත් ඒ කතාව තිබුණු බව පමණක් නොව සිංහල අවුරුද්ද ඇරඹීමත් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීමක් සමගත් සම්බන්ධ බවට රොබෙයිරෝ දැනගත් කතාවක් තියෙනවා. ඒ ගැන මා කලින් ලියා ඇති.



දැන් දැන් ඊනියා සාධක හමුවීමට මේ පැරණි බෞද්ධ කතාව ආධාර වෙනවා. ඊනියා සාධක කතාවලින් ස්වායත්ත නැහැ. සාධක බොහෝ විට විවරණය වන්නේ කතා අනුවයි. කතා ගෙතීමත් සාධක සොයන්නට උපකාරයක් වෙනවා. කතාව නොතිබුණා නම් ඊනියා සාධක වෙනත් ආකාරයකින් ඉදිරිපත් වීමට, නිරූපණය වීමට තිබුණා. එහෙත් මෙරට කතා ගොතන්නන්ට කිසිම වැදගත්කමක් දෙන්නේ නැහැ. සාධක සොයා ගන්නන්ට පමණක් පිළිගැනීමක් ලැබෙනවා. සිංහල පැත්තෙන් කියන කතා සාධක මගින් සනාථ වන නමුත් දෙමළ කතා සනාථ කිරීමට සාධක හමුවන්නේ නැහැ. දෙමළ තීෂම්ලා තවමත් හොයා ගන්නට නැහැ.



එබැවින් සුන්දරලිංගම් හා අනෙක් දෙමළ නායකයන්ගේ කතා සනාථ වන්නේ නැහැ. එහෙත් සරදමක් මෙන් ඔවුන්ගේ ඊළම් කතාව මෙරට සිංහලය ලෙස හැඳින්වූ බවට තවත් සාධකයක් වෙලා. මතක තබා ගන්න සුන්දරලිංගම් (ඔහු කොළඹ විශ්වවිද්‍යාල ආයතන සමයේ ගණිත මහාචාර්යවරයා වූවා) ඊළම කීව්වේ මුළු ලංකාවට ම බව. මදූරාසි විශ්වවිද්‍යාල ශබ්දකෝෂයට අනුව ඊලාම්හි නිරුක්තිය සිංහලාම්. ඊළම කියන්නේ සිංහලේට. සෙයිලාන් සිලෝන් ආදී වචන සිංහල යන්න විවිධ භාෂාවලට බිඳී ගිය ආකාරය.



හතළිහේ දශකයේ මුල සෝල්බරි කොමිසම මෙරටට පැමිණියා. එයට පෙර 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාරක සභාවල සභාපතිවරුන් ලෙස (එකල ඔවුන් කැබිනට් නොවූවත් ඇමතිවරුන් ලෙස සැලකුණා) සිංහල දෙමළ නායකයන් කටයුතු කළා. සිංහල නායකයන්ට ඩොමීනියන් තත්වයේ නිදහසක් ලබා ගැනීමට අවශ්‍ය ව තිබුණා. 1948 සිට 1972 දක්වා අපට තිබුණේ එවැනි නිදහසක්. එකල එංගලන්තයේ රජු ලංකාවේ රජු ලෙස පිළිගැණුනා. එංගලන්තයේ රජුගේ නියෝජිතයකු මෙරට අග්‍රාණ්ඩුකාරයා වූවා.



දෙමළ නායකයන් මේ නිදහසටත් විරුද්ධ වුණා. ඔවුන් දැන සිටියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආරම්භයත් සමග ඔවුන්ට නැති වුණු රටේ නායකත්වය නිදහසත් සමග තවත් දුරස්වන බව. දෙමළ නායකයන් තමන්ට නායකත්වය බලාපොරොත්තුව සිංහලයන්ට විරුද්ධ ව වැඩ නොකෙළේ නම් සිංහලයන් දෙමළ නායකයකු රටේ නායකත්වයට පත්කර ගැනීමටත් ඉඩ තිබුණා. එක් කොන්දේසියක් උඩ. එනම් සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව පිට. සිංහලයන්ට වඩා වැදගත් සිංහල බෞද්ධ රාජ්‍යයයි.



චීනුන්ට කොන්ෆියුෂියස් රාජ්‍යය (බටහිරයන්ට අනුව ඊනියා සභ්‍යත්ව රාජ්‍යය) මෙන් ම සිංහලයන්ට සිංහල බෞද්ධ රාජ්‍යය වැදගත්. සිංහල බෞද්ධ කියන සංකල්පය ධර්මපාලතුමාගේ සංකල්පයක් නො වෙයි. එතුමාගේ පුවත්පතත් සිංහල බෞද්ධයා ලෙස නම් කෙරුණත් එය ගැමුණු රජතුමාගේ කාලයේ සිට අප සතු වූවක්. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමේත් ප්‍රධාන වගන්ති දෙක මේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්‍ෂා කිරීම ගැනයි. මෙරට පඬියන්ගේ ප්‍රශ්නය ඔවුන් මෙරට ඊනියා ජාතික රාජ්‍යයක් සෙවීමයි. ඔවුන් තරමක් දන්නේ බටහිර සංකල්ප පමණයි. යුරෝපයේ ජාතික රාජ්‍යය ඇති වීමට පෙර ලෝකයේ ජාතීන් නොවූ බවයි ඔවුන් දන්නේ. ඔවුන් කොන්ෆියුෂියස් රාජ්‍යය හා සිංහල බෞද්ධ රාජ්‍යය ගැනත් චීන හා සිංහල ජාතීන් ගැනත් දන්නේ නැහැ. සිඩ්නි විශ්වවිද්‍යාලයේ චීන අධ්‍යයන කේන්ද්‍රය ගැන ඔවුන් නොදන්නවා වෙන්න ඇති. පඬියකු චීනයට යවන්න බැරි නම් අඩු තරමෙන් සිඩ්නි විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන් ද? එහෙම ගියත් ඔපෙරා හවුස් හා පාළම බලා එන්න බැරි නැහැ.



1931 පත් වූ දෙමළ ඇමතිවරුන් (කාරක සභා සභාපතිවරුන්) ඩොමීනියන් නිදහසටත් විරුද්ධ නිසා 1936 මැතිවරණයෙන් පසු ඩී එස් සේනානායකට අවශ්‍ය වුණා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාරක සභාවල දෙමළ සභාපතිවරුන් නොතේරෙන ආකාරයට ඒ කාරක සභාවලට මන්ත්‍රීවරුන් අනුයුක්ත කරන්න. එහි දී ඔහුට සහායට පැමිණියේ ගණිත මහාචාර්යවරයකු වූ සුන්දරලිංගම්! එහෙත් සෝල්බරි කොමිසම ඉදිරියට ගිය දෙමළ නායකයන් නිදහසට විරුද්ධව කතා කළා පමණක් නොව සර්වජන ඡන්දයෙන් සිංහල මන්ත්‍රීවරුන් බහුතරයක් පත්නොවන ආකාරයට මන්ත්‍රී ආසන බෙදා වෙන් කරන්න ඉල්ලුවා. එකල තිබූ බහු මන්ත්‍රී ආසන ඒ සඳහා සෝල්බරි දුන් සහනයක් පමණයි. එහෙත් සෝල්බරි ඔවුන්ට පෙන්වා දුන්නා 75%ක් සිංහලයන් සිටින විට ඔවුන්ගෙන් තෝරා පත්වෙන මන්ත්‍රී සංඛ්‍යාව 50%ට අඩු කරන්න බෑරි බව. අදත් සීමා නිර්ණයන කොමිසම් මගින් මේ ජාතිවාදී දේශපාලනය සිංහලයන්ට විරුද්ධව කෙරෙනවා!