Main Logo

Tuesday 31 July 2018

නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව




නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව



පසුගිය දිනෙක අනුරාධපුරයේ ඇත කාලයේ දෙමළ ජනතාව හිටි බව කියැවුණා. ඔවුන් ටික දෙනකු වෙළඳාම සඳහා මෙහි පදිංචි වී සිටි බවත් කියැවුණා. අපේ උගතුන් (මාධ්‍යවේදීන් ද ඇතුළුව) සංකල්ප ගැන එතරම් නිරවුල් නැහැ. සරල රේඛා ඛණ්ඩය, කිරණය, සරල රේඛාව අතර ඇති වෙනස දන්නා අය කී දෙනකු ලංකාවේ ඉන්නවා ද? සැවො ම පාහේ සාමාන්‍ය පෙළට ගණිතය හදාරනවා. සෑහෙන පිරිසක් සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. එහෙත් ප්‍රශ්න පත්‍රවලත් AB සරල රේඛාව යනුවෙන් සරල රේඛා ඛණ්ඩ හඳුන්වනවා. කිරණයක් කියන්නේ එක් ලක්‍ෂ්‍යයකින් පටන් ගෙන එක් දිශාවකට පමණක් අනන්තයට විහිදෙන ගණිතමය භූතාර්ථයකට. සරල රේඛාවක් නම් දෙපැත්තට ම අනන්තය දක්වා විහිදෙනවා. සරල රේඛා ඛණ්ඩයක් එක් පැත්තකින්වත් අනන්තයට යන්නේ නැහැ.




අද දෙමළ ජනතාව කියන අර්ථය එදාට වඩා වෙනස්. අපේ ලේඛනවල දමෙඩ කියන වචනය තියෙනවා. ඒ දෙමළ යන්නෙහි ප්‍රාකෘත ස්වරූපයක් කියා කියනවා. එදා අද අරථයෙන් දෙමළ ජනතාවක් හිටියේ නැහැ. එදා දෙමළ කතා කරන ජනයා නම් හිටියා. අදත් ලංකාවේ නම් ඉන්නේ දෙමළ කතා කරන ජනයා. ඉන්දියාවේ නම් දෙමළ ජනවර්ගයක් ඉන්නවා. එහෙත් ඉතිහාසයෙ කෙදිනකවත් කොහේවත් දෙමළ ජාතියක් තිබිලා නැහැ. එදා දෙමළ කතා කරන ජනයා මෙහි පැමිණියේ වෙළඳාම සඳහායි. ඔවුන් වෙනුවෙන් දෙමළ බසින් සෙල්ලිපි ද ඉතා ස්වල්පයක් තිබුණා. එහෙත් එයින් ඔවුන් මෙහි පදිංචි වී සිටි බවක් කියන්නේ නැහැ.



ද්‍රවිඩ කියන්නේ දෙමළ නොවෙයි.  දෙමළ හැරුණු විට තවත් ද්‍රවිඩ භාෂා තියෙනව. මලයාලම්, තෙළිඟු, කන්නඩ, තුළු ආදී වශයෙන්. තෙළිඟු කතාකරන අය තමයි වැඩි ම. ඊළඟට දෙමළ කතා කරන අය. ලංකාවේ පඬියන් විශේෂයෙන් ම ජනමාධ්‍යවේදීන් දෙමළ කියන එක අගෞරවයක් ලෙස සලකා දමිළ කියනවා නැත්නම් ද්‍රවිඩ කියාත් කියනවා. ද්‍රවිඩයන් සාධාරණ වශයෙන් ගත් කළ නිල වශයෙන් ඊනියා ආර්ය සංස්කෘතිය අවශෝෂණය කර ගෙන නැහැ. එහෙත් අද වන විට වෛදික කතාත් ද්‍රවිඩ සංස්කෘතිවල තියෙනවා. අද්වෛත වේදාන්තයේ නිර්මාතෘ අද කේරළය නමින් හඳුන්වන ප්‍රදේශයේ සිටි අධිශංකරාචාර්යවරයා.



කාට හරි අහන්න පුළුවන් එකල සිංහල නමින් හැඳින්වුණෙත් සිංහල කතා කරන ජනයා ද කියා. විදේශවල සිංහලයන් ගැන ලියූ සෙල් ලිපි තියෙනවා. ඒ සිංහල කතා කරන ජනයා ද කියා අහන එක හොඳයි. එහෙත් එකල ඈත අතීතයේ මෙරට හැඳින්වුණෙත් සිහල දේශය කියා. සිහලාම් කියන චන තමයි ඊළාම් වෙලා තියෙන්නෙ. සෙයිලාන් සිලෝන් ආදී වචනත් සිංහලාම් යන්නෙන් බිඳුණු ඒවා. මෙරට සිංහල රාජ්‍යයක් ද තිබුණා.  එහි විවිධ වාංශිකයන් රජ කරන්න ඇති. එහෙත් රාජ්‍යය වෙනස් වුණේ නැහැ. අවසානයේ දී ආන්ද්‍ර සම්භවයක් තිබූ නායක්කාර් රජවරුත් රජ කෙළෙ සිංහල රාජ්‍යයෙහි. දෙමළ ජාතිවාදීන් අපේ අවසාන රජවරු දෙමළ කියා කියන්නෙ අපට සංකල්පීය නිරවුල් බවක් නැති වීම නිසා.  මෙරට ගැමුණු රජ කාලයෙ සිට සිංහල බෞද්ධ රාජ්‍යයක් තිබුණා. එසේ කීම ගැන ඇතැම් නෛතික ජාතිකවාදීන් කැමති නැහැ. එහෙත් කරන්න දෙයක් නැහැ.  



දඹදිව එසේ නොවෙයි. රාජ්‍ය තිබුණේ වාංශික රාජ්‍ය ලෙස. සොලී රාජ්‍යය ඇතිවුණෙ නවවැනි සියවසේ පමණ. එයට පෙර වෙනත් වාංශික රාජ්‍ය තිබුණා. එයට පසුවත් රාජ්‍ය තිබුණා. එහෙත් දෙමළ රාජ්‍යයක් තිබුණේ නැහැ. අද තමයි තමිල්නාඩුවක්වත් තියෙන්නෙ. එය දෙමළ රාජ්‍යයක් නො වෙයි. ආන්ද්‍ර ප්‍රදේශය අද ආන්ද්‍ර හා තෙළඟනා නමින් ප්‍රාන්ත දෙකක් වෙලා. ඒ දෙකෙහි ම කතා කරන්නෙ ද්‍රවිඩ භාෂාවක් වූ තෙළිඟු. එකල පාණ්ඩ්‍ය, චෝල, විජයනගර් ආදී රාජ්‍යවල දෙමළ කතා කළා. නමුත් ඒ කිසිවක දෙමළ රාජ්‍යයක් තිබුණෙ නැහැ. දෙමළ රාජ්‍යයක් නැතිව දෙමළ ජාතියක් තියෙන්න බැහැ.



සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැතිව විභාග සමත් වෙන්න පුළුවන්. අදාළ විෂයයෙන් ඒ සාමාර්ථ ලබා ගන්න, උපාධියෙන් ප්‍රථම පංතියේ සාමාර්ථ ලබා ගන්න පුළුවන්. එහෙත් වත්මන් දේශපාලනයෙහි, විශේෂයෙන් ම බටහිරයන් මැදිහත් ව කෙරෙන දේශපාලනයෙහි නිරවුල් සංකල්ප ඉතා වැදගත් වෙනවා. ප්‍රවාද ගැනත් එසේ මයි. මෙරට අධ්‍යාපනයෙහි දුර්වල ම තැන සංකල්ප හා ප්‍රවාද ගැන නිරවුල් අවබෝධයක් ලබා නො දී ම.



මෙරට පඬියන් විවිධ බටහිර ප්‍රවාද සංකල්ප පුනරුච්චාරණය කරනවා. ඔවුන්ට ඒ ගැන නිරවුල් අවබෝධයක් නැති බව පැහැදිලියි. ඒ නිසා ඔවුන්ට අවවාදයක් දීමටත් නො හැකියි. යම් දවසක පඬියන් තමා දන්නේ යැයි කියන දේ ගැන නිරවුල් අවබෝධයක් ලබා ගතහොත් බ්‍රහ්මජාල සූත්‍රය කියවා තම ඊනියා දර්ශනය අයත් වන්නේ ඒ දිට්ඨි හැට දෙකෙන් කොයි එකට ද කියා දැන ගන්න පුළුවන්. එහෙත් එය කළ හැකි වේ ද යන්න ප්‍රශ්නයක්. එක් පැත්තකින් පඬියන්ට තමන් කියන්නේ කුමක් ද යන්න ගැන නිරවුල් අවබෝධයක් නැහැ. අනෙක් පැත්තෙන් ඔවුන්ට බ්‍රහ්මජාල සූත්‍රය නිරවුල් ව අවබෝධ කර ගත හැකි ද යන්න ප්‍රශ්නයක්.