Main Logo

Monday 16 July 2018

පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය


පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය



මා සිතූ පරිදි ම දෙමළ ජාතිවාදය ගැන ලියන ලිපි කියවන්නේ ඉතා සුළු පිරිසක්. එහෙත් මා ලියන්නේ වර්තමානයේ කියවීම සඳහා ම නො වෙයි. මා ලියන්නේ මට වුවමනා නිසාත් ඇතැමුන්ට ප්‍රශ්න තිබෙන නිසාත්. පඬි පෝතකයකු කියා තිබුණා බටහිර හා ඉන්දියාව ගැන කීම නිසා ම මා බටහිර මැදිහත් වීම ඊනියා තනුක කරනවා කියා. ඒ තනුක කරනවා ව්‍යවහාරය සිංහල ද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි කියන්න බැරි නැහැ වහරනු සෙරෙන් සපයා කියා. එහෙත් කිසිම වැටහීමක් නැති පඬි පෝතකයන්ගේ වහර සමාජයට යන්නේ නැහැ.




තවමත් මා ඒ ලිපිවල කතා කරන්නේ බටහිර මැදිහත් වීම ගැනයි. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අනුබලයෙන් ඇති කළ ආකාරයත් ඒ වර්ධනය කළ ආකාරයත් කියා ඇති. එහි පළමු වරදකරුවා එංගලන්තයයි. ඇමරිකා එක්සත් රාජ්‍ය ප්‍රශ්නයට මැදිහත් වූයේ බොහෝ කලකට පසුව. එංගලන්තයට පසුව මැදිහත් වූයේ ඉන්දියාවයි. එහෙම කියන එක ඊනියා අධිරාජ්‍ය විරෝධයට පටහැණි නම් මට ඒකට කරන්න දෙයක් නැහැ. මා කතා කරන්නේ යටත්විජිතවාදයට විරුද්ධ ව. ඔය අධිරාජ්‍යවාදයට විරුද්ධව කතා කරන පඬියන් පඬි පෝතකයන් බටහිර සංකල්ප හා ප්‍රවාද විතරයි දන්නෙ. ඔවුන් විශ්වාස කරන්නෙ බටහිර දේශපාලන විද්‍යාඥයන් ඇතුළු සමාජවිද්‍යාඥයන් කියන පට්ටපල් බොරු.



එක්සත් රාජ්‍යවල ජනයා තම ව්‍යවස්ථා ඉතිහාසය කියන බොස්ටන් ෆිලඩෙල්ෆියා නගරවලට රැස්වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ කෙටි ඉතිහාසය ගැන ලොකු හැඟීමක් තියෙනවා. අපට අපේ ලොකු ඉතිහාසය ගැන කෙටි හැඟීමක්වත් නැහැ. සමහර පඬි පෝතකයන් එයට කියන්නේ දෙදහස් පන්සියයක රෙද්ද කියා. ඔවුන් රෙදි අඳින්නේ නැති බව අප දන්නවා. ඔවුන්ට දෙසිය පනහක කලිසම වටිනවා. ඔවුන් දෙකයි පනහේ මිනිසුන්. අපි පසුව එය සාකච්ඡා කරමු. එක්සත් රාජ්‍යවල ව්‍යවස්ථාව  ලිඛිත ව්‍යවස්ථාවන්ට මූලික වෙනවා. මේ ව්‍යවස්ථාව පටන් ගන්නේ ම ජනතාව වූ අපි අහවල් අහවල් දේ සඳහා ඇමරිකා එක්සත් රාජ්‍ය ව්‍යවස්ථාව ස්ථාපනය කරමු කියා. මේ ජනතාව වූ අපි (we the people) කවු ද? ඒ වාක්‍ය ලිව්වේ යැයි කියන තොමස් ජෙෆර්සන් එහි තුන්වැනි ජනාධිපති වුණා. ඔහු සියළු මනුෂ්‍යයෝ සමාන ව මවනු ලැබ ඇත්තාහ කියාත් ලිව්වා ය කියනවා. එහෙත් ඔහුට වහළුන් හයසියයකට වඩා සිටි බව කියැවෙනවා. ඔහු සැලී හෙමින්ස් නම් වහල් කාන්තාවකට නම් සමානත්වයෙන් සලකා තිබෙනවා.



ප්‍රශ්නය එය නොවෙයි. එක්සත් රාජ්‍යවල ව්‍යවස්ථාව සකස් කිරීමට සහභාගි වූ ජනතාව කවුද? සත්තකින් ම වහළුන් නො වෙයි. සාමාන්‍ය සුද්දන් ද? අර මේෆ්ලවර් නැවේ පැමිණි අයගෙන් පැවත එන්නන් ද? ඒ නැවේ පැමිණි කුඩා දැරියක් ලොකු මහත් වී මියගිය පසු බොස්ටන් සුසානාගාරයක භූමදාන කළ බව නම් කියනවා. ඇමරිකා එක්සත් රාජ්‍ය ස්ථාපනය කිරීමට අවශ්‍ය වූයේ බදු පැනවීමෙන් පීඩාවට පත් වූ අයට. ඒ වෙළෙන්දන්ට හා බුද්ධිමතුන්ට. අප පාසලේ දී බොස්ටන් තේ සාදය ගැන ඉගෙන ගත්තා. අප නුදුටු එංගලන්තයක හා ඇමරිකා මහාද්වීපයක ඉතිහාසය පාසලේ දී ඉතා හොඳින් ඉගෙන ගත්තා. ඒ ඉතිහාසය හොඳින් ඉගෙනීම නිසා තැගිත් ලැබුණා!  



අද මෙරට දේශපාලනඥයන් බොහෝ දේ කරන්නේ ජනතාවගේ නාමයෙන්. බටහිර දේශපාලන විද්‍යාඥයන් ඇතුළු සමාජ විද්‍යාඥයන් අපට කියන්නේ රාජ්‍ය ඇති කෙරෙන්නේ පහළින් කියා. ජනතාව එකතු වී රාජ්‍ය හදනවාලු. අපේ රටේ පඬියන් කියන්නේ මෙරට ජනතාව එකතු වී පහළ සිට ස්ථාපනය කරන ලද රාජ්‍යයක් නැති බවයි. එවැනි රාජ්‍යයක් බටහිර තියෙනවා ද? එංගලන්තයේ රාජ්‍යය ඇති කෙළේ ලංඩනයේ වට්ටිඅම්මලා ද? මා මෙය කියන්නේ වට්ටිඅම්මලාට කරන අගෞරවයක් ලෙස නොවෙයි.  මයි ෆෙයා ලේඩි චිත්‍රපටියේ නම් වට්ටිඅම්මා කෙනකු ලේඩි කෙනකු වුණා. එහෙත් ඒ අයිරිෂ් ජනවර්ගයට අයත් බර්නාඩ් ෂෝගේ කතාවක් අනුව. ඔහුට අවශ්‍ය වූයේ එංගලන්තයේ ඉහළ පෙළැන්තිය උපහාසයට ලක් කිරීමට.



වැඩි කල් නොගොස් ම අභාවයට පත් වූ සෝවියට් දේශයේ රාජ්‍යය ගොඩනැගුවේ ඊනියා පහළ කම්කරු පංතියද? නැත්නම් මිලෝවන් ජිලාස් කී විධියට අලුත් පංතියක් ද? 1980 ජූලි වැඩවර්ජනයට පෙර මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වූ දිනවල ජිලාස් ගැනත් කතා කෙරුණා. ඒ දවස්වල සෝවියට් දේශය තිබුණා. දැන් අලුත් පංතියක් ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. කම්කරු පංතියක් බෙහෙතකටවත් හොයා ගන්න බැහැ.



මේ පහළින් එන බලවේග කතා ඊනියා විද්‍යාව වීමේ දී පට්ටපල් බොරු බවට පත් වෙනවා. එහෙත් මෙරට පඬියන්ට බටහිර උගතුන් කියන දේ කර්ණරසායනයි. දෙමළ ජාතිවාදය ඇති වුණෙත් පහළින් නො වෙයි. දෙමළ ජාතිවාදී දේශපාලනය බටහිරයන් තම අවශ්‍යතාවට දෙමළ ඊනියා ඉහළ කුලයේ වරප්‍රසාද ලත් අය ලවා ඇති කළ එකක්. එය ඇති කෙළේ ලන්දේසීන්. එය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙළේ ඉංගිරිසින්. මා මේ කතාව කිහිප වතාවක් ම කියා ඇති නමුත් අර ඉතිහාස විඥානය අකා මකා දැමූ බද්‍යුද්දීන් මහමුද් වැනි අය නිසා තවම සමාජයට යන්නේ නැහැ. කවුද යෝජනා කරලා තිබුණා ටෙලි නාට්‍යයක් නිපදවන්න. එහෙත් මේ පිළිබඳ ටෙලි නාට්‍යයක් නිපදවීමට භවතකු හා ප්‍රචාරය කිරීමට නාළිකාවක් ඉදිරිපත් වේ යැයි හිතන්න බැහැ.