Main Logo

Thursday 26 July 2018

දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය


දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය



විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගට ම දේශපාලනික ව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයා ව සිටිය දී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ වී සෝභිත හිමියන් හා ජ වි පෙ එක් පැත්තකටත් බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තකටත් යන විට ඔහු සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේ. එදා ඒ පැත්තේ සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්. අද මේ සම්බන්ධතා තරමක් වෙනස් වෙලා. එහෙත් නාලක හිමියන්ගේත් දිනේෂ් ගුණවර්ධනගේත් ජාතිකත්ව දේශපාලනය වෙනස් වෙලා නැහැ.


මට මේ කරුණු මතක් වන්නේ පසුගිය දා දයාන් ජයතිලක විසින් දිනේෂ් ගුණවර්ධනට චරිත සහතික දීම නිසා. මට ඒ සමග යම් චකිතයක් ඇති වුණා. රුසියාවේ ලංකා තානාපතිකමට ඔහුගේ නම ජනාධිපති විසින් යෝජනා කර තිබුණා. ඒ යෝජනාවට මුල් වූයේ කවරකු දැයි නිශ්චිත ව කියන්න බැහැ. එහෙත් එවැනි තනතුරු සඳහා නාම යෝජනා අනුමත කෙරෙන පාර්ලිමේන්තු කමිටුව ඔහුගේ නම ප්‍රතික්‍ෂෙප කළා. ඒ කමිටුවේ දිනේෂ් ද ඉන්නවා. දයාන් ජයතිලකගේ නමට වැඩියෙන් ම විරුද්ධ වී තිබුණේ මෙරට සිවල් සමාජ.

දයාන් ජයතිලක දිනේෂ් ජනාධිපතිකමට යෝජනා කර තිබුණා. දයාන්ට අනුව දිනේෂ් ඒකාබද්ධ විපක්‍ෂයේ උපනායකයා. නායකයා මහින්ද. දයාන් කියන්නේ නායකයා නැත්නම් උපනායකයා නම් කළ යුතු ය කියා. එහෙත් මසකට පමණ පෙර ඔහු ගෝඨාභය ඒ තනතුර සඳහා යෝජනා කර තිබුණා. ඒ තමයි ඩලස් අලහප්පෙරුමගෙන් විශිෂ්ට දේශපාලන විචාරකයකු ලෙස සහතික ලැබූ දයාන්ගේ නිර්දේශ.

දයාන් ජයතිලකට අනුව දිනේෂ් ස්මාට් ජාතිකවාදියෙක්. ඔහු ඒ සඳහා ගෙනෙන එක් සාධකයක් නම් දිනේෂ් දිගින් දිගට ම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් මණ්ඩලයේ කටයුතු කිරීම. ඒ මණ්ඩලයේ ඒකාබද්ධ විපක්‍ෂයේ  අනෙක් තැනැත්තා ප්‍රසන්න රණතුංග. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පිහිටුවනු ලැබුයේ 2016. එය සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ම සමන්විත වෙනවා. මෙය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ම රැස්වුවත් එය රැස්වන්නේ පාර්ලිමේන්තුව ලෙස නො වෙයි. මෙවැනි මණ්ඩලයකින් තමයි 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙරුණේ. එය රැස්වුණේ නව රඟහලේ.

1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට වෙන ම මණ්ඩලයක් අවශ්‍ය වුණේ ඒ වන විට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාව එංගලන්ත පාර්ලිමේන්තුවේ ධවල පත්‍රිකාවක් අනුව සම්මත වූවක් නිසාත් වෙනත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අපට එංගලන්ත පාර්ලිමේන්තුවට යෑමට නොහැකි නිසාත්. ඒ ධවල පත්‍රිකාවෙන් කියැවුණු ව්‍යවස්ථාව එවකට තිබූ රාජ්‍ය මණ්ත්‍රණ සභාව විසින් 1945 නොවැම්බර් මාසයේ පිළිගැණුනා. 1970 මැතිවරණයේ දී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් ලබා මැතිණිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළා. ඒ අනුව පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙළේ කිසිම පාර්ලිමේන්තුවකින් නොව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින්. අප ඩොමීනියන් නිදහසෙන් මිදී ජනරජයක් බවට පත්වුණේ ඒ අනුවයි. ඒ ජනරජ ව්‍යවස්ථාවේ තිබුණා ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරයත් එමෙන් ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ආකාරයත්. ජේ ආර් 1977 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙළේ පළමු ජනරජ ව්‍යවස්ථාව යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ සම්මතයකින්. ඔහු ඊනියා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල පිහිටුවීමට ගියේ නැහැ.

දැන් 1977 ව්‍යවස්ථාවේ තියෙනවා ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරයත් නව සංශෝධනයක් ගෙනෙන ආකාරයත්. එය පාර්ලිමේන්තුවේ කළ හැකියි. ඒ සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ඊනියා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් අවශ්‍ය නැහැ. මේ ව්‍යවස්ථාව කුමක් සඳහා ද? පසුගියදා චන්ද්‍රිකාත් කියා තිබූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ දෙමළ (හා මුස්ලිම්) ජනයා සඳහා. මෙය පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී නාගනාදන් සඳහන් කළ දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස් වීම සඳහා ද? රනිල් වැඩ කරන්නේ එකක් හිතේ තියාගෙන. මේ ව්‍යවස්ථාව කෙසේ සම්මත කර ගනීවිද යන්න දන්නේ රනිල් හා තවත් කිහිප දෙනකු පමණයි. 

මේ සියල්ල සලකා බලා අප කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීන් මේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කටයුතුවලින් මුළුමනින් ම අයින්විය යුතු බවයි. ඒ ඊනියා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පිළිගැනීමක් නොදීමට. මා මේ සම්බන්ධයෙන් ලිපි ගණනාවක් ම ලිව්වා. සුපුරුදු පරිදි ඒ ගඟට ඉණි කැපීමක් වුණා. එහෙත් මා මේ ගැන කිහිප දෙනකු සමග සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කළ අයගේත් මතය වූයේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් අයින් විය යුතු බවයි. චන්න ජයසුමනත් එක් අයකු  බව කිව යුත්තේ වැරදි මතයක් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මහින්ද හමු වී ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සියලු කටයුතුවලින්, අනුකමිටු හයෙන් ද මෙහෙයුම් කමිටුවෙන් ද ඉවත්වන ලෙස ඉල්ලා සිටීමට යෝජනා කළා. ඒ අනුව අප කිහිප දෙනකු මහින්ද හමු වී ඒ ඉල්ලීම කළා. මහින්ද හමු වී එසේ ඉල්ලා සිටි අය අතර දිනේෂ් ගුණවර්ධන, ගුණදාස අමරසේකර, ගෙවිඳු කුමාරතුංග, අනුරුද්ධ හේරත් ද සිටියා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අනුකමිටු හයෙන් පමණක් අස්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කළා. ඒ අතර විමල් වීරවංශ තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමග ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කටයුතුවලින් ඉවත් වූ බව ද සඳහන් කළ යුතුයි.

මා මේ නූතන ඉතිහාසයෙන් බිඳක් සඳහන් කෙළේ දයාන් ජයතිලක දිනේෂ්ට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වීම ගැන ස්තුති කළත්, ඔහු හා ප්‍රසන්න රණතුංග නිසා ව්‍යවස්ථාව සති කිහිපයකින් කල් ගිය බව කීවත් දිනේෂ් මහින්ද හමු වී වෙනත් යෝජනාවක් කළ බව දයාන්ටත් වෙනත් අයටත්  මතක් කිරීමටයි.

ව්‍යවස්ථාව කෙසේ හෝ සම්පාදනය කිරීමට රනිල් හා චන්ද්‍රිකා බැඳී සිටිනවා. මෙහි කෙසේ හෝ යන්න අවධාරණය කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමට බටහිරයන් හා ඉන්දියාව කටයුතු කෙළේ ප්‍රධාන වශයෙන් ම මේ නාගනාදන් ව්‍යවස්ථාව  සම්පාදනය කිරීමට. එය වැළැක්ව්මට ඒකාබද්ධ විපක්‍ෂය පමණක් නොව මෛත්‍රිපාලත් කටයුතු කළ යුතුයි. ඒ සඳහා සංධානයේ සියලු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් වහාම ඉවත් විය යුතු බවත් හැකි ඉක්මණින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් කිව යුතුයි.