Main Logo

Sunday 15 July 2018

ට්‍රම්ප් සිරිසේන හා තවත් අය


ට්‍රම්ප් සිරිසේන හා තවත් අය



ඉඳුනිල් ප්‍රසන්න ට්‍රම්ප් හා සිරිසේන ගැන කෙටි සටහනක් ලියා තිබුණා. ඒ එලිසබෙත් වින්ඩ්සර් ඉදිරියේ දෙදෙනා හැසිරුණු ආකාරය පිළිබඳ ව. ට්‍රම්ප් හැසුරුණු ආකාරය ගැන එංගලන්තයේ විවේචන පළ වී තිබුණා. ඒ රජ පවුල අවශ්‍ය යැයි කියන අයගෙන් පමණක් නො වෙයි. එංගලන්තයේ වැසියන් රජ පවුලට ගෞරවයක් දක්වනවා. මට මතකයි කලකට පෙර කවුදෝ කියා තිබුණා අනාගතයේ දී ඉතිරිවන්නේ එංගලන්තයේ රජු හා රැජිනයි කඩදාසි කූට්ටමේ රජුන් හා රැජිනලා පමණයි කියා. තවත් රටවල් කිහිපයකත් තවමත් රජ පවුල් තිබෙන නමුත් එංගලන්තයේ රජ පවුලට ඇති වැදගත්කම අනෙක් රජ පවුල්වලට ලැබෙන්නේ නැහැ කියා. එංගලන්තයේ හැරී වින්ඩ්සර්ගේ මඟුල ගැන ලංකාවේත් ලොකු උනන්දුවක් තිබුණා.



මට මෙහි දී ලංකාවේ අගමැතිවරයකු වූ ජෝන් කොතලාවල මතක් වෙනවා. පනස්තුනේ හර්තාලයත් සමග ඩඩ්ලි සේනානායක අගමැති කමෙන් අස්වීම හේතුවෙන් ජෝන් කොතලාවල අගමැති වී තිබුණා. ඒ අවුරුද්දේ ම එලිසබෙත් තම සැමියා සමග මෙරට සංචාරයකට පැමිණියා.   ඇය හා පිරිස සීගිරිය බැලීමට ගොස් තිබෙනවා. සීගිරිය උඩට නගිද්දී එලිසබෙත්ගේ ගවුම හුළඟට උඩ ගිහින්. ළඟ හිටි ජෝන් කොතලාවල ඡායාරූප ශිල්පීන් අමතල ගනින් යකෝ පින්තූර ගනින් කියා කෑ ගසා තිබෙනවා. එලිසබෙත් එකල තරුණ වියේ. ඇයට ජෝන් කොතලාවල සිංහලෙන් කී දේ තෙරුණේ නැහැ. මා හිතන්නේ තේරුණත් ජෝන් කොතලාවලට එය ප්‍රශ්නයක් නොවන බවයි.



ජෝන් කොතලාවල වාසය කළේ එංගලන්ත රදළයකු වගේ. ඔහු දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසු එංගලන්තයේ වාසයට ගියා. ඒ අර නෝබොඩි කෙනකු ලෙස නො වෙයි. එරට ඉහළ ම පන්නයේ ජීවිතයක් ඔහු ගෙන ගියා. ඔහු එරට ප්‍රභූන් සමග නරි දඩයමේ ගියා. ඔහු මහාමාන්‍ය තනතුරකටත් පත් කරනු ලැබුවා. ජෝන් කොතලාවල ලංකාවේදීත් ගත කෙළේ අමුතු ම ජීවිතයක්. ඔහුගේ කඳවල වලව්ව බිත්තර ආප්පවලට හා තවත් දේට ප්‍රසිද්ධයි. පසුව මේ කඳවල වලව්ව හා භූමිය හමුදාවට ප්‍රදානය කළා. අද ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්නේ එහි. අන්තරේ අය දන්නේ නැහැ ඒ විශ්වවිද්‍යාලය රජයේ වුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එහි වගකීමක් නැති බව. මේ දිනවල අන්තරේට සටන් පාඨ නැද්ද? 



පනස්හයේ මැතිවරණයෙන් එ ජා ප ආසන අටකට බැස්සා. ජෝන් කොතලාවලගේ දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණය තිබුණේ පළමු දවසේ (එකල මැතිවරණය දින තුනක් තිස්සේ පැවතුණා). ඒ නිසා ජෝන් කොතලාවල ජයග්‍රහණය කළා. දෙවැනි තුන්වැනි දිනවල පැවති මැතිවරණවලින් එ ජා ප එක ආසනයක්වත් දිනුවේ නැහැ. මැතිවරණයෙන් මැද කොළඹ තුන්වැනි මන්ත්‍රීවරයා ලෙස එම් එස් තේමිස් පත්වුණා. ඔහු තැපැල් සේවකයෙක්. දිනක් ඔහු මැති සබයේ දී ජෝන් කොතලාවලගේ කරට අත දමා හා කොහොමද ජෝන් කියා ඇසුවාළු. එවිට ජෝන් කොතලාවල තේමිස්ට පා පහරක් දුන්න කියා කියනවා. පසු දිනක තේමිස් බණ්ඩාරනායක මහතාට ඒ කතාව කියා තිබෙනවා. එවිට බණ්ඩාරනායක කීවලු තමාවත් ජෝන් කියලා ඔය මිනිහට කතා කරනනෙ නැහැ කියා. මේ කතාවල ඇත්ත නැත්ත කුමක් වුවත් මේ චරිත ගැන අවබෝධයක් ඇතිව කියැවෙන කතා. තේමිස් ධනවත් ව්‍යාපාරිකයකු වී පසුගිය දා මියගියා.



සිරිසේන එලිසබෙත් ඉදිරියේ හැසිරී ඇත්තේ මෙරට ආත්ම විශ්වාසයක් නැති බොහෝ දෙනා හැසිරෙන ආකාරයට. සිරිසේනට හිනහවෙන බොහෝ දෙනා එලිසබෙත් ඉදිරියේ නොවෙයි රනිල් මහින්ද ඉදිරියේ හැසිරෙන්නේ කෙසේ ද? තම කාර්යාලයේ ප්‍රධානියා ඉදිරියේ හැසිරෙන්නේ කෙසේ ද? ඔළුව කස කසා තම ප්‍රධානියා ළඟට යන අය නැත් ද? තමන් ප්‍රධානියා සමග තේ බිව්වොත් ආඩම්බරයෙන් තම භාර්යාව සමග ඒ ගැන නොකියන අය කෙතෙක් වෙත් ද? මෙය ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව අප දන්නවා. ට්‍රම්ප් හා ජෝන් කොතලාවල ආත්ම අභිමානයක් ඇති  අය. ජෝන් කොතලාවල තේමිස්ට සලකපු ආකාරය වටින්නෙ නැහැ. එහෙත් ඔහුගේ කරේ අත දාන්න තමා ගියත් ජෝන් කොතලාවල තමන්ට හොඳට සලකන බව බණ්ඩාරනායකත් දැන හිටින්න ඇති. තේමිස්ට තිබී ඇත්තේ ආත්ම අභිමානයක් නො වෙයි. අර කටුස්සාගේ අභිමානය. එය තමා ගැන වැඩියෙන් සිතීමක්.



එහෙත් මේ පෞද්ගලික චරිත පිටුපස  සමාජයීය හේතු තියෙනවා කියා සිතීමට අප ඉක්මන් විය යුතු නැහැ. අපේ සමාජයේ වැඩවසම් ලක්‍ෂණ තවමත් තියෙනවා කියා පඬියන් කියන්න පුළුවන්. එහෙත් ඒ පඬියන්ගේ හැසිරීම් රටාත් මා දැක තිබෙනවා. එංගලන්තයේත් තවමත් වැඩවසම් ලක්‍ෂණ තිබෙනවා ද? ප්‍රංසයේ වැඩවසම් ලක්‍ෂණ නැත් ද? මාක්ස්වාදයට අනුව එංගලන්තය විප්ලව කරන්නේ බාගෙට. ප්‍රංසය සම්පූර්ණයෙන් ම කරනවා. එංගලන්තය ඊනියා ධනපති විප්ලවයෙන් පස්සෙත් රජ පවුල තියා ගත්තත් ප්‍රංසය තියා ගත්තෙ නැතිළු. රුසියාවෙ සාර්ගෙ පවුල විතරක් නොවෙයි බල්ලවත් මරා දැම්මෙ ඒක නිසා වෙන්න ඇති. එහෙම කරපු කම්කරු පංති විප්ලවේට මොකද වුණේ. ක්‍රොයේෂියාව ඉස්සර ටිටෝගෙ රටෙන් කොටසක්. විප්ලවය වඩාත් සාර්ථක ප්‍රංසයේ ද? ක්‍රොඒෂියාවෙ ද? ක්‍රොඒෂියාවෙ විප්ලවය ආපසු හැරිල ද?



ට්‍රම්ප්ගෙ අම්මා ස්කොට්ලන්ත සම්භවයක් තියෙන අයෙක්. ට්‍රම්ප් ජනමාධ්‍යවේදියකුට කියා තිබුණා තම මව එලිසබෙත් වින්ඩ්සර් සහභාගි වන උත්සව නොවරදවා ම බලනවා කියා. ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් වෙයි ද? ට්‍රම්ප් ඒ සාකච්ඡාවෙදි ම කියා තිබුණා වින්ඩ්සර් මාළිගාවෙ එලිසබෙත් හමුවීම සුවිශේෂ සිද්ධියක් කියා. එහෙත් ඔහු ඇය ඉදිරියේ නැවී අතට අත දුන්නේ නැහැ. ඔහු නිල චාරිත්‍ර කඩමින් එලිසබෙත්ට ඉදිරියෙන් ගියා. ඒ අතර ඔහු එංගලන්ත අගමැතිනියගේ බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය විවේචනය කළා. අද එංගලන්ත අගමැතිනිය යුරෝපා සංගමයේ ඉඳිමින් වෙන්වෙන්න යන දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ට්‍රම්ප් නිල චාරිත්‍ර ගණන් ගන්නේ නැහැ. ඔහු ජාතිකවාදියෙක්. ඇමරිකා එක්සත් රාජ්‍ය ගැන අප නොසිතන පැත්තක් තියෙනවා. ඉංගිරිසින් ගිහින් පදිංචි වූ රටවල් අතරින් එංගලන්තයට විරුද්ධව සටන් කරලා නිදහස දිනාගත්තෙ එක්සත් රාජ්‍ය පමණයි. කැනඩාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය අදී රටවල් තවම එංගලන්ත රැජිනගෙ රටවල්. අප 1972 එංගලන්ත රැජිනගෙන් වෙන් වුණත් අප තවමත් නිදහස් දිනය ලෙස සලකන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දවස. ඩොමීනියන් රටවල රැජින එංගලන්ත රැජින. ජෝන් කොතලාවල එංගලන්තෙ මිනිහෙක් වගේ ජීවත් වුණා. ප්‍රේමදාස ග්ලැඩ්ස්ටන් කියන එංගලන්ත තානාපති ගෙදර යැව්වා. මහින්ද එංගලන්ත විදේශ ඇමතිව ඇඹිලිපිටියට ගෙන්නලා තමන් ඔවුන් කියන දේ පිළිපදින්නෙ නැති බව කිව්වා. මේ හැසිරීම්වලට සමාජ හේතු හොයන්න යන එක ඊනියා ද්‍රව්‍යවාදීන්ට පවරමු. අපි ජාතිකවාදී එඩිතර නිර්භය නායකයන් ඇති කර ගැනීමට වෙහෙසෙමු.