Main Logo

Friday 20 July 2018

ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය




ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් වික්‍රමසිංහට අනුව මෙතරම් ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුවක් කිසි දිනෙක තිබී නැහැ. සමහරවිට ලෝකයේ කොහේවත් නොතිබෙන්නට පුළුවන්. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී හමුදා කඳවුරු ගැන ප්‍රශ්න කළ විට රනිල් කියන්නේ ඒ හමුදාපතිවරුන්ගේ වැඩක් කියා ය. හමුදාපතිවරුන්ට එතරම් නිදහසක් තියෙනවා. ඇමතිවරයා හෝ ඇමතිවරු හෝ හමුදාපතිවරුන්ට උපදෙස් දෙන්නේ නැහැ. රනිල්ට අනුව අණක් නම් ඇමතිවරු කෙදිනකවත් දීමට විධියක් නැහැ. ආණ්ඩුව එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදීයි.




ප්‍රශ්නයක් මතු වී නම් නීතිපතිගෙන් එය අසා දැනගත යුතුයි. නීතිපති ඉතා ස්වාධීනයි. කිසිවකු නීතිපතිට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ජනාධිපතිට නීති ප්‍රශ්නයක් වූ විට ඔහු නීතිපතිට ලිපියක් යවනවා. නීතිපති ප්‍රශ්නය ගැන හිතා මතා උපදෙසක් එවනවා. ජනාධිපති ඒ අනුව වැඩ කරනවා. බැඳුම්කරය හා වෙනත් දේ ගැන නීතිපති කියන විධියට ආණ්ඩුව වැඩ කරනවා.



උතුරේ ආවා හා වෙනත් කල්ලි නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් . ඒකට හමුදාව දාන්න ඕන නැතිළු. දැන් ඒක තීරණය කරන්නෙ කවුද? හමුදාපති ද පොලිස්පති ද ආරක්‍ෂක ඇමති ද? කවුරුන්වත් තීරණයක් ගන්නෙ නැති පාටයි. රනිල්ට අනුව පොලීසියට ආවා යවන්න පුළුවන්. ඒත් ආවා හැමදාමත් එනවා. පොලිස්පති වැඩ කරන්නෙ නැති බව ද රනිල් කියන්නෙ. වැඩ කළත් නැතත් රනිල් උපදෙසක් අණක් දෙන එකක් නැහැ. රනිල් අගමැති මිසක් ආරක්‍ෂක ඇමති නොවෙයි. කොහොමත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදියි. රජයේ නිලධාරීන්ට කිසිම දාක මෙහෙම නිදහසක් තිබිලා නැහැ. නිලධාරීන්ට ඕන නම් වැඩ නැත්නම් නැහැ. ඒකෙන් අවැඩක් වෙන්නෙ නැහැ කියලයි රනිල් කියන්නෙ. වැඩ කියන එකේ විරුද්ධ වචනය අවැඩ නොවෙයි.



අර්ජුන් මහේන්ද්‍රන් ගේන එක කාගෙ වැඩක් ද? මා හිතන්නෙ ඒකට නිලධාරියකු නැති වෙන්න පුළුවන්. රනිල් කියන්න එපාය ඒක අහවල් නිලධාරියාගේ වැඩක් කියලා. එහෙම කියන්නෙ නැහැ. ඒ කියන්නෙ නිලධාරියකු නැති නිසා ඒක කෙරෙන එකක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවන එකකුත් නැහැ. ඇමතිවරු එහෙම වැඩ කරන්නෙ නැහැ. එහෙම වැඩ කරන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.



ඒත් මත්තල විකුණනවලු. නිමල් සිරිපාල කියනව කොහොම හරි විකුණනවලු. ඒක නම් ප්‍රජාතන්ත්‍රවාදී නැතුව වගේ. ඒකට නිලධාරියෙක් නැද්ද?  වැඩේ තියෙන්නෙ ඒක ගන්න කවුරුවත් ඉන්න එක. ඔය ගුවන් යානා එන්නෙ නැති තොටුපොළක් ඉන්දියාව ගන්නෙ වී ගබඩා කරන්න ද? ඒත් ඉන්දියාවෙ ජනගහණයත් එක්ක බැලුව ම මත්තල ගබඩා කරන්න පුළුවන් වී ප්‍රමාණය කොච්චර ද? ඉන්දියාවට මත්තල විකුණන්නෙ චීනෙට හම්බන්තොට වරාය දුුන්න නිසා ද? එතකොට බැලන්ස් වෙනවා ද? ඒත් අපේ බැලන්ස් එකට මොනව ද වෙන්නෙ.



දැන් අර ව්‍යවස්ථා සංශෝධනය සකස් කරන්නෙ කවුද? ඒකත් ආණ්ඩුවෙ වැඩක් වෙන්න බැහැ. මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරපු ලියවිල්ල සකස් කරද්දි ඇමතිවරු මූුකුත් කරන්න නැතිව ඇති. ඒත් ඒ විශේෂිත දැනුමක් තියෙන අය අතර ප්‍රශ්න තියෙනවලු. එහෙම ප්‍රශ්න තියෙන්න ඕන. දැන් ඒ ප්‍රශ්න සමනය කරන්නෙ කොහොම ද? ඒකටත් ඇමතිවරු මුකුත් කරන එකක් නැහැ.



දයාසිරි ජයසේකර මොකක් ද එකක් කියලා. ජනාධිපති අස්කරන අලුත් ම ක්‍රමයක් කෙටුම්පත් කරලාලු. අගමැති කතානායක විපක්‍ෂ නායක එකතු වෙලා ජනාධිපති අස්කරන ක්‍රමයක් සකස් කරලාලු. ඒක වැරදියි. කරන්න තිබුණෙ පාර්ලිමේන්තුවේ ලේකම්, අගමැති ලේකම් හා විපක්‍ෂ නායක කාර්යාලයෙ කවුරු හරි එකතුවෙලා ජනාධිපති අයින් කරන ක්‍රමයක් හදන එක. කොහොමත් විපක්‍ෂ නායක උතුරු පළාතට පමණක් විපක්‍ෂ නායක නිසා කොළඹින් ම නිලධාරියකු ගත්ත නම් හොඳයි.



ඒත් දයාසිරි මොකට ද ඕක ගැන ඔච්චර කලබල වෙන්නෙ. සමහර විට කොළඹ විශ්වවිද්‍යාලෙ නම ගෙනි යන්න වෙන්න ඇති. අද දේශපාලනයෙ ඉන්න වැදගත් ය කියන අය බොහෝ දෙනෙක් ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ හිටිය අය. ඒ වගේමයි දේශපාලනයට කිට්ටු ජනමාධ්‍යයෙත්.



රනිල් පාර්ලිමේන්තුවට ඇවිල්ල අර වගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින කතාවක් කියලා අනෙක් අය හිනාවෙනවා ද කියල වට පිට බලලා යනව යන්න. රනිල්ට තියෙන්නෙ ජනාධිපතිට කියලා නිමල් සිරිපාල හැරෙන්න ඇමතිවරු ටික අයින් කරන එක. ඇයි මේ නිමල් සිරිපාල හැරෙන්න වෙන ඇමතිවරු වැඩ කරන්නෙ නැහැනෙ. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදී වෙලා නිලධාරි කියන විධියට තමයි වැඩ. 



හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිට ඕක නිලධාරියකු කියන එක නේ ද ප්‍රජතන්ත්‍රවාදය. ජනාධිපතීත් නිලධාරියකුට ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. දැන් කාට හරි අහන්න පුළුවන් එහෙනම් ඇමතිවරු ජනාධිපති ඉන්නෙ මොකට ද කියලා. ඒ වෙන දේකට නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. එතකොට විපක්‍ෂෙ ඉන්නෙ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය රකින විධිය ජනතාවට තේරුම් කරන්න පුළුවන් ආකාරයට ප්‍රශ්න අහන්න.



කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇති ඕනෑම ලිපියක් උපුටා ගෙන පළ කරන්න අවසරයක් අවශ්‍ය නැහැ.