Main Logo

Friday 13 July 2018

සිංහල ඉතිහාසයට එබී බැලීමක්


සිංහල ඉතිහාසයට එබී බැලීමක්



ඇමරිකා එක්සත් රාජ්‍යවල අගනුවර වූ වොෂිංටන්හි සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ක් තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ එක් ශාලාවක රටේ ඉතිහාසය නිරුපණය වන නොයෙකුත් චිත්‍ර ඡායාරූප පිළිම ආදිය තියෙනවා. එහි අයිසන්හවර්ගේ මෙන් ම රීගන්ගේත් පිළිම අඹා තිබෙනවා. මාටින් ලූතර් කිංගේත් පිළිමයක් තියෙනවා. එහෙත් එහි මුල් පදිංචිකරුවකුගේ පිළිමයක් නැහැ. රටේ ඉතිහාසය පටන් ගන්නේ 1607න් පමණ පසුව ඉංගිරිසින් වර්ජිනියා ප්‍රාන්තයට පැමිණීමත් සමග. කොලම්බස්ලා ගැන නොකියවෙනවා නො වෙයි. ඊනියා නව එංගලන්තය ගැන පමණක් නොව නව ප්‍රංසය, නව ස්පාඤ්ඤය ගැනත් කියැවෙනවා. එහෙත් අර ශාලාවේ නො වෙයි. වොෂිංටන්හි කැපිටල් ශාලාවේ ඇති ඉතිහාසය ඉංගිරිසින්ගේ හා පසුව වහලුන් ලෙස ගෙනා කළු ජනතාවගේ ඉතිහාසයයි.




රටේ මුල් පදිංචිකරුවන් (උතුරු ඇමරිකාවේ මෙන් ම දකුණු ඇමරිකාවේ) ආසියාතිකයන් බවයි කියැවෙන්නේ. ඒ මුල් පදිංචිකරුවන්ට ආදිවාසී නමත් සමහරවිට යෙදෙනවා. කලකට පෙර ඔවුන් රතු ඉන්දියානුවන් ලෙසත් හඳුන්වනු ලැබුවා. මේ අය අතර නාග ගෝත්‍රිකයන් මෙන් ම යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඉන්න ඇතැයි සිතෙනවා. මායා ශිෂ්ටාචාරය හා අපේ ශිෂ්ටාචාරය අතර ඇති සම්බන්ධකම් ගැන කිසිවකු සොයා බලන්නේ නැහැ. එමෙන් ම මිසරයේ පර්සියාවේ හා අපේ ඉතිහාස අතර සම්බන්ධකම් තියෙනවා.



මට වැටහෙන අන්දමට තරමක් පැරණි ලෝකයේ යක්‍ෂ නාග ආදී  ජනතාව ලෝ පුරා විසිරී ජීවත් ව තිබෙනවා. ඒ අය පසුව විවිධ භාෂා කතාකරන විවිධ සංස්කෘතීන් ඇති පිරිස් බවට පත් වී තිබෙනවා. අපේ මහාවංසයත් පටන් ගන්නේ අර කැපිටල් ශලාවේ ඉතිහාසය වගේ ම විජය රජුගේ හා පිරිසේ පැමිණීමත් සමග. එය අවුරුදු දෙදහස් හයසියකට පමණ පෙර සිදු වී තිබෙනවා. විජය රජු මෙරටට පැමිණෙන විට මෙහි සිටි පිරිස් අප ඉතිහාසයෙන් අයින් කරලා. මෙය කණගාටුදායකයි.



මා දින කිහිපයකට පෙර මිනිසුන්ගේ සම්භවය ගැන ආසියාව ද අප්‍රිකාව ද යනුවෙන් ලියූ ලිපියෙහි නිව් සයන්ටිස්ට් සඟරාවෙන් ලබා ගත් දීර්ඝ උද්ධෘතයෙහි අවුරුදු 177000කට පමණ පෙර ඊශ්‍රායලයේ හා වත්මන් දකුණු ඉන්දියාවේ සිටි මිනිසුන් ගැන කියැවෙනවා. එකල ලංකාවත් ඉන්දීය බිම්කඩේ ම කොටසක්. එකල සිංහල දෙමළ ආර්ය ද්‍රවිඩ බෙදීම් තිබුණේ නැහැ. යක්‍ෂ නාග ආදීනුත් නොසිටින්න ඇති. කොහොමටත් අපේ රටේත් ඉතා පැරණි මිනිස් වාස හමු වී තිබෙනවා. විජය රජු මෙරටට පැමිණීමට පෙර සිංහලවත් දෙමළවත් මුස්ලිම්වත් බර්ගර්වත් මැලේවත් මෙරට සිටියේ නැහැ. මෙරට යක්‍ෂ නාග දේව රාක්‍ෂස ආදීන් නම් වාසය කර තිබෙනවා. මා ඔවුන්ට ගෝත්‍ර කියන්නේ නැහැ. ගෝත්‍ර යන්න අද යෙදෙන්නේ ඉංගිරිසි ට්‍රයිබ් යන්නෙහි පරිවර්තනයක් ලෙස පහත් කියන තේරුමකින්. අප එකල නම් ගොත් විමසා තිබෙනවා. ඒ ගොත් යන තේරුමෙන් නොවෙයි අද ගෝත්‍ර යන්න පඬියන් යොදන්නෙ. පඬියන් ගෝත්‍රවත් වංශවත් නොවෙයි. ඔවුන් නිවට වහල් දාසයන්. අපට වංසත් තිබුණා. මා යක්‍ෂ ජනතාව නාග ජනතාව ආදී වශයෙන් විජය රජු මෙරටට පැමිණෙන විට මෙහි සිටි ජනයා හඳුන්වනවා. 



බටහිර සංකල්පවලින් පමණක් ලෝකය බලන, නිර්මාණය කරන අය වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැඳින්වුවා. මා කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේ එහි පුරාවිද්‍යා අධ්‍යයනාංශයෙන් වැදිජනයා ආදීවාසීන් ලෙස හැඳින්වුණා. මා සනාතන සභාවේ දී එයට විරුද්ධ වුණා. මගේ විරුද්ධත්වයට හේතු වුණේ සිංහලයන් ඒ හැඳින්වීම අනුව ආදීවාසීන් නොවීමයි. උතුරු ඇමරිකාවේ ඕස්ත්‍රේලියාවේ නවසීලන්තයේ ආදීවාසීන් ඉන්න පුළුවන්. ඒ රටවලට ගිය ඉංගිරිසින් ඒ ආදිවාසීන් මුළුමනින් ම මෙන් සමූලඝාතනය කරා. එය ජනතාවක් නැති කර වෙනත් ජනතාවක ආරම්භයක්. එහෙමත් නැත්නම් ජනවාර්ගික වෙනසක්. එහෙත් දකුණු ඇමරිකාවේ එය ඒ ආකාරයෙන් ම සිදු වූයේ නැහැ. එහි සිදු වූයේ සංස්කෘතික වෙනසක්. එහි ජනතාව ස්පාඤ්ඤ පෘතුගීසි භාෂා කතා කරනවා. එහෙත් ඔවුන් අද ස්පාඤ්ඤයන් හා පෘතුගීසීන් සමගත් මිශ්‍ර වෙලා. ලංකාවේත් බර්ගර්වරුන් පෘතුගීසි හා ලන්දේසීන් මෙරට සිංහල ජනයා සමග මිශ්‍ර වීමෙන් ඇති වූ ජනකොටසක්. ඉංගිරිසි සුද්දන් එසේ නව ජනකොටස් බිහි කෙළේ නැහැ. ඔවුන් තමන් ගිය රටවල සිටි ජනයා හැකිතාක් වඳ කළා. ආසියාවේත් අප්‍රිකාවෙත් ඔවුන්ට එසේ වඳ කිරීමට හැකිකමක් තිබුණේ නැහැ. අප රටේත් ඔවුන් වෙල්ලස්සේ එය කළා. එහෙත් මුළු රටේ ම කරන්න බැරි වුණා. දකුණු අප්‍රිකාවේ සුද්දන් හා කළු ජනතාව වෙන ම ජීවත් වුවා. අද සිම්බාබ්වේ නමින් හැඳින්වෙන රොඩේසියාවේත් දකුණු අප්‍රිකාවේ තත්වය තිබුණා.



විජය රජුගේ පැමිණීමත් සමග මෙරට නව ජනවර්ගයක් ඇති වුණේ නැහැ, ජනවාර්ගික වෙනසක් ඇති වුණේ නැහැ. මෙහි සිටි යක්‍ෂ නාග දේව රාක්‍ෂස ජනතාව සමග වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි ජනයා මිශ්‍ර වුණා. එහි දී ඒ සියල්ලන් එක ම ආකාරයෙන් මිශ්‍ර නොවන්න ඇති. විජය වුණත් කුවේණිය සහේට ගත්තා. පසුව ඊනියා ක්‍ෂත්‍රිය කුමාරියක් ගෙන්වා ගත් බව ඇත්ත. එහෙත් විජයත් සමග පැමිණි බොහෝ පිරිමින් මෙහි සිටි කාන්තාවන් සහේට ගන්න ඇති. නාග ජනයා ඉක්මණින් ම මිශ්‍ර වූ බව පෙනී යන අතර යක්‍ෂ ජනයා තරමක් සීරුවෙන් මිශ්‍ර වෙමින් ඒ සංස්කෘතික ලක්‍ෂණ අවශෝෂණය කරගත් බවත් වැදි ජනයා මුළුමනින් ම මෙන් ඉවත් ව සිටි බවත් කිව හැකියි. ඒ අරුතින් ගත් කල සිංහලයන් පැවත එන්නේ විජයගෙන් හා පිරීසගෙන් පමණක් නො වෙයි. ඔවුන් යක්‍ෂ නාග දේව රාක්‍ෂස ජනයාගෙනුත් පැවත එනවා. එබැවින් සිංහලයන් ද වැදි ජනයා මෙන් ම මෙරට ආදිවාසීන්. මා කැලණියේ දී විරුද්ධ වූයේ සිංහලයන්ට ආදිවාසීන් නොකියා වැදිජනයාට පමණක් ආදිවාසීන් කීමටයි. සනාතන සභාව මා කී දේ පිළිගත් බව ඔවුන්ට කරන ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුයි.



වොෂිංටන්හි කැපිටල් ශාලාවේ ඉතිහාස ආකෘතිය අපට ගැලපෙන්නේ නැහැ. මහාවංසය ඉතිහාසය කියන්නේත් වොෂිංටන්හි කැපිටල් ආකෘතියෙන්. මහාවංසය ඒ ආකෘතිය අනුගමනය කළේ නැති බව කිව යුත්තේ පඬි පෝතකයන් වැරදි නිගමනවලට එළඹිය හැකි බැවින්. ඒ ආකෘතිය තරමක ප්‍රශ්නයක්. අප එයින් බැහැර විය යුතුයි. මා කියන්නේ මහාවංසය ප්‍රතික්‍ෂෙප කිරීමට නොවෙයි. මට අවශ්‍ය මහාවංසයට යක්‍ෂ නාග දේව රාක්‍ෂස ජනයාත් ඇතුල් කිරීමටයි. එවිට සිංහලයන් ද ආදිවාසීන් වෙනවා. කැපිටල් ආකෘතිය අපට ගැලපෙන්නේ නැහැ. විජය රජු කුවේණියගේ ආධාරයෙන් මංගල්‍යයක දී ඇගේ නෑයන් සමූහයක් ඝාතනය කළ බව කියැවෙනවා. එහෙත් එය ඉංගිරිසින් කළ ආකාරයේ සමූලඝාතනයක් නො වෙයි. සිංහලයන්ගේ ආරම්භය වංගයට හා කාලිංගයටත් සබරගමුවටත් රුහුණටත් බින්තැන්නටත් නාගදීපයටත් දිව යනවා. මේ කතාවට අවශ්‍ය සෙල්ලිපි ලෙන් ඇටසැකිළි මෙවලම් ආදිය පසුව හමුවේවි. එහෙම කතාත් තියෙනවා.