Main Logo

Wednesday 10 October 2018

විස්ස කුණු කූඩයට විසි කරමු


විස්ස කුණු කූඩයට විසි කරමු



විස්ස ගැන ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව මටත් තේරුණා. 


විස්ස ඉදිරිපත් කරල තියෙන්නෙ ජ වි පෙ. එය අනුර කුමාර ගෙනාව ද විජිත හේරත් හරි වෙන කවුරු හරි ගෙනාව ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ජ වි පෙ තමයි ගෙනාවෙ. ජ වි පෙ ඔය සංශෝධනය ගෙනෙන විට දැනගෙන හිටියෙ නැද්ද එහි වගන්ති කිහිපයක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවසථාවට පටහැණි බව. මෙයට කලින් ජනාධිපති බලතල වෙනස් කිරීම පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් තිබුණ. ඒකෙත් කියා තිබුණෙ ඒ වෙනස කරන්න ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය කියලා. ජ වි පෙ නායකයන් ඒ ගැන දැන සිටියෙ නැහැ කියන්න බැහැ.



ජ වි පෙ විස්ස ඉදිරිපත් කෙළේ රනිල්, සුමන්තිරන් හා හකීම් වෙනුවෙන්. ඔවුන් බලයට පත්වුණෙ ම (සුමන්තිරන් ආණ්ඩුවෙ නැහැ කියල පඬි කතා කියන්න ඕනෙ නැහැ. දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් විපක්‍ෂයෙ අසුන් ගෙන සිටින ආණ්ඩුවෙ උදවිය) දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් ජාතිවාදයට අවශ්‍ය අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ කියන්නෙ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න. ඒ සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩල පිහිටුවලා පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සම්පාදන මණ්ඩලයක් බවට පත් කරලා වැඩ පටන් ගත්ත. ඒත් ඒක අමාරු වැඩක් බව කල් යන විට තේරුණා. මෙරට සිංහල බහුතරයට විරුද්ධව ව්‍යවස්ථාව දෙමළ හා මුස්ලිම් නායකයන් සතුටු කරන්න වෙනස් කරන්න බැහැ. සිංහල ජනමතය දේශපාලනඥයන්ට උඩින් ක්‍රියාකරනවා.



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බැරි බව තේරුම් ගත්ත රනිල් සුමන්තිරන් හකීම් තුන් කට්ටුව ඊළඟට වෙනත් උපක්‍රමයක් හෙවුවා. ඒක තමයි විස්ස. පහුගිය දා හකීම් වැදගත් ප්‍රකාශයක් කළා. ඔහු කියා සිටියෙ ආණ්ඩුවක් බලයට පත් වෙලා අවුරුද්දක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බැරි නම් එය පසුව කරන්න බැරි බව. ඒත් බටහිරයන් හා ඉන්දියාව ආණ්ඩුව පත්කර ගත්තෙ සිංහල බෞද්ධ විරෝධී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. ඒක කොහොම හරි කරන්න ඕන බව ආණ්ඩුව දැන සිටියා.



ජ වි පෙ ලවා විස්ස ගෙනාවෙ ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්න. විස්ස කියන්නෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව දැන් පැහැදිලියි. අනුර කුමාර කියලා තිබුණ ජනමත විචාරණයක් පවත්වමු කියලා. ඒ අර ලාම්පු කළගෙඩි සෙල්ලමකට අත වැනීමක්. ආණ්ඩුවක් බලයේ ඉන්න විට ජනමත විචාරණයකින් ආණ්ඩුව පරාද කිරීම පහසු වැඩක් නො වෙයි. ජේ ආර් ඒක පෙන්නල දුන්න. රනිල් ඒක දන්නවා. රනිල් දන්න බොහෝ දේ අනුර කුමාරත් දන්නවා.



අද රනිල්ගෙ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ ජනමත විචාරණයක් පවත්වල, තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කරල, පාර්ලිමේන්තුවේ දි තවත් සංශෝධන ගෙනැල්ල විස්ස මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න. සිංහලයන් මෙයට ඉඩ දෙනවා ද? විස්ස මගින් ජනාධිපති බලතල නැති කරලා මහඇමති බලතල වැඩි කරලා දහතුන්වැනි සංශෝධනය ඉක්මවා යන ඊනියා විසඳුමක් දෙමළ ජාතිවාදීන්ටත් මුස්ලිම් ජාතිවාදීන්ටත් දෙන්න යනවා.



නන්දිකඩාල් ජයග්‍රහණයෙන් ඊනියා දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීල ඉවරයි. හමුදා විසඳුම් කියන්නෙත් දේශපාලන විසඳුම්. හමුදා ක්‍රියා කරන්නෙ ජනාධිපතිගෙ දේශපාලන නායකත්වය යටතෙ. නන්දිකඩාල් ජයග්‍රහණයට පස්සෙ දෙමළ ජාතිවාදීන් එක්ක කිසිම සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. 2009 මැයි 19 වැනි දා නන්දිකඩාල් කලපුවෙ පරාජය වුණෙ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වෙයි. 1833 සිට පැවත එන සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වුණා. අවශ්‍ය නම් දහතුනත් අහෝසි කරන්න පුළුවන්. එහෙත් අවාසනාවකට ඉන්දියාවෙ මෙනන් හා නාරයනන් (ට්‍රොයිකාව) සමග 2009 මැයි 21 වැනි දා අත්සන් කර එකඟ වුණු ලියවිල්ලක් අනුව දහතුන ක්‍රියත්මක කිරීමටත් දහතුන ඉක්මවා යන විසඳුම් ගැන දෙමළ පක්‍ෂ සහ අනෙක් පක්‍ෂ සමග සාකච්ඡා කිරීමටත් ආණ්ඩුව පොරොන්දු දී තියෙනවා. එහෙත් මෙයට සිිංහල බහුතරය කැමති නැහැ.



මේ පටලැවිලිවලින් ගොඩ එන්න පුළුවන් එක ම එක විධියකටයි. විස්ස කුණු කූඩයට විසි කරලා පොලිස් බලතල හා ඉඩම් බලතල නොදෙන ආකාරයට ව්‍යවස්ථාව සකස්කර ගන්න ඉඩක් තියෙන්නෙ සහ තවත් ප්‍රශ්න ගණනාවකට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුව වෙනස් කිරීමෙන් පමණයි. අද මෛත්‍රිපාල වෙනස් කරනවා කියන්නෙ රනිල් පළමුව තාවකාලිකවත් පසුව 2020 දක්වාත් ජනාධිපති කරන එක. රනිල්ගෙ ආණ්ඩුව වෙනස් කරන්න තියෙන එකම විධිය මහින්ද අගමැති කරලා ආණ්ඩුවක් පිහිටුවන එක. ජනාධිපතිට ඒක කරන්න පුළුවන්.



ඒ සඳහා මන්ත්‍රීවරුන් 113 දෙනකු ඉන්නව ද කියල අහන එක නොවැදගත් ප්‍රශ්නයක්. ජනාධිපතිට හිතෙනවා නම් තම මතය අනුව යම් අයකුට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙනව කියලා ඒ අය අගමැති ලෙස පත්කරන්න පුළුවන්. 2015 ජනවාරි 09 රනිල් අගමැති කමට පත් කෙළෙ මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටිය දී. මෛත්‍රිපාලට ඒ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. මහින්ද අගමැති කරලා ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු වේවි. 2015 ජනවාරි 09 වැනි දාට පසු සිද්ධවූයේත් එයයි.



අද ඇත්තේ විස්ස පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. විස්ස කුණු කූඩයට  විසි කිරීම පිලිබඳ ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් තියෙනවා. මහින්ද සියලු ප්‍රශ්නවලට උත්තර සපයන විශ්වකර්මයකු නොවුණත්  විසස කුණු කූඩයට විසි කරන්න පුළුවන් මහින්ද අගමැති කිරීමෙන්. එයට විවිධ පඬි කතා කියමින් විරුද්ධ වන්නන් විස්සටත් රනිල්ටත් සුමන්තිරන්ටත් හකීම්ටත් පක්‍ෂ අය. ජ වි පෙරමුණට පක්‍ෂ එතරම් පිරිසක් රටේ නැහැ.