Main Logo

Wednesday 31 October 2018

අනාගත්තා ඇති


අනාගත්තා ඇති



මෛත්‍රිපාල විදේශීය තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා අලුත් ආණ්ඩුච ගැන කරුණු කියලා වගෙයි. එහෙම කරන්න සිද්ධ වුණේ රනිල් ඇතැම් තානාපතීන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා තමන් තවමත් අගමැති බව කිවුව නිසා. රනිල්ගේ  හමුවෙන් පස්සේ අපට විරුද්ධව සම්බාධක පමුණුවන කතාවක් එක් මන්ත්‍රීවරයකු, මට මතක හැටියට රාජිතගෙ පුතා චතුර, කිවුවා කියලා ජනමාධ්‍යයෙහි පළ වුණා. මේවා විලි ලජ්ජ නැති වැඩ. පොඩි ළමයි රණ්ඩු වුණාම අම්මට ගිහින් කියනව වගේ වැඩක් මේක. රනිලුත් මෛත්‍රිපාලත් වෙනත් අයත් විදේශීය රටවල් සමග ගණුදෙනු කරන විධිය මේකයි. රනිල් හදනවා විදේශ මගින් අප බය කරන්න. මෛත්‍රිපාල තානාපතින්ට රනිල්ට විරුද්ධව කරුණු කියනවා. විදේශ රටවල් අම්මා කෙනකු නොවන බව තවමත් අපට වැටහෙන්නෙ නැහැ. ඔවුන් අපේ ස්වාමිවරුන්වත් නො වෙයි.




මෙරටින් පිටරට යන අපේ තානාපතිවරුන්ට වඩා මෙරට විදේශීය තානාපතිවරුන් වෙනස්. විදේශීය තානාපතිවරුන් බොහෝ විට වෘත්තීය තානාපතිවරුන්. ඔවුන් මෙරට දේශපාලනය ගැන දැනුමක් ඇතුවයි පැමිණෙන්නෙ. ඒ සමහර තානාපති කාර්යාලවල විවිධ ලේකම්ලාගෙන්  සමහරකු ඒ ඒ රටවල ඔත්තුසේවා නිලධාරීන්. ඇතැමුන් මෙරට දේශපාලනය හසුරවනවා. අප ඔවුන් ඉදිරියේ කුඩා ළමුන් වීමෙන් අප තව තවත් ඔවුන් අතින් මෙහෙයවෙනවා.  



ඔය තානාපතින්ට කියන දේ ඔවුන් පරීක්‍ෂා කර බලනවා. අර මාධ්‍ය සංදර්ශනවල දී දේශපාලනඥයන් ජනතාවට කියන කරුණු තානාපතිලට කීමෙන් වැඩක් වෙන්නෙ නැහැ. මෙරට ව්‍යවස්ථාව ඇතැම් දේශපාලනඥයන්ට වඩා හොඳින් හැදෑරූ අය ඒ සමහර තානාපති කාර්යාලවල ඉන්නවා. මේ අතර රන්ජන් රාමනායක ගූගල්ගෙන් අහලා මෙරට අගමැති කවුද කියලා. ගූගල් කියනවලු රනිල් කියලා. විකිපීඩියා නම් කියන්නෙ මහින්ද රාජපක්‍ෂ කියලා. රන්ජන් රාමනායක ගූගල් විතරක් බලල ඉන්න එපා. ඔය එක එක දත්ත ගබඩා සෙවුම් යන්ත්‍ර අපට කියන්නෙත් මිනිසුන් දෙන දත්ත. රන්ජන් ගූගල් බලන වෙලේ කාලෝ මාමාගෙන් ඇහුවෙ නැද්ද ලංකාවෙ අගමැති කවුද කියලා. එයා විද්‍යාත්මක ව කියයි කවුද අගමැති කියලා.



කොහොමටත් මෛත්‍රිපාලත් ගම්මන්පිළත් කියන 48(1) අනුව්‍යවස්ථාව ගැන කියන්න ඕන. ඒක සිංහලෙන් සඳහන් වන ආකාරය හා ඉංගිිරිසියෙන් සඳහන් වන ආකාරය වෙනස්. මේ දහනවවැනි සංශෝධනය කඩිමුඩියේ කෙටුම්පත් කළ බව කියැවෙන තවත් අවස්ථාවක් පමණයි. තානාපති කාර්යාලවල සිංහලෙන් හා ඉංගිරිසියෙන් ව්‍යවස්ථාව කියවන අය ඇති. ඒ විතරක් නොවෙයි ඔවුන් දහනවයට පෙර පැවති තත්වයත් හදාරනවා ඇති. දහනවයට ඉස්සෙල්ල අදාළ අනුව්‍යවස්ථාව සඳහන් වන්නෙ 49(1) ලෙස. මේ අනුව්‍යවස්ථාවලින් කියැවෙන්නෙ අමාත්‍ය මණ්ඩලය විසිරීම හා ඉන්පසු ජනාධිපතිවරයා අගමැති හා ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මිස අගමැතිගේ ධුර කාලය සම්බන්ධයෙන් නො වෙයි. අගමැතිගෙ ධුර කාලය දහනවයෙන් පස්සෙ 46(2) යටතේත් දහනවයට පෙර 47 යටතේත් සඳහන් වෙනවා.



දහනවයට පෙර 47න් කියැවෙන්නෙ අගමැති ඉවත් කරනු ලැබුවහොත්, ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවූණහොත් හෝ මිස අමාත්‍ය මණ්ඩලය පවත්නා තෙක් අගමැති ධුරය දරන බවයි. දහනවයෙන්         46(2)න් අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් යන්න අයින් කර තියෙනවා. එයින් කියන්නෙ දහනවය අනුව අගමැති ඉවත් කිරීමක් නැති බවයි. රනිල්ලා ජයම්පතිලා ඒ බව අමතක කරන එකක් නැහැ. දැන්  අගමැති ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුණහොත් හෝ මිස අගමැති ධුරය දරණවා. එහෙත් මේ අතර 43(2) අනුව ඇමති මණ්ඩලයේ විෂය කාර්ය හා සංයුතිය වෙනස් කිරීමට හැකි බවත් මතක තබා ගන්න ඕන. එය අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍ය ධුරය නතර කිරීමක්. අප පදනම් වන්නේ 43(2) මතයි.



දැන් 48(1)  සිංහලෙන් හා ඉංගිරිසියෙන් කියැවෙන්නෙ දෙවිධියකට. එහෙත් දහනවයට පෙර අදාළ කාරණය 49(1)න් භාෂා දෙකෙන් ම කියැවෙන්නෙ එකම විධියට. එහෙත් නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් මෙයින් කියැවෙන්නෙ අමාත්‍ය මණ්ඩලය විසිරීම ගැන මිස අගමැති ධුර කාලය ගැන නොවන බවයි. දහනවයට පෙර කියැවුණෙ අපට අදාළ මෙවැනි කාලයක දි අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්, ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන බවයි.  සිංහලෙන් දහනවයෙන් පස්සෙ  48(1)න්, දහනවයට පෙර 49(1)න් කියැවුණු දේ ම කියැවෙන අතර, ඉංගිරිසියෙන් කියැවෙන්නෙ අපට අදාළ කාලයෙහි අගමැති මිය යෑමෙන්, ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන බවයි.



මේ දෙක අතර වෙනසක් ඇති බව පැහැදිලියි. මේ කඩිමුඩියේ වැඩ කරන්න ගිහින් සිදු වී ඇති දේ. 48(1)න් සිංහලෙන් කියැවෙන දේ හා 46(2)න් අග්‍රාමාත්‍ය ධුර කාලය ගැන කියැවෙන්න අතරත් පරස්රයක් තියෙනවා කියා හිතන්න පුළුවන්.46(2)න් අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් අග්‍රාමාත්‍ය ධුරයේ නිල කාලය අවසන් වන්නේ යැයි කියැවෙන්නේ නැහැ. 46(2)න් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමක් ගැන කියැවෙන්නේ නැහැ.



එසේ වුවත් අමාත්‍ය මණ්ඩලය විසිරීම සම්බන්ධයෙන් අගමැති ධුරයෙන් ඉවත් කිරීමක් ගැන කියැවෙනවා. එය බලපාන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරීම සම්බන්ධයෙන් මිස ධුර කාලය සම්බන්ධයෙන් නො වෙයි. මේ වෙනස්කම් හා පරස්පර තානාපතිවරුන් දැන ගනීවි. ඔවුන් තමන්ට අවශ්‍ය වන ආකාරයට එය අර්ථනිරුපණය කරාවි. ඔවුන් නීතිිපතිගෙන් අහන එකක් නැහැ.



මගේ නම් අදහස කලින් ලිපිවලත් දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ (24 X 7) සාකච්ඡාවේත් කියා ඇති ආකාරයට අගමැති ඉවත් කිරීම හා පත් කිරීම හා සම්බන්ධයෙන් අප ප්‍රධාන වශයෙන් 42(4) ට හා 43(3)ට සීමා විය යුතු කියා. 43(3)න් අග්‍රමාත්‍ය ධුරය දැරීම අන්‍යාකාරයකින් නතර වීමක් ගැන  කියැවෙනවා. 42(4)න් අගමැති පත් කිරීම ගැන කියැවෙනවා. අප මෙය සමස්තයක් ලෙස බැලිය යුතුයි. අර අනුව්‍යවස්ථාව මේ අනුව්‍යවස්ථාව වෙන වෙන ම ගෙනහැර දැක්වීමෙන් සිදුවන්නේ පටලැවීමක් නැත්නම් අනාගැනීමක්. අප ජාතියක් ලෙස අනාගත්තා හොඳට ම ඇති.



අපට එංගලන්ත පාර්ලිමේන්තුව අද බයිලා කියනවා. ඇමරිකන් එක්සත් රාජ්‍ය අපට ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියනවා. ඔවුන්ට මේ සඳහා අප ක්‍රියා කර ඇති ආකාරය ගැන කියන දේ ද බලපානවා. අප හරියට ඇණය ගසා තියෙද්දීත් මිටියෙන් ඇඟිල්ලට පහර ගසා ගන්නවා.



කරු ජයසූරිය නම් දිගට ම අනාගන්නවා. ලණු කනවා. රනිල් ඔහුට පාර්ලිමේන්තුව කැඳවන්න කියනවා. එහෙත් ඔහුට එසේ කරන්න බැහැ. ඔහුට ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලන්න වෙනවා. රනිල්ගේ කීම් අනුව වැඩ කිරීමෙන් ඔහුට ඉක්මණින් ම හිටපු කතානායක වෙන්න පුළුවන්. 1947 සිට අද දක්වා ඔහු වැනි කතානායක කෙනකු ඉඳලා නැහැ. ඔහුට තිබී ඇත්තේ අපකීර්තිමත් අතීතයක්. ඪලස් අලහප්පෙරුම ඔහුගේ අතීතය ගැන ව්‍යාජ සහතික දෙන්නේ තම ඊනියා විදග්ධ මනස ප්‍රදර්ශනය කිරීමට පමණයි.